ගෞතම බුදු රජාණන් වහන්සේ තමන් ගේ සෘද්ධි බලය, ප්‍රඥා බලය හා බුද්ධ බලය දෙවියන් සහිත මිනිසුන්ට විදහා දක්වන්නෙමි යි සිතූ සේක. එසේ සිතා දිව්‍ය ලෝක සහිත පෘථීවියට ද, සැමදා අඳුරේ පැවතුන ලෝකාන්තරික නිරයට ද යටට, උඩට, හරහට පැතිරුණු මහත් වූ ආලෝකයක් පැතිර වූ සේක. දෙවියෝ ද බ්‍රහ්මයෝ ද සතුටු සිත් ඇති ව ඔල්වරසන් නැගූහ.
ඒ ලෝක නායක වූ බුදු රජාණන් වහන්සේ විසින් සියල්ල මැණිකෙන් නිම වු සක්මනක් (රත්න චඞ්කමය) මැවූ සේක. දස දහසක් සක්වළෙහි වූ මහාමේරූ පර්වත කණු වශයෙන් ගෙන දස දහසක් සක්වළ ඉක්මවා සක්මන මැවූ සේක. සක්මන දෙපස ස්වර්ණමය භූමි විය. දස දහසක් සක්වළ දෙවියෝ එහි බබළමින් සක්මන් කරන බුදු රජාණන් වහන්සේ දැක්කාහ. මෙසේ තවත් නොයෙකුත් ප්‍රාතිහාර්යයන් පෑ ඒ බුදු රජාණන් වහන්සේ වෙත සැරියුත් තෙරණුවෝ පන්සියයක් භික්ෂූන් සමඟ ඍර්ධියෙන් වැඩි සේක.
එසමයෙහි බුදු රජාණන් වහන්සේ විසින් තමන්ගේ ගුණ මෙසේ ප්‍රකාශ කළ සේක.
අන්තයක් නොපෙනෙන කරුණු සතරකි. සත්ව සමූහයා ද, ආකාශය ද, චක්‍රාවාටයෝ ද අනන්තය. බුද්ධ ඥාණය අප්‍රමාණය. ප්‍රමාණ කළ නොහැකිය. අනන්තය.
යම් කලෙක තුසිත දෙව් ලොව සන්තුසිත නම් දෙවි ව ඉන්නා කල දසදහසක් සක්වළ දෙවියෝ “මහා වීරයාණෙනි, මෙය බුදු වන්නට කාලයයි. මව් කුස පිළිසිඳ දෙවියන් සහිත ලෝකයා දුකින් මුදවනු මැනව” යි මෙසේ අයාචනා කළහ.
මහා නුවණැති සැරියුත් තෙරණුවෝ “මහා වීරයන් වහන්ස, කවර කලෙක උත්තම බෝධිය ප්‍රාර්ථනා කරන ලද ද? කෙසේ දස පාරමී උප පාරමී, පරමත්ත පාරමී පුරන ලද ද?” යැයි ඇසූ සේක.
බුදු රජාණන් වහන්සේ විසින් මෙසේ බුද්ධ වංශ දේශනාව වදාළ සේක.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සියලු සත් රුවනින් යුත්, අලංකාරයෙන් යුත්, සමෘද්ධ, දැකුම්කලු, මනහර අමර නම් නුවරක් විය.
එහි ත්‍රිවේදයේ ද, ලක්ෂණ ශාස්ත්‍රයේ ද, ඉතිහාසයේ ද, බ්‍රාහ්මණ ධර්මයන්ගේ ද පරතෙරට ගිය සුමේධ නම් බ්‍රාහ්මණයෙක් විය. ඒ සුමේධ පණ්ඩිත වූ මම තනි ව මෙසේ සිතුවෙමි.
‘නැවත ඉපදීම දුකකි. මරණය ද දුකකි. ජරා මරණ රහිත වූ නිර්භය වූ නිවන සොයන්නෙමි. නා නා කුණපයන්ගෙන් පෙළුණු මේ කුණු කය හැර දමා භවයෙන් මිදීම පිණිස ඒ මග සොයන්නෙමි.’
මම මෙසේ සිතා නොයෙක් කෝටි ගණන් ධනය අනාතයන්ට ද, අනාත නොවූවන්ට ද දී හිමාලයට නුදුරු ව ධම්මික නම් පර්වතයකට ගියෙමි. එහි අසපුවක් විය. එහි දී පංච නීවරණ දුරු කොට අභිඥා බලය ලැබීමි.
දීපංකර බුදු රජාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත් කල්හි ද, මව් කුසෙන් නික්මෙන විට ද, බුදු වන විට ද, දීපංකර බුදු රජාණන් වහන්සේ දම්සක් පවත්වන කල්හි ද, ධ්‍යාන රතියෙහි ඇලුණු නිසා පෙර නිමිති නොදුටුවෙමි.
