Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුගති (අපාය) කථා / දුෂ්ටයා සහ දුෂ්ටයා ට වඩා දුෂ්ටයා ද සත්පුරුෂයා සහ සත්පුරුෂයාට වඩා සත්පුරුෂයා ද හඳුනා ගන්න

ක්‍රෝධ කරන්න එපා ක්‍රෝධය ක්‍රෝධ කරන්නාට ද දුක් පීඩා ගෙන දෙයි

කොධන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 418 - 425)

මහණෙනි, සතුරන් ප්‍රිය කරන්නා වූ සතුරු බව ඇති කරවන මේ කරුණු සත, කිපෙන සුලු ස්ත්‍රිය කරා ම හෝ පුරුෂයා කරා ම නැවත පැමිණෙයි.

  1. මහණෙනි, මෙ ලොව යමෙක් ‘සතුරා දුර්වර්ණ වන්නේ නම් මැනවි’ යි කැමති වෙයි. එයට හේතුව සතුරාගේ ශරීරයේ පැහැපත් බවට සතුටු නොවෙයි.
    මේ පුද්ගලයා ක්‍රෝධ කරන්නේ, ක්‍රෝධයෙන් පීඩිත වන්නේ, ක්‍රෝධයෙන් යුක්ත වන්නේ වෙයි. ඔහු හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගල්වා, කපන ලද දැලි රැවුල් ඇති ව, සුදු වස්ත්‍ර ඇන්ද ද, හෙතෙම ක්‍රෝධයෙන් දුර්වර්ණ වූයේ ම වෙයි.
    සතුරන් ප්‍රිය කරන්නා වූ සතුරන් ඇති කරන්නා වූ මෙම පළමු කරුණ, ක්‍රෝධ කරන ස්ත්‍රිය හෝ පුරුෂයා කරා නැවත පැමිණෙයි.
  2. සතුරෙක් තම ‘සතුරා දුක සේ නිදන්නේ නම් මැනවි’ යනුවෙන් කැමති වෙයි. ඒ මන් ද යත්, සතුරාගේ සුව සේ නිදා ගැනීමට සතුටු නොවෙයි.
    මේ පුද්ගලයා ක්‍රෝධ කරන්නේ, ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇත්තේ, ක්‍රෝධයෙන් වෙලී ගිය සිත් ඇත්තේ වෙයි. ඔහු වටිනා උඩු වියන් සහිත සුව පහසු ඇඳක නිදන්නේ නමුත් ක්‍රෝධයෙන් පීඩිත ව දුක සේ ම නිදයි.
    සතුරන් ප්‍රිය කරන්නා වූ සතුරන් ඇති කරන්නා වූ මෙම දෙවන කරුණ, ක්‍රෝධ කරන ස්ත්‍රිය හෝ පුරුෂයා කරා නැවත පැමිණෙයි.
  3. සතුරා සතුරාට මෙසේ කැමති වෙයි. ‘සතුරා දියුණුවට නොපැමිණේ නම් යෙහෙකි’. ඒ මක් නිසා ද යත්, සතුරෙක් සතුරෙකුගේ දියුණුවට කැමති නොවෙයි.
    මේ පුද්ගලයා ක්‍රෝධ කරන්නේ, ක්‍රෝධයෙන් වෙලී ගිය සිත් ඇත්තේ වෙයි. ඔහු දියුණුවට හේතු නොවන ක්‍රෝධය ගෙන, දියුණුවට හේතු වූ කරුණක් ගන්නා ලදැ යි සිතයි. දියුණුවට හේතු වන ක්‍රෝධ නොකිරීම ගෙන, දියුණු නොවීමට කරුණක් ගන්නා ලදැ යි සිතයි.
    ක්‍රෝධයෙන් පීඩිත ව මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්මයෝ වරදවා ගැනීම, දිගු කලක් අහිත පිණිස දුක් පිණිස පවතියි.
    සතුරන් ප්‍රිය කරන්නා වූ සතුරන් ඇති කරන්නා වූ මෙම තෙවන කරුණ, ක්‍රෝධ කරන ස්ත්‍රිය හෝ පුරුෂයා කරා නැවත පැමිණෙයි.
