Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / මෙ කල පරස්පර අර්ථ ඇති ධර්ම කරුණු වල නිවැරදි අර්ථ සහ විග්‍රහ /

බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් කළ හැකි ඉතා ම උසස් ම පරම පූජාව

මහාපරිනිබ්බාන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, දීඝ නිකාය 2 - පිටු අංක 214 - 215)

භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර මල්ලයන්ගේ උපවත්තන නම් සල් උයනේ පිරිනිවන් මඤ්චකයේ සැතපී සිටින කල්හි ආනන්ද තෙරණුවන්ට මෙසේ වදාළ සේක.

“ආනන්දයෙනි, අකල්හි මලින් පිරුණු අතු පතරින් එකට බැඳුණු මේ සල් ගස් දෙකෙහි මල්, තථාගතයන් වහන්සේට පූජා පිණිස තථාගත සිරුරෙහි වැගිරෙයි. විසිරෙයි. බොහෝ විසිරෙයි. දිව්‍ය මදාරා මල් අහසින් වැටෙයි. ඒවා තථාගතයන් වහන්සේට පූජා පිණිස ශරීරයේ වැගිරෙයි. විසිරෙයි. බොහෝ විසිරෙයි.

තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍යමය තූර්ය වාදන අහසෙහි වාදනය වෙයි. දිව්‍යමය ගායනා අහසෙහි පැවැත් වෙයි.

ආනන්දයෙනි, මෙපමණකින් වනාහි තථාගතයන් වහන්සේට සත්කාර කරනු ලදුයේ හෝ ගරු කරනු ලදුයේ හෝ පුදනු ලදුයේ හෝ බෙහෙවින් පුදනු ලදුයේ නොවෙයි.

යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක්

  • සාමීචිපටිපන්න වී,
  • අනුධම්මචාරී වී,
  • ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදේ නම්,

හෙතෙම තථාගතයන් වහන්සේට සත්කාර කෙරෙයි. ගෞරව කෙරෙයි. පුදන ලද්දේ වෙයි. විශේෂයෙන් පුදන ලද්දේ වෙයි. උතුම් ම පූජාවෙන් පුදන ලද්දේ වෙයි.

එබැවින්, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන් සාමීචිපටිපන්න ව, අනුධම්මචාරී ව, ධම්මානුධම්ම පටිපන්න ව වසන්නේ යැයි මෙසේ ම හික්මිය යුතුයි”.

සාමීචිපටිපන්න යනු;

රාග, ද්වේෂ හා මෝහ ප්‍රහාණය සඳහා වූ නිවැරදි මග වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම වෙයි.

අනුධම්මචාරී යනු;

සද්ධර්මයට අනුව ධර්මානුකූල ව හැසිරීම වෙයි.

සද්ධර්මය යනු කවරක් ද?

ගෞතම බුදු රජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් මනා ව අවබෝධ කොට ලෝ වැසියන් දුකින් මුදවනු පිණිස දේශනා කොට වදාළ සද්ධර්මය යනු සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධානය, සතර ඍද්ධිපාදය, පඤ්ච ඉන්ද්‍රිය, පඤ්ච බල, සප්ත බොජ්ඣඞ්ග සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විභඞ්ගප්පකරණ 2, ඛුද්දකවත්ථුවිභඞ්ගො - පිටු අංක 234 - 235)

ධම්මානුධම්ම ප්‍රතිපදාව යනු;

කතා කිරීමේ දී ධර්මය ම කතා කිරීම, අධර්මය කතා නොකිරීම.

සිතීමේ දී ධර්මය ම සිතීම, අධර්මය නොසිතීම.

අන් සැමවිට ම සිහි නුවණින් යුතු ව මැදහත් ව වාසය කිරීම වෙයි.

