Majjimapatipage.org logo
Majjimapatipage.org logo

සඟ සතු පන්සල්, ආරණ්‍ය සේනාසන සහ කුටි

නිකාය භේදයකින් තොර ව සතර දිගින් වඩින මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරන ලද සඟ සතු පන්සල්, ආරණ්‍ය සේනාසන සහ කුටි

ආරණ්‍ය සේනාසන

  1. ගෙඳගල ආරණ්‍ය සේනාසනය, අයගම
  2. ගගලගමුව ආරණ්‍ය සේනාසනය, වැද්දාගල
  3. ගලපිටගල ආරණ්‍ය සේනාසනය, ඕමත්ත
  4. ගල්බොක්ක ආරණ්‍ය සේනාසනය, එරියාව
  5. ගැටසියබලාව ආරණ්‍ය සේනාසනය, රඹුක්කන

සඟ සතු කුටි

  1. චිත්තවිවේකාශ්‍රමය, රත්මලේ, කටුගස්තොට
  2. උඩගල්දෙබොක්ක කුටිය, බටුමුල්ල
  3. මීගහමඩ කුටිය, බටුමුල්ල
  4. වැලිවරණාගොල්ල කුටි, ලග්ගල

මෙම පන්සල් (ගමට ආසන්න ආරාම, විහාර) සහ ආරණ්‍ය (ගමෙන් දුර වූ ආරාම, විහාර) සේනාසනයන්හි ඇති විශේෂ ලක්ෂණ

