බහූ චෙ සරණං යන්ති
පබ්බතානි වනානි ච
ආරාමරුක්ඛචෙත්‍යානි
මනුස්සා භයතජ්ජිතා
නෙතං ඛො සරණං ඛෙමං
නෙතං සරණමුත්තමං
නෙතං සරණමාගම්ම
සබ්බදුක්ඛා පමුච්චති
යො ච බුද්ධඤ්ච ධම්මඤ්ච
සඞඝඤ්ච සරණං ගතො
චත්තාරි අරියසච්චානි
සම්මප්පඤ්ඤාය පස්සති
දුක්ඛං දුක්ඛසමුප්පාදං
දුක්ඛස්ස ච අතික්කමං
අරියඤ්චට්ඨඩ්ගිකං මග්ගං
දුක්ඛූපසමගාමිනං
එතං ඛො සරණං ඛෙමං
එතං සරණමුත්තමං
එතං සරණමාගම්ම
සබ්බදුක්ඛා පමුච්චති
බියෙන් තැති ගත් මිනිස්සු පර්වත, වනාන්තර, ආරාම, ගස්, චෛත්‍ය ආදිය බොහෝ සෙයින් සරණ යති.
මෙසේ සරණ යාම නිර්භය පිණිස නොවෙයි. මෙය උතුම් සරණ නොවෙයි. මෙසේ සරණ යාමෙන් සියලු දුකින් නොමිදෙති.
යමෙක් බුදු රජාණන් වහන්සේ ද ධර්මය ද සංඝයා ද සරණ ගොස් චතුරාර්ය සත්‍ය මනා නුවණින් දකිත් ද
දුකත්, දුක හටගැනීමත්, දුක ඉක්මවා යාමත්, දුක සංසිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ගයත්
යන මේ සරණ යාම ම නිර්භය පිණිස වෙයි. මෙය ම උතුම් සරණ වෙයි. මෙසේ සරණ යාමෙන් සියලු දුකින් මිදෙති.
සියල්ල දන්නා වූ දක්නා වූ සර්වඥතා ඥානයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ විසින් තුනුරුවන් සරණ ගොස්, චතුරාර්ය සත්‍ය දැන, දැක, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා සියලු දුකෙන් මිදිය හැකි බවත්, මේ සරණ යෑම උතුම් බවත්, මෙයින් සියලු දුක් බිය නැති වන බවත් වදාළ සේක.
එහෙත් බියෙන් තැති ගත් මිනිස්සු ගස්, ගල්, ආරාම, චෛත්‍ය, වනන්තර, පර්වත ආදිය බොහෝ සෙයින් සරණ යන බවත්, එයින් පිහිටක් නොලබන බවත්, එයින් දුකෙන් නොමිදෙන බවත් වදාළ සේක.
තුනුරුවන් සරණ යෑම යනු; බුද්ධ, ධම්ම සහ සංඝ යන ත්‍රිවිධ රත්නයන් පිහිට කර ගැනීම වෙයි. එහෙත් අද බොහෝ බෞද්ධයන් මිථ්‍යාවන් පිහිට කර ගෙන සිටිනු පෙනෙයි.
බෝ ගස්, නා ගස්, නුග ගස් ආදියෙන් අපල උපද්‍රව දුරු කර ගැනීම, ලෙඩ රෝගවලින් වැළකීම, දීර්ඝායුෂ බලාපොරොත්තු වීම, වෙළඳ ව්‍යාපාර, අධ්‍යාපනය, විවාහ ආදිය සාර්ථක කර ගැනීම පිණිස පිහිට ඉල්ලති. එනම් ගස් සරණ යති. මේවා මිථ්‍යා විශ්වාස වෙයි.
හිත් පිත් නැති ගස්වලට හිතීම්, කීම්, කිරීම් කළ නොහැකිය. ආශිර්වාද ද කළ නොහැකිය.
බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා, බුද්ධත්වයට පත් වන අවස්ථාවේ ඇසතු බෝ ගසට පිට දී බුද්ධත්වයට පත් වූ සේක.
එසේ නොමැති ව බෝ ගස බුද්ධත්වයට පත් නොවීය.