එකල්හි මා අහසෙහි යන විට, මහජනයා මාර්ගයක් ශුද්ධ කරන්නාහ. මම ද දීපංකර බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් එහි යම් කොටසක් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ශුද්ධ කළෙමි. මාගේ කොටස නොනිමි කල්හි දීපංකර බුදු රජාණන් වහන්සේ සමඟ සාර ලක්ෂයක් රහතන් වහන්සේලා මගට වැඩි සේක. සතුටු වූ දෙවි මිනිස්සු පෙර ගමන් කරති. බෙර වයති. තූර්ය වාදන කරති. පසුපසින් ද යති. දෙවියෝ මිනිසුන් ද, මිනිස්සු දෙවියන් ද දකිති. දෙවියෝ අහසේ සිට මදාරා, පියුම්, පරසතු මල් විසුරවති. මිනිස්සු සපු, හොර, කොලොම්, දොඹ හා වැටකේ මල් විසුරවති.
මම හිස කෙස් මුදා ඇඳුම් ද සම්කඩ ද මඩ මත අතුරුවා යටිකුරු ව නිදා ගත්තෙමි. ‘බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ අතවැසියෝ මා පාගා ගෙන මඩට නොවැටී නික්මේවා. එය මට බොහෝ කලක් හිත සුව පිණිස වන්නේය’.
පොළොවේ වැදහුන් මට මෙසේ චිත්ත විතර්කයක් විය. ‘අද මම කැමති නම් මාගේ කෙලෙස් දවන්නෙමි. මේ භවයේ අප්‍රකට ව ධර්මය අවබෝධ කිරීමෙන් මට කවර ප්‍රයෝජනයක් ද? තමාගේ බල දන්නා පිරිමියෙකු වූ මම තනි ව නිවන් දැකීමෙන් කවර ප්‍රයෝජනයක් ද? බුදු රජාණන් වහන්සේට කළ මාගේ මේ අධික සත්කාරයෙන් සංසාරය නමැති දිය පහර සිඳ, තුන් භවය වනසා දහම් නැවට නැඟ දෙවියන් සහිත ලෝකයා එතෙර කරවන්නෙමි’.
මිනිසත් බව, පුරුෂ බව, හේතු සම්පන්න බව, ජීවමාන බුදුන් දැකීම, පැවිද්ද, අෂ්ඨ සමාපත්ති සංඛ්‍යාත ගුණ සම්පත් ද, ප්‍රාර්ථනාව ද, කුසල් හා ඡන්ද ඇති බව යන කරුණු හේතු කොට ගෙන මාගේ හිස ළඟ වැඩහුන් දීපංකර බුදු රජාණන් වහන්සේ විසින් මෙසේ නියත විවරණ දුන් සේක.
‘ජටාධර මේ තාපසයා දෙස බලන්න. මෙයින් අප්‍රමේය කල්පයෙහි මොහු ලොව බුදු වෙයි.
කපිලවස්තු නගරයෙන් ගිහිගෙයින් නික්ම, ප්‍රධන් වීර්යය වඩා, දුෂ්කර ක්‍රියා කොට, අජපල් රුක මුල හිඳ කිරිපිඬු පිළිගෙන නේරංජනා ගංතෙරට පැමිණ කිරිපිඬු වළඳා, ඇසතු බෝ රුක වෙත පැමින එහි මුල හිඳ බුදු වන්නේය.
මොහුගේ ජනක මවු මායා ද, පිය තෙමේ සුද්ධෝදන ද, මේ තෙම ගෞතම නම් ද වන්නේය. කෝලිත සහ උපතිස්ස අග්‍ර ශ්‍රාවක ද, ඛේමා සහ උප්පලවන්නා අග්‍ර ශ්‍රාවිකාවන් ද වෙයි. ආනන්ද නම් උපස්ථායකයෙක් උවටැන් කරයි. චිත්ත හා හත්ථාලවක අග්‍ර උපස්ථායක ද, උත්තරා හා නන්ද මාතා අග්‍ර උපස්ථායිකා ද වෙයි’.
දීපංකර බුදු රජාණන් වහන්සේගේ මේ බස් අසා මේ බුද්ධ බීජාංකුරයෙකැයි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝ වැසියෝ නමස්කාර කරති. ඔල්වරසන් පවත්වති. අත් පොළසන් දෙති. සිනාසෙති. මේ බුදු සසුන වැරදුනහොත් අනාගත කාලයේ ඒ බුද්ධ ශාසනය හෝ හමුවන්නෙමු’ යි සිතති.