  • මෙම සඟ සතු පන්සල් සහ ආරණ්‍ය සේනාසන සතර දිගින් වඩින මහා සංඝරත්නය සතු වෙයි. කිසි ම නිකායකට හෝ කණ්ඩායමකට අයිති [පෞද්ගලික] පන්සල් හෝ ආරණ්‍ය සේනාසන නොවෙයි.
  • නිකාය භේදයකින් තොර ව සතර දිගින් වඩින මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරන ලද සඟ සතු පන්සල් සහ ආරණ්‍ය සේනාසනයෝ වෙති. එබැවින් මෙම ආරණ්‍යවල සියලු කටයුතු ඉටු කිරීම සහ තීන්දු තීරණ ගැනීම බුදු රජාණන් වහන්සේ විසින් සේනාසන පරිහරණය පිළිබඳ අනුදැන වදාළ අයුරින් සංඝයා විසින් සිදු කළ යුතු වෙයි.
  • මෙම සඟ සතු පන්සල් සහ ආරණ්‍ය සේනාසන, පන්සල්, ආරණ්‍ය, නිකාය, කණ්ඩායම් ආදී ලෙස, හෝ ධර්මවාදී හෝ අධර්මවාදී ලෙස බෙදා වෙන් කර ගත නොහැකිය. යම් කෙනෙක් හෝ යම් පිරිසක් විසින් සඟ සතු පන්සල් සහ ආරණ්‍ය සේනාසන බෙදා ගත්ත ද නොබෙදුවේ ම වෙයි. මෙය බුද්ධ ආඥාවයි.
  • මේවා සඟ සතු ආරණ්‍ය සේනාසන වන බැවින් වත්තක්ඛන්ධකය අනුව වත් පිළිවෙත් පැවතිය යුතුය. බුදු රජාණන් වහන්සේ විසින් පැනවූ ධර්ම විනය හැර පන්සලක හෝ ආරණ්‍යයක හෝ භික්ෂු පිරිසක හෝ බෙදුණු සංඝයා විසින් එනම් නිකායකින් පැනවූ වත් පිළිවෙත් මෙම ආරණ්‍යයට රැගෙන නොපැමිණිය යුතුය.
  • භික්ෂූන් වහන්සේලාගේ ඒ ඒ නිකායයන්ට සහ කණ්ඩායම්වලට ගැළපෙන පරිදි සකසා ඇති අත් පත්‍රිකා, කතිකාවන්, ඒ හා සම්බන්ධ පොත් පත් ආදිය මෙම පන්සල් සහ ආරණ්‍ය සේනාසන තුළට නොගෙන ඒම සුදුසුය.
  • මෙම පන්සල් සහ ආරණ්‍ය සේනාසන, සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධානය, සතර ඍද්ධිපාදය, පඤ්ච ඉන්ද්‍රිය, පඤ්ච බල, සප්ත බොඡ්ඣඞ්ග සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය, එනම් ලෝකොත්තර මාර්ගය වැඩීමට හෝ වඩා අවසන් කළ භික්ෂූන්ට පරිහරණය පිණිස ම වෙයි.
  • බුදු රජාණන් වහන්සේ විසින් වදාළ අයුරින් සෑම විට ම ආරණ්‍යයෙහි නිශ්ශබ්දතාවය රැකීමට උත්සාහ කළ යුතුය.
  • මෙම පන්සල් සහ ආරණ්‍ය සේනාසනයන්හි කිසි ම ශබ්දයක් බාහිර පරිසරයට මුදා හැර ශබ්ද දූෂණය නොකිරීම නේවාසික භික්ෂූන්ගේ යුතුකමකි.
  • මෙම පන්සල් සහ ආරණ්‍ය සේනාසනයන්හි පිඬු සිඟා යෑමෙන් යැපෙන භික්ෂූන්ට ඒ සඳහා නිදහසත්, පවරන ලද දානය පිළිගැනීමට කැමති භික්ෂූන්ට ඒ සඳහා නිදහසත් ඇත.
  • මෙම පන්සල් සහ ආරණ්‍ය සේනාසනයන්හි භික්ෂූන්ට ධර්ම දේශනා කිරීමේ හෝ ධර්ම දේශනා නොකිරීමේ නිදහස ඇත. උපාධ්‍යයන් වහන්සේලා සහ ආචාර්යයන් වහන්සේලා හැර අන් භික්ෂූන්ට කිසිවෙකුට ඒ සඳහා බල කළ නොහැකිය. එසේ ම සාමාන්‍යයෙන් භුක්තානුමෝදනාව දානයට වඩින්නාවූ ව්‍යක්ත, ප්‍රතිබල, වැඩිහිටි භික්ෂුවගේ වගකීමකි.
  • සඟ සතු කුටි සෙනසුන් කලින් ඇණවුම් කර තැබීමට කැප නොවෙයි. පැමිණි පිළිවෙළට සහ වැඩිහිටි පිළිවෙළට පරිභෝගය පිණිස කුටියක් ලබා ගෙන වාසය කිරීමට හැකි වෙයි.
  • ආගන්තුක ව වැඩ සිටින හෝ නේවාසික ව වැඩ සිටින ස්වාමීන් වහන්සේලා විසින් තෝරා ගන්නා කුටි සෙනසුන කුමක් වුව ද නේවාසික ව වාසය කිරීමට වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළහොත්, වස්සාන කාලයේ දී හැර අන්‍ය සමයක ගිලන් භික්ෂුවක් නොවේ නම් එය ගෞරවයෙන් යුතු ව ප්‍රදානය කිරීම ශාසනයේ පිළිවෙත වෙයි.
  • දායකයන්ගෙන් ලැබෙන පිරිකර ආදිය පිළිගන්නා විට, තමන් වහන්සේගේ හෝ පන්සල සහ ආරණ්‍ය සේනාසනයෙහි පොදු පරිභෝගය සඳහා සුදුසු පිරිකරක් විනා, අනවශ්‍ය ලෙස පිරිකර පිළිගෙන සංඝයාට පළිබෝධ ඇති නොකළ යුතුය.
  • මේ උතුම් පින්බිම් වෙත වැඩම කළ ස්වාමින් වහන්සේලා තමන් වහන්සේගේ බඩු භාණ්ඩාදිය කුටිවල දමා යෑම හෝ සංඝයාගේ අනුමැතියෙන් තොර ව කුටි සන්තක භාණ්ඩවලට අමතර ව අලුතින් එකතු කිරීම හෝ කුටි සන්තක භාණ්ඩ අඩු කිරීමෙන් වැළකෙනු මැනවි.
  • මෙම සඟ සතු පන්සල් සහ අරණ්‍ය සේනාසන ආශ්‍රිත ව භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීමට සැදී පැහැදී සිටින සැදැහැවත් උපාසක උපාසිකාවෝ ප්‍රමාණවත් ව වාසය කරති.
  • මෙම සඟ සතු පන්සල් සහ අරණ්‍ය සේනාසනවල සියලු කටයුතු බුදු රජාණන් වහන්සේ විසින් පැනවූ විනයට ගැළපෙන අයුරින් තීරණය කළ යුතුය. එක් එක් භික්ෂූන්ගේ හෝ ත්‍රිපිටකය හැර අනෙකුත් පත පොත්වල ඇති අයුරින් තීරණය කිරීමට උත්සාහ කර සංඝයා අතර ගැටුම් ඇති නොකරන මෙන් ද කාරුණික ව ඉල්ලා සිටිමු.

