අෂ්ටාංග උපෝසථය සමාදන් වීම
බුදු රජාණන් වහන්සේ විශාඛාවට දෙසූ දෙසුම ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 366 - 381)
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදය නැමති පූර්වාරාමයේ වැඩ වසන සේක. විශාඛා උපාසිකාව පොහෝ දින භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පස් ව වාඩි වූවාය.
“විශාඛාවනි, මේ මහ දවල් කොහි සිට එන ගමන් ද?” යැයි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.
“භාග්‍යවතුන් වහන්ස, මම අද පෙහෙවස් සමාදන් වීමි”.
“විශාඛාවනි, උපෝසථ තුනකි.
- ගෝපාල උපෝසථය
- නිගණ්ඨ උපෝසථය
- ආර්ය උපෝසථය
- ගෝපාල උපෝසථය කෙසේ වේ ද?
- ගොපල්ලෝ (ගවයින් බලන්නෝ) සවස් වූ විට අයිතිකරුවන් වෙත ගවයින් බාර දී මෙසේ සිතති. ‘අද ගවයින් මේ මේ තැන්වල තණ කොළ කෑවා, වතුර බීවා. හෙට මේ මේ තැන්වල ගවයින්ට තණ කොළ කන්න දෙනවා, වතුර බොන්න දෙනවා’.
- එසේ ම ඇතැම් කෙනෙක් සිල් සමාදන් වී ‘අද මේ මේ ජාතියේ ආහාර, කැවිලි කෑවා. හෙට මේ මේ ජාතියේ ආහාර, කැවිලි කනවා’ යි ලෝභ සහගත ව, දැඩි ලෝභී සිතින් දවස ගෙවයි.
- මේ උපෝසථය මහත්ඵල නොවෙයි. මහානිසංස නොවෙයි. මහත් බැබළීමට හේතු නොවෙයි. මහත් පැතිරීමට හේතු නොවෙයි.
- නිගණ්ඨ උපෝසථය කෙසේ වේ ද?
- නිගණ්ඨ නම් මහණ පිරිසක් සිටිති. ඔවුහු ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවති. ‘පුරුෂය, මෙහි එන්න. සතර දිශාවේ යොදුන් සියයක් දුර යම් ප්‍රාණීන් ඉන්නවා නම්, ඒ අය පිළිබඳව දඬු මුගුරු පැත්තකින් තබන්න’. මෙසේ සමහර ප්‍රාණීන් කෙරෙහි දයාව, අනුකම්පාව පිණිස හික්මවති. සමහර ප්‍රාණීන් කෙරෙහි අනුකම්පා විරහිත භාවයට හික්මවති. එසේ ම සියලු ඇඳුම් ගලවා නිර්වස්ත්‍ර ව මෙසේ කියව යැයි සමාදන් කරවති.
- ‘මම කිසි තැනක, කිසිවකුට කරදරකාරයෙක් නොවෙමි. මගේ ඇතුළත හා පිටත කිසි තැනක හෝ කිසි දෙයකින් කරදරයක් මට නැත’.
- එසේ වුව ද ඔහුගේ දෙමාපියෝ ඔහු තමාගේ පුතු ලෙසින් හඳුනති. ඔහු ද මාගේ දෙමාපියන් යැයි හඳුනයි. අඹු දරුවෝ ස්වාමියා, තාත්තා යනුවෙන් හඳුනති. ඔහුත් තමන්ගේ අඹු දරුවන් යැයි දනියි. සේවක සේවිකාවෝ අපගේ ස්වාමියා යැයි හඳුනති. ඔහු ද මේ මාගේ සේවක සේවිකාවන් යැයි හඳුනයි. ඉතින් සත්‍යයේ සමාදන් කළ යුතු ව තිබිය දී අසත්‍යයේ සමාදන් කරවති. මෙය ඔහුගේ මුසාවාද යැයි කියමි. සියල්ල අත්හැරියා කියූ ඔහු පසු දින, නැවත ඒවා (ඇඳුම්, ඥාති, භව භෝග, සේවක සේවිකාවන්) අයිතිකරුවන්ගෙන් නිසි ලෙස නැවත ලබා නොගෙන පරිහරණය කරයි. ඒ ඔහුගේ හොරකම යැයි කියමි.