බුදු රජාණන් වහන්සේ මාගේ කර්මය ප්‍රකාශ කොට පිය නැගූ සේක. එහි යම් බුද්ධ පුත්‍රයන් කෙනෙක් වූවාහු ද ගෞරව පිණිස මා පැදකුණු කළහ. දෙවියෝ ද, මිනිස්සු ද, අසුරයෝ ද වැඳ නමස්කාර කොට නික්ම ගියහ. ප්‍රමෝදයට පත් ප්‍රීතිමත් වූ මම පලඟක් බැඳ මෙසේ සිතීමි. මම ධ්‍යානයේ වශී වූවෙමි. පංච අභිඥාවෙහි පරතෙරට ගියෙමි.
දස සහස්සී ලෝක ධාතු වැසි දෙවියෝ ඒකාන්තයෙන් බුදු වන්න යැයි මහා නාද පැවැත් වූහ.
පෙර බෝසතුන්ගේ උතුම් පර්ය්‍යඞ්කය බැඳීමේ දී යම් නිමිති ප්‍රකට වී ද අද ද ඒ නිමිති දක්නා ලැබෙයි.
මෙසේ දීපංකර බුදු රජාණන් වහන්සේගේ ද දස දහසක් සක්වළ දෙවියන්ගේ ද වදන් අසා සතුටු සිතැති ව මම මෙසේ සිතීමි.
‘බුදු වරුන්ගේ ඒකාන්ත වචන ඇත. නොසිස් වචන ඇත. නියතයෙන් ම බුදු වෙමි’.
මම බුදු බව සඳහා අවශ්‍ය දහම් විමසුවෙමි. මෙසේ දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, විර්ය පාරමිතාව, ක්ෂාන්ති පාරමිතාව, සත්‍යය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව හා උපේක්ෂා පාරමිතාව යන පාරමී හැර අන්‍ය බුද්ධ කාරක ධර්මයක් නැත.
මෙසේ සම්මර්ශනය කරන විට දස දහසක් සක්වළ පොළොව කම්පා විය.
දීපංකර බුදු රජාණන් වහන්සේගෙන් මහජනයා මෙසේ ඇසූහ. “ලොවට හොඳක් හෝ නරකක් වන්නේද?”
“බිය නොවන්න. ඒ සුමේධ තවුසා බුදු බව සඳහා වූ පාරමී අධිෂ්ඨාන කරන විට මේ පෘථිවිය කම්පා වේ” යැයි බුදු රජාණන් වහන්සේ පැවසූ සේක.
නැවත සියල්ලෝ ම මා වෙත පැමිණ නමස්කාර කළාහුය.
එකල්හි මම සිත තර කොට බුදු ගුණ සමාදන් ව දිපංකර බුදු රජාණන් වහන්සේ වැඳ හුනස්නෙන් නැගී සිටියෙමි. දෙවියෝ දිව්‍ය මල් ද, මිනිස්සු මිනිස් ලොව මල් ද, මා මත්තෙහි විසිරවූහ. ඒ දෙපිරිස විසින්
“සියලු උවදුරු දුරු වී සෙත් වේවා. ශෝක රෝග නැසේවා. තොපට අනතුරක් නොවේවා. උතුම් සම්මා සම්බෝධිය වහා අවබෝධ කරව” යි ආශිර්වාද කළහ.
අප බෝසතාණෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සියලු දෙවි මිනිසුන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෝහ අන්ධකාරයෙන් වැසී පවත්නා ලෝකයාට ප්‍රඥා ආලෝකය දල්වා සියලු දෙවි මිනිසුන් දුකෙන් මුදවාලන ස්ථිර අධිෂ්ඨානයෙන් පාරමී පිරූහ.
නියත විවරණ ලැබූ අප බෝසතානෝ තුසිත දෙවි ලොව සන්තුසිත නමින් ඉපිද, දස දහසක් සක්වල දෙවියන්ගේ ආරාධනාවෙන් දෙව් ලොවින් චුත ව මහාමායා බිසවගේ මව් කුස පිළිසිඳ ගත් සේක.
මනා කළු කෙස් ඇති භද්‍ර යෞවන කාලයේ දී ම ප්‍රථම වයසින් (අවුරුදු 29) සමන්වාගත ව දෙමාපියන් කදුළු මුසු මුහුණු ඇති ව හඬද්දී ම කෙස් රැවුල් බහාලා, කසාවත් හැඳ පෙරව, ගිහිගෙය හැර අනගාරික පැවිද්දට පැමිණියෙමි. මෙසේ පැවිදි වී කුසලය (නිවන) කුමක් දැයි සොයමින් ආළාර කාලාම තවුසා කරා එළඹියෙමි. එළඹ ඔහුට ඇති ආකිඤ්චඤඤායතනයට මමත් පැමිණ, ප්‍රත්‍යක්ෂ කොට වාසය කළෙමි. එහෙත් එය නිවන සදහා නොපවතින නිසා එයින් කලකිරී එය අත්හැර බැහැර ගියෙමි. කුසලය සොයමින් උද්දකරාම පුත්‍ර කරා ගොස් නේවසංඥානාසංඥායතනයට පැමිණ, එහෙත් එහි නිවන නොමැති නිසා ඔහු ද අත්හැර ඉවත් ව ගියෙමි.