කතා කිරීමේ දී ධර්මය ම කතා කරයි. එනම් දස කතා කරයි. කවර දස කතාවක්, කෙසේ කතා කරයි ද යත්;

  1. අල්පේච්ඡ කථා කරයි.
    තමා බොහෝ වස්තු සම්පත් නොපතනසුලු වෙයි. එසේ අල්පේච්ඡ වී අල්පේච්ඡ බවෙහි ගුණ වර්ණනා කරනසුලු වෙයි. අල්පේච්ඡ නොවූවන් අල්පේච්ඡ බවෙහි සමාදන් කරවයි. අල්පේච්ඡ වූවන්ගේ ගුණ සුදුසු කාලයෙහි කියයි.
  2. සන්තුෂ්ටි කථා කරයි.
    හොඳ නරක, රළු හෝ ප්‍රණීත වශයෙන් වෙනසක් නැති ව ලද දෙයින් සතුටු වනසුලු වෙයි. එසේ සන්තුෂ්ටි වී සන්තුෂ්ටි බවෙහි ගුණ වර්ණනා කරනසුලු වෙයි. සන්තුෂ්ටි නොවූවන් සන්තුෂ්ටි බවෙහි සමාදන් කරවයි. සන්තුෂ්ටි වූවන්ගේ ගුණ සුදුසු කාලයෙහි කියයි.
  3. ප්‍රවිවේක කථා කරයි.
    කෙලෙස් ආදියෙන් වෙන් ව උතුම් විවේකයෙන් යුතු ව තනි ව වෙසෙනසුලු වෙයි. මෙසේ ප්‍රවිවේක වූයේ, ප්‍රවිවේක බවෙහි ගුණ කතා කරනසුලු වෙයි. ප්‍රවිවේක නොවූවන් ප්‍රවිවේක බවෙහි සමාදන් කරවයි. ප්‍රවිවේක වූවන්ගේ ගුණ සුදුසු කාලයෙහි කියයි.
  4. අසංසර්ග කථා කරයි.
    තමා තනි ව වෙසෙන, එකතු ව නොවසනසුලු වෙයි. මෙසේ අසංසර්ග වී අසංසර්ග බවෙහි ගුණ කතා කරනසුලු වෙයි.
    අසංසර්ග නොවූවන් අසංසර්ග බවෙහි සමාදන් කරවයි. අසංසර්ග වූවන්ගේ ගුණ සුදුසු කාලයෙහි කියයි.
  5. විරියාරම්භ කථා කරයි.
    තමා කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව;
    නූපන් අකුසල් නූපදවීමට,
    උපන් අකුසල් දුරු කිරීමට,
    නූපන් කුසල් උපදවා ගැනීමට,
    උපන් කුසල් වැඩි දියුණු කිරීමට
    කටයුතු කරනසුලු වෙයි. මෙසේ විරියාරම්භ වී විරියාරම්භ බවෙහි ගුණ කතා කරනසුලු වෙයි. විරියාරම්භ නොවූවන් විරියාරම්භ බවෙහි සමාදන් කරවයි. විරියාරම්භ වූවන්ගේ ගුණ සුදුසු කාලයෙහි කියයි.
  6. සීල සම්පදා (සම්පන්න) කථා කරයි.
    ස්වල්ප වූ වරදෙහි ද මහත් බය දකිමින්, තමා රැකීමට පොරොන්දු වූ සිල් පද බිඳීමට හෝ කැඩීමට සිතක්වත් නූපදවමින් හික්මී, ආචාර ගෝචර සම්පන්න ව, මනා හැසිරීමෙන් සහ මනා හික්මීමෙන් අකුසල යටපත් කර කුසලයට පැමිණෙනසුලු වෙයි.