මෙකල බොහෝ බෞද්ධයෝ බුදු රජාණන් වහන්සේ විසින් සත් දිනක් බෝ ගස දෙස බලා අනිමිසලෝචන පූජා කළේ යැයි ධර්මය වරදවා දරති. මෙය අසත්‍යයකි.
බුදු වී පළමු සතිය උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා ගං ඉවුර සමීපයෙහි බෝධිය මුල එක ම පර්යංකයෙන් සතියක් විමුක්ති සුව විඳි සේක. රාත්‍රියෙහි පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම ලෙස මෙනෙහි කළ සේක.
ඒ සතිය ඇවෑමෙන් දෙවන සතියේ පලසමවතින් නැගිට අජපල් නුග රුක මුලට වැඩි සේක. අජපල් නුග රුක මුල සත් දිනක් එක ම පර්යංකයෙන් සතියක් විමුක්ති සුව විඳි සේක.
එකල්හි හුහුංක ජාතික බ්‍රාහ්මණයෙක් පැමිණ සතුටු වී සිත් ඇලවිය යුතු කතා කොට කෙසේ බමුණෙක් වේ ද? බ්‍රාහ්මණ ධර්ම කුමක් ද? යැයි ඇසූ සේක. බුදු රජාණන් වහන්සේ විසින් ගාථාවකින් නිවැරදි ව බ්‍රාහ්මණයෙක් වන්නේ කෙසේ දැයි වදාළ සේක.
එසේ නොමැති ව බෝ ගසට දෙවන සතියේ අනිමිස පූජා නොකළ සේක.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, මහාවග්ගපාළි 1 - පිටු අංක 02 - 07)
බුදු රජාණන් වහන්සේ විසින් පිරිනිවන් පෑමට පෙර
වැඳ පුදා ගෙන පහන් සංවේග උපදවා ගැනීම මහඟු පිනක් වන බවත් එය සුගතිගාමී වීම පිණිස පවතින බවත් වදාළ සේක.
වැඳ පුදා ගෙන පහන් සංවේග උපදවා ගැනීම මහඟු පිනක් වන බවත් එය සුගතිගාමී වීම පිණිස පවතින බවත් වදාළ සේක.
සෑම කෙනෙකුට ම ඉන්දියාවේ බුද්ධගයාවට යාමට අපහසු බැවින් එය සිහි වීමට අනුරුවක් වශයෙන් එම බෝධියෙහි ශාඛා, අනු ශාඛා ආදිය සැදැහැවත් පුද්ගලයන් විසින් ආරාම, පන්සල් ආදී ස්ථානවල රෝපනය කරවන ලදි.
මේ බෝ ගස් සිටුවීමේ අරමුණ එයින් පිහිට ඉල්ලා සරණ යාම නොව ශාස්තෘන් වහන්සේගේ බුද්ධත්වය සිදු වූ ස්ථානය (බුද්ධගයාව) සිහි කර පහන් සංවේගය උපදවා ගැනීම වෙයි. එම ස්ථාන වැඳ පුදා ගෙන කුසල් රැස් කර ගත හැකි වෙයි.
පසු කාලයේ තුනුරුවන් සරණ යෑම වෙනුවට බෝ ගස් සරණ ගිය, අනුවණ, බියට පත් මිනිස්සු තුනුරුවන් කෙරෙන් බැහැර වී ඒවායින් පිහිට ඉල්ලීමට පටන් ගත්හ.
අධර්මවාදී පිරිස් හිත් පිත් නැති ගස්, ගල්, පර්වතවලින් අපල, උපද්‍රව දුරු කර ගත හැකි බවට අමූලික මුසාවාද ද කියූහ. කාලයත් සමඟ ම බෞද්ධයෝ තුනුරුවන් සරණ යනවා යැයි පවසා ගස්, ගල්, චෛත්‍ය, ආරාම සරණ ගියහ.
කර්ම කර්ම ඵල විශ්වාසය, එනම් කම්මස්සකථා සම්මා දෘෂ්ටිය ද නැති දුස්සීල, අධර්මවාදී මිථ්‍යාදෘෂ්ටික පිරිස් විසින් ඔවුන් මුළා කරනු ලැබූහ. බුදු රජාණන් වහන්සේගේ අවවාදයට පිටුපෑ බෞද්ධ පිරිස් සුගතිගාමී මාර්ගය ද වසා ගත්හ. අද මේ ශෝචනීය තත්වය හැම තැන ම පැතිරී ඇත.
