Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / සීල කථා / නව අංගයකින් යුතු පොහෝ දින සිල් සමාදන් වීම මහත්ඵල මහානිසංස වෙයි

නව අංගයකින් යුතු පොහෝ දින සිල් සමාදන් වීම මහත්ඵල මහානිසංස වෙයි

නවඞ්ගුපෝසථ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5 - පිටු අංක 428 - 431)

මහණෙනි, නව අංගයකින් යුතු ව පොහෝ දින සිල් සමාදන් වීම මහත්ඵල මහානිසංස වෙයි. මහත් බැබළීම් ඇත්තේ වෙයි (මහත් යසස් ලැබීම පිණිස හේතු වෙයි). මහත් පැතිරීම් ඇත්තේ වෙයි.

කෙසේ වසන ලද නවාංග උපෝසථය මහත්ඵල, මහානිසංස, මහත් බැබළීම්, මහත් පැතිරීම් ඇත්තේ ද යත්;

මහණෙනි,මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා මෙසේ තමන් සමාදන් වූ ශික්ෂා පද මෙනෙහි කරයි.

  1. රහතන් වහන්සේලා දිවි හිමියෙන් සතුන් මැරීමෙන් වැළකී, පවට ලජ්ජා ඇතිව, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව ජීවත් වන සේක.
    මම ද මේ දිවා රෑ සතුන් මැරීමෙන් වැළකී, පවට ලජ්ජා ඇති ව, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව ජීවත් වෙමි. මම මෙසේ රහතන් වහන්සේලා අනුකරණය (අනුව කිරීම) කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
  2. රහතන් වහන්සේලා දිවිහිමියෙන් සොරකමින් වැළකී දුන් දෙයක් පමණක් පිළිගන්නා සේක. ලැබුණු දෙයකින් පමණක් සතුටු වී වාසය කරන සේක.
    මම ද මේ දිවා රෑ සොරකමින් වැළකී දුන් දෙයක් පමණක් පිළිගෙන ලැබුණු දෙයකින් පමණක් සතුටු වී ජීවත් වෙමි. මම මෙසේ රහතන් වහන්සේලා අනුකරණය කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
  3. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ගැමි ධර්මයක් වූ මෛථූන (කාම) සේවනයෙන් වැළකී වසන සේක.
    මම ද මේ දිවා රෑ ගැමි ධර්මයක් වූ මෛථූන සේවනයෙන් වැළකී ජීවත් වෙමි. මම මෙසේ රහතන් වහන්සේලා අනුකරණය කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
  4. රහතන් වහන්සේලා දිවිහිමියෙන් බොරු නොකියන සේක. වාද නොකරන සේක. සත්‍ය, ස්ථිර, ඇදහිය යුතු කතා කරන සේක.
    මම ද අද මේ දිවා රෑ මෙසේ සත්‍යවාදී ව, බොරු නොකියා, වාද නොකර ජීවත් වෙමි. මම මෙසේ රහතන් වහන්සේලා අනුකරණය කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
  5. රහතන් වහන්සේලා දිවිහිමියෙන් මත් වීමටත්, ප්‍රමාදයටත් හේතු වන මත්පැන් පානයෙන් තොර ව ජීවත් වන සේක.
    මම ද මේ දිවා රෑ මත් වීමටත්, ප්‍රමාදයටත් හේතු වන මත්පැන් පානයෙන් තොර ව ජීවත් වෙමි. මම මෙසේ රහතන් වහන්සේලා අනුකරණය කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
  6. රහතන් වහන්සේලා දිවිහිමියෙන් එක් වේලක් වළඳා විකාල භෝජනයෙන් වැළකී ජීවත් වන සේක.
    මම ද අද මේ දිවා රෑ එක වේලක් වළඳා විකාල භෝජනයෙන් වැළකී ජීවත් වෙමි. මම මෙසේ රහතන් වහන්සේලා අනුකරණය කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
  7. රහතන් වහන්සේලා දිවිහිමියෙන් නැටුම්, ගැයුම්, වැයුම්, විසුළු දසුන්, කෝලම්, කලබල ආදිය බැලීමෙන්, මල්, සුවඳ විලවුන් භාවිතයෙන්, ආභරණ පැළඳීමෙන් හා සැරසීමෙන් වැළකී වසන සේක.
    මම ද මේ දිවා රෑ නැටුම්, ගැයුම්, වැයුම්, විසුළු දසුන්, කෝලම්, කලබල ආදිය බැලීමෙන්, මල්, සුවඳ විලවුන් භාවිතයෙන්, ආභරණ පැළඳීමෙන් හා සැරසීමෙන් වැළකී ජීවත් වෙමි. මම මෙසේ රහතන් වහන්සේලා අනුකරණ කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
  8. රහතන් වහන්සේලා දිවිහිමියෙන් වටිනා උස් ආසන, මහා ආසන හැර දමා, ඇඳක හෝ පැදුරක හෝ තණ ඇතිරියක සැතපෙන සේක.
    මම ද මේ දිවා රෑ වටිනා උස් ආසන, මහා ආසන හැර දමා, ඇඳක හෝ පැදුරක හෝ තණ ඇතිරියක සැතපී ජීවත් වෙමි. මම මෙසේ රහතන් වහන්සේලා අනුකරණය කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
  9. මහණෙනි, මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරවා වාසය කරයි. ඒ අයුරින් ම දෙවැනි වූ ද, තෙවැනි වූ ද, සිව්වැනි වූ ද දිශාවන් මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස (හරහා) සැම තැන්හි සියලු සත්වයන්ට, සියලු ලෝකයාට මහත් වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛරී වූ ව්‍යාපාද රහිත වූ මෙත් සහගත සිතින් පතුරුවා වාසය කරයි.

මෙසේ අංග නමයකින් යුත් පොහෝ දින සිල් සමාදන් වීම මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. මහත් බැබළීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.


බාගත ​කිරීමට