- විශාඛාවනි, මේ නිගණ්ඨ උපෝසථය මහත්ඵල නොවෙයි. මහානිසංස නොවෙයි. මහත් බැබළීමට හේතු නොවෙයි. මහත් පැතිරීමට හේතු නොවෙයි.
- විශාඛාවනි, ආර්ය උපෝසථය කෙසේ වේ ද?
- කිලිටි වූ සිත පිරිසිදු කිරීම උපාය යෙදීමෙන් සිදු වෙයි. ඒ සිත පිළිවෙළින් පිරිසිදු කිරීම කෙසේ වේ ද යත්, ආර්ය ශ්‍රාවකයා තමාගේ ශාස්තෘන් වහන්සේ ගැන මෙසේ සිහි කරයි.
- ‘මාගේ ශාස්තෘන් වහන්සේ, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර, අප වෙනුවෙන්, අපේ දුක නැති කිරීම උදෙසා තමන්ගේ නිවන අතහැර, එදා දීපංකර බුදු රජාණන් වහන්සේ හමුවේ නියත විවරණ ගත් සේක. පාරමී පිරූ ඒ බෝසතාණෝ, අවසාන භවයේ සියල්ල අතහැර ගිහි ගෙයින් නික්ම පැවිදි වූ සේක.
- බෝ මැඩ දී මනා ලෙස තමා විසින් ම පෙර නොඇසූ විරූ චතුරාර්ය සත්‍යය මැනවින් අවබෝධ කොට එහි සියල්ල දත් (සර්වඥ) බවට සහ බල ඥානයෙහි වශී භාවයට පැමිණි සේක. එනම් සම්මා සම්බුද්ධ වන සේක.
- අතීත, වර්තමාන හා අනාගත තුන් කාලයේ සියලු දත යුතු දේ ආවරණයක් නැති ව ම දැනගත් සේක.
- දෙවියන්, බ්‍රහ්මයන්, මරුන්, බමුණන් හා පැවිද්දන් සහිත ලෝකයේ ඒ සියල්ලන් අභිබවා විශිෂ්ට නුවණකිනුත්, මනා පිරිසිදු හැසිරීමකිනුත් යුක්ත වූ සේක (විජ්ජාචරණ සම්පන්නො). සියලු කෙලෙස් නැසූ සේක (සුගත).
- අපාය, මිනිස්, දිව්‍ය ලෝක මැනවින් දැන එහි සත්‍ය ස්වභාවය ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, ප්‍රත්‍ය ආදී වශයෙන් පනවා ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව (දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව) ලොවට මැනවින් හෙළි කළ සේක (ලොකවිදු).
- හික්මවීමට අපහසු ප්‍රචණ්ඩ අංගුලිමාල ආදීන් මනා ලෙස හික්මවන ලද සේක (අනුත්තරො පුරිසදම්මසාරථී).
- මාගේ ඒ භාග්‍යවත් වූ බුදු රජාණන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ට ශාස්තෘන් වන සේක’ (සත්තා දේව මනුස්සානං බුද්ධො භගවාති).
- මෙසේ බුදු රජාණන් වහන්සේ ගැන සිහි කරන විට ආර්ය ශ්‍රාවකයාගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. සිතේ යම් කෙලෙස් ඇත්නම් ඒවා පහ ව යයි.
- ඒ කෙසේ ද යත් කිලිටි අපිරිසිදු හිස වතුරත්, හිස පිරිසිදු කිරීමට යොදන ද්‍රව්‍යයත් යොදා උත්සාහයෙන් පිරිසිදු කර ගන්නාක් මෙනි.