මෙසේ කුසලය සොයමින් උරුවේලායෙහි සේනානි නම් නියම් ගමට පැමිණ මෙහි ප්‍රධන් වීර්යයට සුදුසු යැයි සිතා වීර්යය කළෙමි. එහි අප්‍රාණික ධ්‍යාන වැඩුවෙමි. මුවින්, නාසයෙන් හා කනින් ආශ්වාස ප්‍රාශ්වාස වැළැක්වීමි. බොහෝ වේදනා ඇති විය. නැවත නැවතත් අප්‍රාණික ධ්‍යාන වැඩුවෙමි. පසු ව සියලු ආහාර අතහැරීමට සිතූ විට දෙවියෝ පැමිණ එසේ නොකරනු මැනවි, එසේ කළහොත් රෝම කූපයන්ගෙන් දිව්‍ය ඔජාව ඇතුළු කරන බව පැවසූහ. එම නිසා ආහාර නොනවත්වා, ආහාර ගන්නා ප්‍රමාණය අඩු කළෙමි. මාගේ කය බොහෝ කෙට්ටු විය. මෙසේ අතිශයින් බොහෝ තීව්ර දුක් වේදනා වින්දෙමි. අතිතයේ දී වත් අනාගතයේ දී වත් වර්තමායේ දී වත් කිසි කලෙක යම් පැවිද්දෙකු හෝ බ්‍රහ්මණයෙකු උපක්‍රම කර යම් තීව්ර දුකක් වින්දේ නම් මෙ තරම් හෝ මෙයින් වැඩිතර නම් නොවෙයි. එහෙත් මේ කටුක දුෂ්කර ක්‍රියාවෙන් උත්තරී මනුස්ස ධර්මයක් නොලැබිණ. නිවන සදහා වූ වෙනත් මගක් ඇත්දැයි සිතීමි.
පෙර පිය ශාක්‍යයන්ගේ කමතෙහි සිසිල් දඹ සෙවනෙහි දී කාමයන්ගෙන් වෙන් ව ම අකුසලයන්ගෙන් වෙන් ව ම විතක්ක විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානය උපයාගෙන වාසය කළ බව සිහි වී ඒ නිර්වාණයට මාර්ගය වේ දැයි සිතුවෙමි. එහෙත් මේ දුර්වල කයෙන් ඒ සුඛය ලබන්නට පහසු නොවෙයි. එසේ සිතා බත්, පිට්ටු සහිත ඕළාරික ආහාර වැළඳුයෙමි. එවිට උපස්ථානයට සිටි පස්වග භික්ෂූහු මා කෙරෙහි කලකිරී නික්ම ගියහ.
ඉන්පසු අජපල් නුගරුක මුල වැඩ හිඳ එහි දී සුජාතාවගෙන් කිරිපිඬු පිළිගෙන නේරංජා ගං තෙරෙහි කිරිපිඬු වළඳා ඇසතු බෝරුක මුල ප්‍රධන් වීර්යය කොට සතර ධ්‍යාන උපයා ගෙන විසීමි.
සිත මෘදු කර්මන්‍ය වූ විට රෑ පළමු යාමයෙහි පුබ්බේනිවාසානුස්සති ඥානය සාක්ෂාත් විය. මධ්‍යම යාමයේ චුතූපපාත ඥානය සාක්ෂාත් විය. පශ්චිම යාමයේ මේ දුක, මේ දුක්ඛ සමුදය, මේ දුක්ඛ නිරෝධය, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව යැයි යථාභූත ව දැන මේ ආස්‍රව, මේ ආස්‍රව සමුදය, මේ ආස්‍රව නිරෝධය, මේ ආස්‍රව නිරෝධ ගාමිනී පටිපදාව යැයි යථාභූත ව දත්තෙමි. මාගේ සිත ආස්‍රවයන් ගෙන් මිදුණි. මිදුණා යැයි නුවණ විය. ඉපදීම ක්ෂය විය. බුද්ධත්වයට පත්වීමි.
පිළිවෙලින් සැරිසරා ඉසිපතනයේ මිගදායට වැඩි සේක. පස්වග මහණහු දුර දී ම භාග්‍යවතුන් වහන්සේ දැක, ප්‍රත්‍ය බහුල කර ගත් ප්‍රධන් වීර්යයෙන් පිරිහුණු ශ්‍රමණ ගෞතම තෙමේ එයි. නොම වැඳිය යුතුය. උපස්ථාන නොකළ යුතුය. පා සිවුරු නොපිළිගත යුතුය. කැමති නම් ඉඳගනු පිණිස අසුනක් පමණක් දිය යුතුය”යැයි කතිකා කළහ.