    මෙසේ සීල සම්පන්න වී සීල සම්පන්න බවෙහි ගුණ පිළිබඳ කතා කරනසුලු වෙයි. සීල සම්පන්න නොවූවන් සීල සම්පන්න බවෙහි සමාදන් කරවයි. සීල සම්පන්න වූවන්ගේ ගුණ සුදුසු කාලයෙහි කියයි.
  7. සමාධි සම්පදා කථා කරයි.
    සිතේ එකඟ බවෙන් යුතු ව ධ්‍යාන කරනසුලු වෙයි. මෙසේ සමාධි සම්පන්න වී සමාධි සම්පන්න බවෙහි ගුණ කතා කරනසුලු වෙයි. සමාධි සම්පන්න නොවූවන් සමාධි සම්පන්න බවෙහි සමාදන් කරවයි. සමාධි සම්පන්න වූවන්ගේ ගුණ සුදුසු කාලයෙහි කියයි.
  8. ප්‍රඥා සම්පදා කථා කරයි.
    සියලු දුකෙන් මිදීම සඳහා වූ උදය වය ඥානයෙන් යුතු වෙයි. මේ දුකයි, මේ දුකෙහි හටගැනීමයි, මේ දුකෙහි නිරෝධයයි, මේ දුක නිරෝධ කරන පිළිවෙතයි වශයෙන් මනා ව අවබෝධ කොට මේ ආශ්‍රවයි, මේ ආශ්‍රව හටගැනීමයි, මේ ආශ්‍රව නිරෝධයයි, මේ ආශ්‍රව නිරෝධ කරන පිළිවෙතයි යනුවෙන් තතු සේ දනියි.
    ආශ්‍රව නිරෝධ කරන පිළිවෙත නම් සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක්ප්‍රධාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣඩ්ග සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම බව තතු සේ දනියි.
    එනම් ප්‍රඥා සම්පන්න වෙයි. මෙසේ ප්‍රඥා සම්පන්න වී ප්‍රඥා සම්පන්න බවෙහි ගුණ කතා කරනසුලු වෙයි. ප්‍රඥා සම්පන්න නොවූවන් ප්‍රඥා සම්පන්න බවෙහි සමාදන් කරවයි. ප්‍රඥා සම්පන්න වූවන්ගේ ගුණ සුදුසු කාලයෙහි කියයි.
  9. විමුක්ති සම්පදා කථා කරයි.
    සියල්ලෙන් (ස්කන්ධ, ධාතු, ආයතන, කෙලෙස් ආදියෙන්) මිදී විමුක්ති සම්පන්න වෙයි. මෙසේ විමුක්ති සම්පන්න වී විමුක්ති සම්පන්න බවෙහි ගුණ වර්ණනා කරනසුලු වෙයි. විමුක්ති සම්පන්න නොවූවන් විමුක්ති සම්පන්න බවෙහි සමාදන් කරවයි. විමුක්ති සම්පන්න වූවන්ගේ ගුණ සුදුසු කාලයෙහි කියයි.
  10. විමුක්ති ඥාන දර්ශන සම්පදා කථා කරයි.
    සියල්ලෙන් මිදී, මිදුණේ යැයි නුවණින් සලකා බලනසුලු (ප්‍රත්‍යවේක්ෂා කරනසුලු) වෙයි. මෙසේ විමුක්ති ඥාන දර්ශන සම්පන්න වී විමුක්ති ඥාන දර්ශන බවෙහි ගුණ වර්ණනා කරනසුලු වෙයි. විමුක්ති ඥාන දර්ශන සම්පන්න නොවූවන් විමුක්ති ඥාන දර්ශන සම්පන්න බවෙහි සමාදන් කරවයි. විමුක්ති ඥාන දර්ශන සම්පන්න වූවන්ගේ ගුණ සුදුසු කාලයෙහි කියයි.