  4. සතුරා සතුරාට මෙසේ කැමති වෙයි. ‘සතුරා මහත් භෝග සම්පත් නැත්තෙක් වෙත් නම් යහපත් ය’ යනුවෙනි. ඒ මක් නිසා ද යත්, සතුරා සතුරාගේ භෝග සම්පත් වලට සතුටු නොවෙයි.
    මේ පුද්ගල තෙම ක්‍රෝධ කරන සුලු ව, ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇති ව, ක්‍රෝධයෙන් වෙලී ගිය සිත් ඇති ව, වීර්යයෙන් යුතු ව වෙහෙස මහන්සි වී දැහැමින් ලද යම් භෝග සම්පත් ඇත්නම්, ඒවාත් රජවරු හෝ භාණ්ඩාගාරයට ගෙන්වා ගනිති.
    සතුරන් ප්‍රිය කරන්නා වූ සතුරන් ඇති කරන්නා වූ මෙම සතර වන කරුණ, ක්‍රෝධ කරන ස්ත්‍රිය හෝ පුරුෂයා කරා නැවත පැමිණෙයි.
  5. සතුරෙක් සතුරෙකුට මෙසේ කැමති වෙයි. ‘සතුරා යසස් (කීර්තිය) නැත්තෙක් වන්නේ නම් මැනවි’ යනුවෙනි. ඒ කවර හෙයින් ද යත්, සතුරා සතුරාගේ කීර්තියට සතුටු නොවෙයි.
    මේ පුද්ගල තෙම ක්‍රෝධ කරන සුලු ව, ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇති ව, ක්‍රෝධයෙන් වෙලී ගිය සිත් ඇත්තේ වේ ද, ඔහුගේ අප්‍රමාදයෙන් ලබන ලද යම් කීර්තියක් වේ ද ක්‍රෝධය නිසා එය ද නැසී යයි.
    සතුරන් ප්‍රිය කරන්නා වූ සතුරන් ඇති කරන්නා වූ මෙම පස් වන කරුණ, ක්‍රෝධ කරන ස්ත්‍රිය හෝ පුරුෂයා කරා නැවත පැමිණෙයි.
  6. සතුරෙක් සතුරෙකුට මෙසේ කැමති වෙයි. ‘සතුරා මිතුරන් නැත්තෙක් වන්නේ නම් ඉතා යහපත් ය’ කියාය. ඒ මක් නිසා ද යත්, සතුරා සතුරාට මිතුරන් ඇති වීම ගැන සතුටු නොවෙයි.
    මේ පුද්ගල තෙම ක්‍රෝධ කරන සුලු ව, ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇති ව, ක්‍රෝධයෙන් වෙලී ගිය සිත් ඇති ව වාසය කරනු දක්නා ඔහුගේ ඤාති මිත්‍රාදීහු ද ක්‍රෝධයෙන් පීඩිත ව සිටින ඔහු ව දුරින් දුරු කරති.
    සතුරන් ප්‍රිය කරන්නා වූ සතුරන් ඇති කරන්නා වූ මෙම සය වන කරුණ, ක්‍රෝධ කරන ස්ත්‍රිය හෝ පුරුෂයා කරා නැවත පැමිණෙයි.
  7. සතුරා සතුරාට මෙසේ කැමති වෙයි. ‘සතුරා මරණින් මතු සැප නැති, දුක් ඇති, නපුරු වැටීමක් වූ නිරයේ උපදියි නම් ඉතා යහපත් ය’ යනුවෙනි. ඒ මක් නිසාද යත්, සතුරෙක් සතුරෙකුගේ සුගතියෙහි ඉපදීම පිළිබඳ ව සතුටු නොවෙයි.
    මේ පුද්ගල තෙම ක්‍රෝධ කරන සුලු ව, ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇති ව, ක්‍රෝධයෙන් වෙලී ගිය සිත් ඇති ව, සිතෙන්, කයෙන් හා වචනයෙන් දුසිරිත් කරයි. ඒ දුසිරිත් කර ක්‍රෝධයෙන් මඩනා ලද හෙතෙම මරණින් මතු සැප නැති, දුක් ඇති, නපුරු වැටීමක් වූ නිරයේ උපදියි.
    සතුරන් ප්‍රිය කරන්නා වූ සතුරන් ඇති කරන්නා වූ මෙම සත් වන කරුණ, ක්‍රෝධ කරන ස්ත්‍රිය හෝ පුරුෂයා කරා නැවත පැමිණෙයි.

බාගත ​කිරීමට