එනමුත් තථාගතයන් වහන්සේ එළඹෙන විට සිය කතිකාවතේ ඔවුනට සිටිය නොහැකි විය. පසු ව භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධත්වය පස්වග තවුසනට හැඟවීමට හැකි විය. එකල්හි පස්වග මහණහු මනා කොට ඇසීමට යොමු කළ කන් ඇති ව රහත් බව පිණිස සිත පිහිට වූහ.
භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්නත සුත්‍රය දේශනා කළ සේක. කොණ්ඩඤ්ඤ තෙම සෝවාන් වී පළමු ව පැවිදි වී උපසම්පදාව ලද සේක.
පසු ව වප්ප, භද්දිය, මහානාම හා අස්සජී යන සතර දෙනා ද භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයෙන් සෝවාන් වී පැවිදි උපසම්පදාව ලැබූ සේක. අනත්තලක්ඛණ සූත්‍රය ඇසීමෙන් සියලු භික්ෂූන් වහන්සේලා අස්‍රවක්ෂය කළ සේක.
එකල්හි මෙලොව රහත්හු සය දෙනෙක් විය.
බරණැස යස නම් කුල පුත්‍රයෙක් විය. අතිශයින් කාමයන් විඳින ඔහුට දිනෙක පළමු ව නින්ද පැමිණියේය. නැවත අවදි වූ විට පරිවාර ස්ත්‍රීන් මෙසේ දුටුවේය. එකකගේ කිසිල්ලේ වීණාව විය. එකකගේ කිසිල්ලේ පණා බෙරය විය. අවුල් වූ කෙස් ඇති එකක ද, කුණු කෙළ වැගිරෙන එකක ද, නන් දොඩවන අන් අඟනකු ද දුටුවේය. එතැන අමු සොහොනක් වැනි විය. ආදීනව ප්‍රකට විය. කලකිරීමෙහි සිත පිහිටියේය.
‘පින්වතුනි, ඒකාන්තයෙන් පීඩිත වූ වේදනාවට පත් කරන ලද්දේය. පින්වතුනි, ඇත්ත වශයෙන් ම පීඩාවට පත්වූයෙමි’. යස කුල පුත් නිවෙස් දොරට පැමිණියේය. දෙවියෝ යස කුල පුත්‍රයාගේ ගිහිගෙයින් නික්ම ශාසනයේ පැවිද්දට කිසිවෙක් අන්තරා නොකෙරෙවා යි දොර විවෘත කළහ. යස කුල පුතු නුවර දොරට පැමිණි විට ද දෙවියෝ ඒ දොර ද පැවිද්දට යන යස කුල පුතුට අනුග්‍රහ පිණිස විවෘත කළහ.
මිගදායේ ඉසිපතනයට ගිය යස කුල පුත් බුදු රජාණන් වහන්සේට වැඳ එකත් පසෙක විය. භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළ කතාව වදාළ සේක. එනම් දාන කතාව, සීල කතාව, ස්වර්ග කතාව, කාමයන්ගේ ආදීනවය වූ හීන පවිටු ස්වභාවය, කෙලෙස් සහගත භාවය හා ගිහි ගෙයින් නික්මීමේ ආනිසංස වදාළ සේක. යස කුල පුතුගේ නීවරණ යටපත් වූ විට බුදුවරයන්ගේ සාමුක්කංසික දේශනාව (මේ දුකයි, මේ දුක්ඛ සමුදයයි, මේ දුක්ඛ නිරෝධයයි, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයි) කළ සේක. යස කුල පුත් සෝවාන් විය.
යස කුල පුතු සොයා පැමිණි (මේ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ යස කුල පුතු පියාට නොපෙනෙන සේ ඍද්ධියක් කළ සේක.) යස කුල පුතුගේ පියාට ද මෙසේ ම පිළිවෙළ කතාව හා සාමුක්කංසික දේශනාව කරන විට ඔහු ද සෝවාන් විය. මේ ධර්ම දේශනාව අසා යස කුල පුතු රහත් විය. භාග්‍යවතුන් වහන්සේ යස කුල පුතු පැවිදි කළ සේක. එදින යස තෙරණුවන් සමඟ බුදු රජාණන් වහන්සේ සිටුතුමාගේ ගෙට වැඩි සේක. යසගේ මවට ද පුරාණ භාර්යාවට ද ධර්මය දේශනා කළ විට ඒ දෙදෙනා ද සෝවාන් විය. ඒ දෙදෙනා ලෝකයේ ප්‍රථම තුනුරුවන් සරණ ගිය උපාසිකාවෝ වූහ.