- මෙසේ බුදු රජාණන් වහන්සේ ගැන සිහි කරන විට ඔහුගේ සිත පහදියි. පිරිසිදු වෙයි. සිතේ යම් කිලිටි ඇත්නම් ක්‍රමක්‍රමයෙන් පහ ව යයි
- මේ ආර්ය ශ්‍රාවකයා බ්‍රහ්ම උපෝසථය සමාදන් ව වෙසේ යැයි ද, බ්‍රහ්මයා සමඟ වෙසේ යැයි ද කියනු ලැබෙයි. මෙසේ කිලිටි සිතේ පිරිසිදු බව උපක්‍රමයෙන් වෙයි. [බුද්ධානුස්සතිය]
- මෙසේ කිලිටි සිත පිරිසිදු කර ගැනීම සඳහා ආර්ය ශ්‍රාවකයා ශාස්තෘන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය සිහි කරයි. ඒ කෙසේ ද යත්ත
- භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මය රාග, ද්වේෂ හා මෝහ ප්‍රහාණය පිණිස මනා කොට දේශනා කර ඇත (ස්වක්ඛාත).
- මේ ජීවිතයේ දී ම ප්‍රතිඵල ලැබිය හැකිය. තමා විසින් ම දැකිය හැකිය (සන්දිට්ඨික).
- කල් නොයවා විපාක දෙයි (අකාලික).
- ඇවිත් බලන්න යැයි කීමට සුදුසුය (එහිපස්සික).
- තමා තුළට පමුණුවා ගත යුතුය (ඔපනයික).
- නුවණැත්තන් විසින් තම තමන්ගේ ම නැණ පමණින් අවබෝධ කර ගත යුතුය (පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහිති).
- මෙසේ ධර්ම උපෝසථය හා ධර්මය සමඟ වෙසෙන ආර්ය ශ්‍රාවකයාගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. සිතේ යම් අකුසල් ඇත්නම් ඒවා පහ ව යයි. ඒ කෙසේ ද යත් යමෙකුගේ කිලිටි වූ ශරීරය පිරිසිදු කරන ද්‍රව්‍ය සහ ජලය යොදා පිරිසිදු කරන්නාක් මෙනි.
- මෙසේ ධර්මය සිහි කරන ආර්ය ශ්‍රාවකයාගේ සිතේ අකුසල් ඇත්නම් ඒවා පහ ව යයි. සිත පිරිසිදු වෙයි. [ධම්මානුස්සතිය]
- එසේ ම සිතේ පිරිසිදු බව සඳහා ආර්ය ශ්‍රාවකයා සංඝ රත්නය සිහි කරයි.
- භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු පිරිස රාග, ද්වේෂ හා මෝහ ප්‍රහාණය පිණිස මනා ව බැස ගත් (සුපටිපන්න), ඇද නැති (උජුපටිපන්න), අවංක, නිවැරදි වූ සත්‍ය මාර්ගයේ (ඤායපටිපන්න) නිවැරදි ව ගමන් කරති (සාමීචිපටිපන්න).
- පුරුෂ යුගළ හතරක් හා පුද්ගලයන් අට දෙනෙක් වෙති. එනම් සෝවාන් මාර්ග සහ ඵල, සකදාගාමි මාර්ග සහ ඵල, අනාගාමි මාර්ග සහ ඵල, අරහත් මාර්ග සහ ඵල වශයෙනි (අට්ඨපුරිසපුග්ගලා).
- ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු පිරිස වෙත, දුර සිට හෝ පැමිණ පූජාවන් සිදු කිරීමට සුදුසුය (ආහුණෙය්‍ය).
- ආගන්තුක සත්කාරයට සුදුසුය (පාහුණෙය්‍ය).
- මතු විපාක ලබා ගැනීම සඳහා දෙන දානය පිළිගැන්වීමට සුදුසුය (දක්ඛිණෙය්‍ය).
- දොහොත් මුදුන් තබා වැඳීමට සුදුසුය (අඤ්ජලිකරණීය).
- ලොවට ඉතා ම උතුම් පින් කෙත වෙයි (අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති).
- මෙසේ සිහි කරන ආර්ය ශ්‍රාවකයාගේ සිත පහදියි. ප්‍රීතිය හා සතුට උපදියි. සිතේ කෙලෙස් හා අකුසල් පහ ව යයි.
- ඒ කෙසේ ද යත් කිලිටි වූ වස්ත්‍ර පිරිසිදු කරන ද්‍රව්‍ය සහ ජලය යොදා පිරිසිදු කරන්නාක් මෙනි. සංඝයාගේ ගුණ සිහි කරන ඔහුගේ සිත පහදියි.