ඔබ දන්නා නිකාය හෝ කණ්ඩායම් සතු නොකරගත් නිකාය භේදයකින් තොර ව සතර දිගින් වඩින මහා සංඝරත්නය සතු පන්සල් සහ අරණ්‍ය සේනාසන ඇත්නම් මජ්ඣිමාපටිපදා වෙබ් අඩවිය තුළ මෙම පන්සල් සහ ආරණ්‍ය පිළිබඳව විස්තර පළකිරීමට කැමැත්තේ ද නම් ඒ සඳහා අවකාශය ඇත. මේ ගැන වැඩිදුර විස්තර සහ විමසීම් 0777633311 දුරකථන අංකයට හර්ෂ මහතා හෝ 0773420517 දුරකථන අංකයට කමල් මහතා ඇමතීමෙන් ලබා ගත හැකි වෙයි.

මහා සංඝරත්නය වෙනුවෙන් පවතින පෞද්ගලික කුටි

නිකාය භේදයකින් තොර ව සතර දිගින් වඩින මහා සංඝරත්නය වෙනුවෙන් පවත්වා ගෙන යන පෞද්ගලික කුටි

  1. යටිහලගල කුටිය, මහනුවර

පෞද්ගලික කුටිවල තිබිය යුතු විශේෂ ලක්ෂණ

නිකාය භේදයකින් තොර ව සතර දිගින් වඩින මහා සංඝරත්නයට වාසය කළ හැකි පෞද්ගලික කුටි හෝ කුටියක් විය යුතුය.

එහි හිමිකරු විසින් කුටි වෙත පැමිණි ස්වාමීන් වහන්සේගේ පිඬු සිඟා යෑමේ හෝ පවරන ලද දාන ඇතොත් ඒවා බාර ගැනීමේ නිදහස සහ ධර්ම දේශනා කිරීමේ හෝ නොකිරීමේ නිදහසට බාධා නොකිරීමට වග බලා ගත යුතුය.

දහවල් අල්ප ශබ්ද සහ රාත්‍රියට නිශ්ශබ්ද පරිසරයක ඇති කුටියක් හෝ කුටි විය යුතුය.

ඔබ සතු නිකාය භේදයකින් තොර ව සතර දිගින් වඩින මහා සංඝරත්නයට වාසය කළ හැකි පෞද්ගලික කුටි ඇත්නම් මජ්ඣිමාපටිපදා වෙබ් අඩවිය තුළ මෙම පෞද්ගලික කුටි පිළිබඳ ව විස්තර පළකිරීමට කැමැත්තේ ද නම් ඒ සඳහා අවකාශය ඇත. මේ ගැන වැඩිදුර විස්තර සහ විමසීම් 0777633311 දුරකථන අංකයට හර්ෂ මහතා හෝ 0773420517 දුරකථන අංකයට කමල් මහතා ඇමතීමෙන් ලබා ගත හැකි වෙයි.