යස තෙරුන් වහන්සේගේ ගිහි කල යහළු විමල, සුබාහු, පුණ්ණජි හා ගවම්පති යන සතර දෙනා ද දනව් වැසි පනසක් වූ ගිහි යහළුවෝ ද බුදු රජාණන් වහන්සේ වෙත පැමිණ පැවිද අරහත්වය සාක්ෂාත් කළහ. එකල ලෝකයේ රහත්හු සැට එක් දෙනෙක් විය. සියල්ලන්ට ම භාග්‍යවතුන් වහන්සේ මෙසේ අවවාද කළ සේක.
“මහණෙනි, බොහෝ දෙනාට හිත සුව පිණිස ලෝකයාට අනුකම්පාවෙන් සියලු දෙව් මිනිසුන්ට වැඩ පිණිස ද සැප පිණිස ද චාරිකාවේ හැසිරෙවු. එක මග දෙදෙනෙක් නොයවු. මුල, මැද, අග සියල්ල යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යංජන සම්පත්තියෙන් යුක්ත වූ, සියල්ලෙන් සම්පූර්ණ වූ පිරිසිදු වූ බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරවු. කෙලෙස් අඩු සත්වයෝ වෙති. ඔවුහු ධර්මය අසා අවබෝධ කරති. නොඇසුනහොත් පිරිහෙති. මහණෙනි, මමත් උරුවෙල් දනව්වේ සේනානි නම් නියම් ගමට දහම් දෙසීම පිණිස යමි”.
බුදු රජාණන් වහන්සේ භික්ෂූන්ට ත්‍රිවිධ වූ සරණාගමනයෙන් පැවිදි උපසම්පදාව කිරීම සඳහා අවසර දුන් සේක.
උරුවෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප හා ඔවුන්ගේ දහසක් වූ පිරිස ද පැවිදි කළ සේක.
මගධ දේශයේ රජු වූ බිම්බිසාර රජතුමා දොළොස් නහුතයක් (එක් ලක්ෂ විසි දහසක්) බ්‍රාහ්මණ ගෘහපතීන් සමඟ පැමිණ බුදු රජාණන් වහන්සේ වැඳ එකත් පස් ව සිටියේය. සියලු දෙනාට පිළිවෙළ කතාව කර සාමුක්කංසික දේශනාව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එවිට බිමබිසාර රජු ප්‍රමුඛ එක්ලක්ෂ දස දහසක් දෙනා සෝවාන් වූහ. තව දස දහසක් උපාසක භාවය ප්‍රකාශ කළහ. බිම්බිසාර රජතුමා විසින් තමා ‘දිවි හිමියෙන් තුනුරුවන් සරණ ගිය උපාසකයෙකු යැයි දරණ සේක්වා’යි පවසා භාග්‍යවතුන් වහන්සේ සමඟ භික්ඛු සංඝයාට පසු දින දානය සඳහා ආරාධනා කළේය. පසු දින දන් වළඳවා වේළුවන උයන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කළේය.
එකල සංජය පරිබ්‍රාජක දෙසිය පනහක් පමණ පිරිසක් සමඟ රජගහ නුවර වාසය කරයි. සාරිපුත්ත, මොග්ගල්ලාන දෙදෙනා ද සංජය පරිබ්‍රාජකයාගේ පිරිවරට අයත් වෙයි. අස්සජි රහතන් වහන්සේ පිඬු සිඟා වඩිනු දැක සාරිපුත්ත පරිබ්බ්‍රාජකයා අතිශයින් පැහැදී ඔබගේ ශාස්තෘන් වහන්සේ කවුද ? ඒ ධර්මය කුමක් ද? යි ඇසුවේය.
අස්සජි රහතන් වහන්සේ විසින් බුදු රජාණන් වහන්සේ ශාස්තෘ වන බවත්, බුදු රජාණන් වහන්සේගේ ධර්මයට කැමති බවත් පවසා කෙටියෙන් ධර්මය දේශනා කළේය. ඒ කෙටි ධර්ම පරියාය අසා සාරිපුත්ත පරිබ්‍රාජකයා සෝවාන් විය. එම පරියාය ම සාරිපුත්ත විසින් මොග්ගල්ලාන පරිබ්බ්‍රාජකයාට පැවසීය. ඔහු ද සෝවාන් විය. ඒ දෙදෙනා දෙසිය පනසක් වූ පරිබ්‍රාජකයන් සමඟ බුදු රජාණන් වහන්සේ වෙත පැමිණියහ. සියල්ලෝ ම පැවිදි කරන ලදි. එකල මගධ දේශයේ ඉතා ප්‍රසිද්ධ කුල පුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචරියාවේ හැසිරුණහ.