- සිතේ යම් අකුසල් ඇත්නම් ඒවා පහ ව යයි. මෙසේ ආර්ය ශ්‍රාවකයා සංඝ උපෝසථය කරන්නේ යැයි ද සංඝයා සමඟ වෙසෙන්නේ යැයි ද කියයි. [සංඝානුස්සතිය]
- එසේ ම විශාඛාවනි, සිත පිරිසිදු කර ගැනීම සඳහා මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා තමාගේ සීලය සිහි කරයි.
- නොකැඩුණු, තැනින් තැන සිදුරු නොවූ, කැලැල් රහිත, ඒකාකාරී වූ, පිරිසිදු වූ, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන, සිතින් දැඩි ලෙස නොගත්, සමාධිය පිණිස පවතින තමාගේ සීලය සිහි කරයි. එවිට ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය සහ සතුට උපදියි. සිතේ ඇති අකුසල් දුරු වෙයි. ඒ කෙසේ ද යත් මුහුණ බලන කිලිටි කන්නාඩිය වතුර සහ පිරිසිදු කරන ද්‍රව්‍ය යොදා පිරිසිදු කරන්නාක් මෙනි.
- මෙසේ තමාගේ සීලය සිහි කරන ආර්ය ශ්‍රාවකයාගේ සිතේ අකුසල් ඇත්නම් ඒවා පහ ව යයි. සිත පිරිසිදු වෙයි. [සීලානුස්සතිය]
- එසේ ම විශාඛාවනි, පෙහෙවස් රකින්නා වූ ආර්ය ශ්‍රාවකයා දෙවියන් සිහි කරයි.
- චතුර්මහාරාජික, තව්තිසා, යාම, තුසිත, නිම්මානරති හා පරනිම්මිතවසවත්තියේ වාසය කරන දෙවියෝ සිටිති. බ්‍රහ්ම ලෝකයේ වසන බ්‍රහ්මයෝ ද සිටිති. ඉන් මත්තෙහි වසන දෙවියෝ ද සිටිති.
- තුනුරුවන් කෙරෙහි යම් බඳු ශ්‍රද්ධාවකින් යුක්ත ව මෙලොවින් චුත වී දෙව් ලොව උපදින්නේ ද, තුනුරුවන් කෙරෙහි එබඳු ශ්‍රද්ධාවක් මට ද ඇත.
- යම් බඳු සීලයකින් යුක්ත ව මෙලොවින් චුත වී දෙව් ලොව උපදින්නේ ද, එවැනි සීලයක් මට ද ඇත.
- යම් බඳු දහම් දැනුමකින් යුක්ත ව මෙලොවින් චුත වී දෙව් ලොව උපදින්නේ ද, එවැනි දහම් දැනුමක් මට ද ඇත.
- යම් බඳු පරිත්‍යාගයකින් (දන් දීමකින්) යුක්ත ව මෙලොවින් චුත වී දෙව් ලොව උපදින්නේ ද, එවැනි පරිත්‍යාගයක් මට ද ඇත.
- යම් බඳු වූ නුවණකින් (සම්මා දෘෂ්ටියකින්) යුක්ත ව මෙලොවින් චුත වී දෙව් ලොව උපදින්නේ ද, එවැනි නුවණක් මට ද ඇත.
- මෙසේ තමාගේ සහ දෙවියන්ගේ ශ්‍රද්ධාව, සීලය, දහම් දැනුම, පරිත්‍යාගය හා නුවණ ගැන සිහි කරන විට ඔහුගේ සිත පහදියි. සතුටට පත් වෙයි අකුසල් දුරු වී සිත පිරිසිදු වෙයි.
- ඒ කෙසේ ද යත් කිලිටි වූ රන් ආභරණ උපාය යොදා පිරිසිදු කරන්නාක් මෙනි.
- මෙසේ දෙවියන් සහ තමන් ගැන සිහි කරන ආර්ය ශ්‍රාවකයාගේ සිතේ අකුසල් ඇත්නම් ඒවා පහ ව යයි. සිත පිරිසිදු වෙයි. [දේවතානුස්සතිය]
විශාඛාවනි, ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් සිතා බලයි.