සමහර පන්සල්, ආරාම, පර්වත ආදිය වැඳ පුදා ගැනීමෙන් හෝ බාර හාර වීමෙන් පව් දුරු වන බවත්, අපල උපද්‍රව නැති වන බවත්, රෝග පීඩා දුරු කර ගත හැකි බවත් ආදී මෙවැනි මිථ්‍යා දෘෂ්ටීන් ද පැතිරී ඇත. මෙවැනි මිථ්‍යා දෘෂ්ටි නිසා බොහෝ බෞද්ධ ගිහි, පැවිදි පිරිස් අතරමං වී සිටිති.
බුදු රජාණන් වහන්සේ බුදු වූ පසු පවා පෙර කළ කර්මවල විපාක විඳීමට සිදු වූ බව බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සේක.
එහෙත් මේ බුදු වදන් නොදන්නා, නොසලකන අනුවණ පිරිස් තවමත් කර්ම විපාක වෙනස් කිරීම පිණිස ගස්, ගල්, ආරාම, චෛත්‍ය ආදිය සරණ යති. මෙය ඵල ප්‍රයෝජනයක් නැති මෝඩ ක්‍රියාවකි.
බුදු රජාණන් වහන්සේ විසින්
ධාතු නිදන් කර චෛත්‍ය ගොඩ නැගීම සුදුසු බවත්, ඒවායින් කුසල් සිදුවන බව වදාළ සේක.
ඒ උත්තමයන් වහන්සේලාගේ ධාතු නිදන් කර ඇති චෛත්‍ය වෙත පැමිණ ඒ උත්තමයන් වහන්සේලාගේ ගුණ සිහි කර පුද පූජා පැවැත්වීම සහ වැඳ පුදා ගෙන පහන් සංවේග උපදවා ගැනීම සුගතිගාමී වීම පිණිස පවතින බව ද වදාළ සේක.
මෙම අර්ථය පෙරදැරි කර ගෙන සැදැහැවත්තු බුදු රජාණන් වහන්සේගේ සහ රහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කර චෛත්‍ය ගොඩ නැංවූහ. පසු කාලීන ව ඒ චෛත්‍ය වෙත පැමිණ ඒ උතුමන් වහන්සේලාගේ ගුණ සිහි කර වන්දනා මාන කිරීම වෙනුවට නුවණ මඳ කමින් සමහර ගිහි, පැවිදි පිරිස් ඒ චෛත්‍ය සරණ ගියහ. එනම් එයින් පිහිට රැකවරණය බලාපොරොත්තු වූහ.
මෙවැනි සරණ යෑම් බුදු රජාණන් වහන්සේ විසින් කිසි විටෙක අනුදැන නොවදාළ සේක.
තුනුරුවන් සරණ ගොස්, බුදු රජාණන් වහන්සේගේ ඉපදුණු, බුදු වුණු, ප්‍රථම ධර්ම දේශනාව සිදු කළ, පිරිනිවන් පා වදාළ ස්ථානයන් ද, ධාතූන් නිදන් කළ චෛත්‍යයන් ඒ උතුමන්ගේ ගුණ සිහි කර වැඳ පුදා ගැනීම ද සුගතිගාමී වීම පිණිස හේතු වෙයි.
තුනුරුවන් සරණ ගොස්, දන් දී, සිල් රැක, සමථ විදර්ශනා වඩා චතුරාර්ය සත්‍ය අවබෝධ කොට දුකෙන් මිදීම සාක්ෂාත් කළ හැකිය.
එසේ නොමැති ව චෛත්‍ය, ගස්, ගල්, ආරාම, වනාන්තර සරණ ගොස් තුනුරුවන් සරණ යෑම පසෙක ලා මෙලොවත් දුකට පත් වී මිථ්‍යා දෘෂ්ටික වී පරලොව ද දුගතිගාමී වනවාදැයි තීරණය ඔබ සතුය.
ඇසුරු කළ ත්‍රිපිටකයේ කොටස්