භාග්‍යවතුන් වහන්සේ පසු ව කිඹුල්වත් නුවරට වැඩි සේක. සුද්ධෝදන රජුගේ මාළිගාවේ දී රාහුල මාතා වූ යසෝධරා, රාහුල කුමරුට,
“මේ තෙම ඔබගේ පියාය. ගොස් දායාද ඉල්ලව” යැයි කීවාය.
රාහුල කුමරු භාග්‍යවතුන් වහන්සේ පසුපස,
“ශ්‍රමණය, මට දායාද දෙව” යි පවසමින් ගියේය.
භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරණුවන්ට රාහුල කුමරා පැවිදි කරන ලෙස පැවසූ සේක. සරණාගමනයෙන් සාමණේර පැවිද්ද රාහුලට ලැබුණි.
ඉන්පසු සුද්ධෝදන ශාක්‍යයාගේ ඉල්ලීමක් අනුව දෙමාපියන් විසින් අවසර නොලත් පුතු පැවිදි නොකළ යුතු යැයි වදාළ සේක.
එකල භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරාමයේ වැඩ වසන සේක. එහි දී මහාප්‍රජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේගෙන් භික්ෂුණී පැවිද්ද නැවත නැවත තුන්වරක් තෙක් අයැද සිටියාය.
භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේක. පසු ව භාග්‍යවතුන් වහන්සේ වේසාලියේ කූටාගාර ශාලාවේ වැඩ සිටින කළ ප්‍රජාපතී ගෝතමී කෙස් සිඳ කසාවත් හැඳ බොහෝ ශාක්‍ය ස්ත්‍රීන් කැටුව විසල් පුරට පැමිණියාය.
ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් භික්ෂුණී පැවිද්ද තුන්වරක් ඉල්ලා නොලද බැවින් නැවත කරුණු දක්වා ඉල්ලීම් කළ සේක. අෂ්ඨ ගරු ධර්මයන් පිළිගන්නේ නම් ගෝතමියට එය ම පැවිද්ද හා උපසම්පදාව වේවා යි භාග්‍යවතුන් වහන්සේ ගරු ධර්ම අටක් පැනවූ සේක. ගෝතමිය එය පිළිගත්තාය. එය භික්ෂුණී ශාසනයේ ඇරඹුම විය.
මෙසේ බුදු රජාණන් වහන්සේ පුරා වසර හතළිස්පහක් සියලු දෙව් මිනිසුන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් ධර්මය දේශනා කළ සේක. බුදු සසුන ස්ථාවර විය.
එකල භාග්‍යවතුන් වහන්සේ විසින් ආනන්ද තෙරණුවන්ට මෙසේ වදාළ සේක. යමෙක් ඍර්ධිපාද වඩන ලද්දාහු ද, පුන පුනා වඩන ලද්දාහු ද, යානාවක් සේ කරන ලද්දාහු ද, තහවුරු කොට පිහිට වන ලද්දාහු ද, පුරුදු කරනු ලද්දාහු ද, මොනවට සම්පූර්ණ කරනු ලද්දාහු ද, හේ කැමති නම් ආයුෂ කල්පයක් හෝ ආයුෂ කල්පයකට මදක් වැඩි කලක් හෝ සිටිය හැකිය. තථාගතයන් වහන්සේ සතර ඍර්ධිපාද එසේ ම වඩන ලදි. තථාගතයන් වහන්සේ කැමති නම් ආයුෂ කල්පයක් හෝ ආයුෂ කල්පයකට මදක් වැඩියෙන් හෝ සිටිය හැකිය.
මෙසේ පිරිනිවන් පෑම ගැන ඔලාරික නිමිති පල කළ ද ආනන්ද තෙරණුවෝ එය නොදැනගත් සේක. කල්පයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වන සේ ආරාධනා නොකළ සේක.
මෙසේ තුන්වරක් දක්වා භාග්‍යවතුන් වහන්සේ පැවසුව ද ආනන්ද තෙරණුවන්ට එසේ සිහි නොවූහ.
ආනන්ද තෙරණුවෝ ඉවත් වූ පසු පසෙක සිටි පාපී මාරයාගේ ආරාධනාව පිළිගෙන තුන් මසකින් පිරිනිවන් පාන බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයේ දී මනා සිහි නුවණින් ආයු සංස්කාරය හළ සේක. එවිට මහා භූමි චලනයක් විය. දෙව් බෙර පැළින.