- රහතන් වහන්සේලා දිවිහිමියෙන් සතුන් මැරීමෙන් වැළකී, පවට ලජ්ජා ඇති ව, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව ජීවත් වන සේක.
- මම ද මේ දිවා රෑ සතුන් මැරීමෙන් වැළකී, පවට ලජ්ජා ඇති ව, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව ජීවත් වෙමි. රහතන් වහන්සේලා අනුකරණය (අනුව කිරීම) කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
- රහතන් වහන්සේලා දිවිහිමියෙන් සොරකමින් වැළකී දුන් දෙයක් පමණක් පිළිගන්නා සේක. ලැබුණු දෙයකින් පමණක් සතුටු වී වාසය කරන සේක.
- මම ද මේ දිවා රෑ සොරකමින් වැළකී දුන් දෙයක් පමණක් පිළිගෙන ලැබුණු දෙයකින් පමණක් සතුටු වී ජීවත් වෙමි. මෙසේ රහතන් වහන්සේලා අනුකරණය කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
- රහතන් වහන්සේලා දිවිහිමියෙන් මෝඩ ගැමියන්ගේ ධර්මයක් වූ මෛථුන සේවනයෙන් වැළකී වසන සේක.
- මම ද මේ දිවා රෑ ගැමි ධර්මයක් වූ මෛථුන සේවනයෙන් වැළකී ජීවත් වෙමි. මෙසේ රහතන් වහන්සේලා අනුකරණය කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
- රහතන් වහන්සේලා දිවිහිමියෙන් බොරු නොකියන සේක. වාද නොකරන සේක. සත්‍ය, ස්ථිර, ඇදහිය යුතු කතා කරන සේක.
- මම ද අද මේ දිවා රෑ මෙසේ සත්‍යවාදී ව, බොරු නොකියා, වාද නොකර ජීවත් වෙමි. මෙසේ රහතන් වහන්සේලා අනුකරණය කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
- රහතන් වහන්සේලා දිවිහිමියෙන් මත් වීමටත්, ප්‍රමාදයටත් හේතු වන මත්පැන් පානයෙන් තොර ව ජීවත් වන සේක.
- මම ද මේ දිවා රෑ මත් වීමටත්, ප්‍රමාදයටත් හේතු වන මත්පැන් පානයෙන් තොර ව ජීවත් වෙමි. මෙසේ මම රහතන් වහන්සේලා අනුකරණය කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
- රහතන් වහන්සේලා දිවිහිමියෙන් එක් වේලක් වළඳා විකාල භෝජනයෙන් වැළකී ජීවත් වන සේක.
- මම ද අද මේ දිවා රෑ උදයෙහි එක වේලක් වළඳා විකාල භෝජනයෙන් වැළකී ජීවත් වෙමි. මෙසේ මම රහතන් වහන්සේලා අනුකරණය කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
- රහතන් වහන්සේලා දිවිහිමියෙන් නැටුම්, ගැයුම්, වැයුම්, විසුළු දසුන්, කෝලම්, කලබල ආදිය බැලීමෙන්, මල්, සුවඳ විලවුන් භාවිතයෙන්, ආභරණ පැළඳීමෙන් හා සැරසීමෙන් වැළකී වසන සේක.
- මම ද මේ දිවා රෑ නැටුම්, ගැයුම්, වැයුම්, විසුළු දසුන්, කෝලම්, කලබල ආදිය බැලීමෙන්, මල්, සුවඳ විලවුන් භාවිතයෙන්, ආභරණ පැළඳීමෙන් හා සැරසීමෙන් වැළකී ජීවත් වෙමි. මෙසේ මම රහතන් වහන්සේලා අනුකරණය කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
- රහතන් වහන්සේලා දිවිහිමියෙන් වටිනා උස් ආසන, මහා ආසන හැර දමා, ඇඳක හෝ පැදුරක හෝ තණ ඇතිරියක සැතපෙන සේක.
- මම ද මේ දිවා රෑ වටිනා උස් ආසන, මහා ආසන හැර දමා, ඇඳක හෝ පැදුරක හෝ තණ ඇතිරියක සැතපී ජීවත් වෙමි. මෙසේ මම රහතන් වහන්සේලා අනුකරණය කරමි. මම පෙහෙවස් සමාදන් වීමි.
විශාඛාවනි, මෙසේ ආර්ය උපෝසථය වෙයි.
විශාඛාවනි, මෙසේ සමාදන් වූ ආර්ය උපෝසථය මහත්ඵල මහානිසංස වෙයි. කෙසේ මහත්ඵල මහානිසංස වේ ද යත්; යම් කෙනෙක් අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වංග, කුරු, පංචාල, මච්ච, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ යන සොළොස් මහා ජනපදවල (දඹදිව රාජධානි) ආධිපත්‍යය ඇති රජෙක් වේ නම්, ඔහුගේ රාජ්‍යය මේ ආර්ය උපෝසථයෙන් දහසයෙන් කොටසක්වත් නොවටියි.
ඒ කවර හෙයින් ද යත් දිව්‍ය සැප මිනිස් රජකමට වඩා ඉතා වැඩි බැවිනි.
විශාඛාවනි,
- චතුර්මහාරාජික දෙව්ලොව ආයුෂ, මෙලොව වසරවලින් ලක්ෂ අනූවකි (9,000,000). කෙනෙක් මේ අට කරුණකින් යුත් පෙහෙවස් සමාදන් වී චතුර්මහාරාජික දෙවියන් අතර උපදියි. මේ කරුණ නිසා මිනිස් ලොව රජකමට වඩා දිව්‍ය සැපය බොහෝ ප්‍රණීත යැයි කියන ලදි.
- තව්තිසා දෙව්ලොව ආයුෂ, මෙලොව වසරවලින් තුන්කෝටි හැටලක්ෂයකි (36,000,000). කෙනෙක් මෙසේ පෙහෙවස් සමාදන් වී තව්තිසා දෙවියන් අතර උපදියි. මේ කරුණ නිසා මිනිස් ලොව රජකමට වඩා දිව්‍ය සැපය බොහෝ ප්‍රණීත යැයි කියන ලදි.
- යාම දෙව්ලොව ආයුෂ, මෙලොව වසරවලින් දාහතරකෝටි හතලිස්ලක්ෂයකි (144,000,000). යම් කෙනෙක් මෙසේ පෙහෙවස් සමාදන් වී යාම දෙවියන් අතර උපදියි. මේ කරුණ නිසා මිනිස් ලොව රජකමට වඩා දිව්‍ය සැපය බොහෝ ප්‍රණීත යැයි කියන ලදි.
- තුසිත දෙව්ලොව ආයුෂ, මෙලොව වසරවලින් පනස්හත්කෝටි හැටලක්ෂයකි (576,000,000). යම් කෙනෙක් මෙසේ පෙහෙවස් සමාදන් වී තුසිත දෙවියන් අතර උපදියි. මේ කරුණ නිසා මිනිස් ලොව රජකමට වඩා දිව්‍ය සැපය බොහෝ ප්‍රණීත යැයි කියන ලදි.
- නිම්මාණරති දෙව්ලොව ආයුෂ, මෙලොව වසරවලින් දෙසියතිස්කෝටි හතලිස්ලක්ෂයකි (2,304,000,000). යම් කෙනෙක් මෙසේ පෙහෙවස් සමාදන් වී නිම්මාණරති දෙවියන් අතර උපදියි. මේ කරුණ නිසා මිනිස් ලොව රජකමට වඩා දිව්‍ය සැපය බොහෝ ප්‍රණීත යැයි කියන ලදි.
- පරනිම්මිතවසවත්ති දෙව්ලොව ආයුෂ, මෙලොව වසරවලින් නමසියවිසිඑක්කෝටි හැටලක්ෂයකි (9,216,000,000). යම් කෙනෙක් මෙසේ පෙහෙවස් සමාදන් වී පරනිම්මිතවසවත්ති දෙවියන් අතර උපදියි. මේ කරුණ නිසා මිනිස් ලොව රජකමට වඩා දිව්‍ය සැපය බොහෝ ප්‍රණීත යැයි කියන ලදි”.
බාගත කිරීමට 