මෙකල භාග්‍යවතුන් වහන්සේ නැවත නැවත මෙසේ බහුල කතාවක් කරන සේක. සීලට මෙබඳුය, සමාධිය මෙබඳුය, ප්‍රඥාව මෙබඳුය, සීලයෙන් වඩන ලද සමාධිය මහත් ඵල ඇත්තේය. මහත් අනුසස් ඇත්තේය. ඒ සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් ඵල ඇත්තේය. මහත් අනුසස් ඇත්තේය. ප්‍රඥාවෙන් වඩන ලද සිත කාමස්‍රවයෙන් ද, භවාස්‍රවයෙන් ද, අවිද්‍යාස්‍රවයෙන් ද, මොනවට මිදෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ නිවැරදි ධර්ම විනය සොයා ගැනීමට, සතර මහා අපදේශ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. භික්ෂූන් වහන්සේලාට මෙම සතර මහා අපදේශ සිතෙහි දරා ගන්නා ලෙස උපදෙස් දුන් සේක.
චුන්ද කර්මාර පුත්‍රයාගේ සූකර මද්දව නම් වූ අවසන් දානය භාග්‍යවතුන් වහන්සේ වැළදූ සේක.
පසුව භාග්‍යවතුන් වහන්සේට, කෘෘර ලෝහිත පක්කන්දිකා නම් රෝගය හට ගැනුණි. භාග්‍යවතුන් වහන්සේ සිහි නුවණින් ඒ දුක් වේදනාවන් ඉවසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, ආනන්ද තෙරුන් සමග කුසිනාරාව වෙත වැඩි සේක.
භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරණුවන්ට මෙසේ වදාල සේක. අග්‍ර අනුසස් ඇති, සම විපාක ඇති මේ පිණ්ඩපාත දෙකකි. යම් පිණ්ඩපාතයක් වළදා තථාගතයන් වහන්සේ බුදු වන සේක ද, යම් පිණ්ඩපාතයක් වළදා ආනුපාදිශේස පරිනිර්වාණයට පැමිණේ ද මේ එම පිණ්ඩපාත දෙකයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන සමග කුසිනාරා නුවර උපවර්තන නම් සල් උයන කරා වැඩි සේක. ආනන්ද තෙරණුවෝ එහි උතුරු දෙසට හිස සිටිනා සේ ඇදක් පැනවූ සේක. භාග්‍යවතුන් වහන්සේ මනා සිහි නුවණින් දකුණු ඇලයෙන් සිංහ සෙය්‍යාවෙන් සැතපුන සේක.
අකල් හි මලින් පිරුණු අතු පතරින් එකට බැදුණු මේ සල් ගස් දෙකෙහි, මල් තථාගතයන් වහන්සේට පූජා පිණිස තථාගත සිරුරෙහි විසිරෙයි. වගුරවයි, බොහෝ විසිරෙයි.
දිව්‍ය මදාරා මල් ද, අහසින් වැටී ඒවා තථාගතයන් වහන්සේට, පූජා පිණිස ශරීරයේ විසිරෙයි, වගුරවයි, බොහෝ විසිරෙයි.
දිව්‍යමය සදුන් කුඩු අහසින් වැටී, තථාගතයන් වහන්සේට පූජා පිණිස ශරීරයේ විසිරෙයි, වගුරවයි, බොහෝ විසිරෙයි.
තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමය තූර්ය වාදන වාදනය වේ, දිව්‍යමය ගායනා අහසෙහි පැවැත්වේ. ආනන්ද, මෙපණකින් වනාහී තථාගතයන් වහන්සේට සත්කාර කරනු ලැබුවේ, ගරු කරන ලදුයේ, බෙහෙවින් පුදනු ලදුයේ නොවේ.
යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ, උපාසකයෙක් හෝ උපාසිකාවක් නිවැරදි මගට පැමිණ ධර්මානූකූලව හැසිරී ධම්මානු ධම්ම පටිපදාවේ වාසය කරයි නම්, හෙතෙම බුදු රජාණන් වහන්සේට සත්කාර කරයි, ගෞරව කරයි, පුදන ලද වෙයි, විශේෂයෙන් පූජා කරන ලද වෙයි. උතුම් ම පූජාවෙන් පුදන ලද්දේ වෙයි. එබැවින් ආනන්ද නිවැරදි මගට පැමිණ ධර්මානූකූලව හැසිරෙන ධම්මානු ධම්ම පටිපන්නව වසන්නේ යැයි මෙසේ ම හික්මිය යුතුය.
ජිවමාන බුදු රජාණන් වහන්සේගේ අවසන් ශ්‍රාවකයා වූ සුභද්‍ර භික්ෂුව, භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්ණ විමසා සියලු කෙලෙස් නසා රහත් විය.
ඉක්බිති ව කුසිනාරා නුවර උපවර්තන සල් උයනේ දී භාග්‍යවතුන් වහන්සේ අනුපාදිශේස නිර්වාණ ධාතුවෙන් පිරිණිවන් පෑ සේක.