මෙසේ කතා කිරීමේ දී ධර්මය ම කතා කරයි.

අධර්ම කථා නොකරයි. කථා නොකළ යුතු අධර්ම කථා කවරක් ද යත්;

  • රාජ කථා
    රජවරු, සහ රජ පවුල් (ජනාධිපතිවරු සහ ඔවුන්ගේ පවුල් ආදිය) ගැන කථා.
  • චෝර කථා
    සොරුන්ගේ චරිත කථා ආදී සොරුන් පිළිබඳ කථා.
  • මහාමාත්‍ය කථා
    මැති ඇමතියන් පිළිබඳ කථා.
  • සේනා කථා
    හමුදා සේනාංක ආදිය පිළිබඳ කථා.
  • භය කථා
    බිය, තැති ගැනීම, සන්ත්‍රාසය ආදිය ගෙන දෙනසුලු කථා.
  • යුද්ධ කථා
    යුද්ධ, අරගල, කෝලාහල පිළිබඳ කථා.
  • ආහාර කථා
    කෑ යුතු, බුදිය යුතු, මිහිරි, අමිහිරි ආහාර පිළිබඳ කථා.
  • පාන කථා
    බීමට ගන්නා ද්‍රව්‍ය පිළිබඳ කථා.
  • වස්ත්‍ර කථා
    ඇදුම් පැළඳුම් ගැන කථා.
  • සයන කථා
    නිදා ගන්නා තැන්, යහන් ආදිය පිළිබඳ කථා.
  • මාලා කථා
    මල්, මල් දම්, වැලක ඇමිණූ පබළු ආදී දේ පිළිබඳ කථා.
  • ගන්ධ කථා
    සුවඳ වර්ග ආස්වාද කරමින් කරන කථා.
  • ඥාති කථා
    නෑයන් පිළිබඳ කථා.
  • යාන කථා
    යාන වාහන පිළිබඳ කථා.
  • ග්‍රාම කථා
    ගමේ ඕපා දූප කථා.
  • නිගම කථා
    ගම් කිහිපයකින් යුත් ලොකු ගම් හෙවත් කුඩා නගර පිළිබඳ කථා.
  • නගර කථා
    ජනාකීර්ණ පරිපාලන ප්‍රදේශ ආදී නගර පිළිබඳ කථා.
  • ජනපද කථා
    ජනාවාස පිළිබඳ කථා.
  • ස්ත්‍රී කථා
    කාන්තාවන් පිළිබඳ කථා.
  • පුරුෂ කථා
    පිරිමි පිළිබඳ කථා.
  • කුමාර කථා
    කුඩා දරුවන්, කුමාරයන් පිළිබඳ කථා.
  • කුමාරි කථා
    කුඩා දැරිවියන්, තරුණියන් පිළිබඳ කථා.
  • ශූර කථා
    නිර්භීත, උතසාහවන්ත, දක්ෂ හපන්නු පිළිබඳ කථා.
  • වීථි කථා
    මාර්ග, වීදි, මං මාවත් පිළිබඳ කථා.
  • කුම්භස්ථාන කථා
    කළයෙන් දිය අදින සේවිකාවන්ගේ රූප ශෝභාව ආදිය පිළිබඳව, ලිං පොකුණු ආදී පැන් තොටවල්හි සිදු කරන කථා.
  • පූර්ව ප්‍රේත කථා
    පෙර මියගිය අය පිළිබඳ කථා.
  • නානාත්ව කථා
    නොයෙක් නොයෙක් ආකාර ආදී විවධත්වය පිළිබඳ කථා.
  • ලෝකක්ඛායිකා කථා
    ලෝකය ආරම්භය, ලෝකය අවසානය, ලෝකයේ කෙළවර ආදිය ගැන කරන නිසරු කථා.
  • සමුද්‍රාඛායිකා කථා
    මුහුදේ ආරම්භය, මුහුදේ සම්භවය ආදිය පිළිබඳ කථා.
  • ඉතිභවාභව කථා
    ඒ මේ භවයෙන් භවය පිළිබඳ වූ කථා.

මෙවැනි පාපී, පහත්, ලාමක, තිරිසන් කථාවලින් වැළකී සිටීම අධර්ම කථාවලින් වැළකී සිටීම වෙයි.

මෙසේ අධර්ම කතාවලින් වැළකී අධර්ම කථාවලින් වැළකී සිටීමෙහි ගුණ වර්ණනා කරනසුලු වෙයි.

අධර්ම කථා කරන්නන් එයින් වැළකී සිටීමෙහි සමාදන් කරවයි.

මෙවැනි පාපී, පහත්, ලාමක, තිරිසන් කථාවලින් වැළකී සිටින්නන්ගේ ගුණ සුදුසු කාලයෙහි කියයි.

මෙසේ අධර්ම කතා නොකරයි.

සිතීමේ දී ධර්මය ම සිතයි.

එනම් සිතනුයේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප සහ අවිහිංසා සංකප්ප ම සිතයි.

නෙක්ඛම්ම සංකප්ප යනු;

වස්තු කාමය සහ ක්ලේශ කාමය අතහැරීමේ අදහස් වෙයි.

මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස සහ පහස, ගේ දොර, අඹු දරු ආදී සියලු කාමාවචර ධර්මයෝ, සියලු රූපාවචර ධර්මයෝ, සියලු අරූපාවචර ධර්මයෝ වස්තු කාමයෝය.

රාගය, ඡන්දය, ඡන්ද රාගය, ආශාව ආදිය ක්ලේශ කාමයෝය.

අව්‍යාපාද සංකප්ප යනු;

ද්වේෂ සහගත නොවූ අදහස් වෙයි.

අවිහිංසා සංකප්ප යනු;

හිංසා සහගත නොවූ අදහස් වෙයි.

සිහි නුවණින් යුතු ව මැදහත් ව වාසය කරයි.

කෙසේ සිහියෙන් යුතු ව වාසය කරයි ද යත්;

කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, කයෙහි කය අනුව බලමින් වාසය කරයි (කායානුපස්සනාව).

කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කරයි (වේදනානුපස්සනාව).

කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි (චිත්තානුපස්සනාව).

කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, ධර්මයෙහි ධර්මය අනුව බලමින් වාසය කරයි (ධම්මානුපස්සනාව).

මෙසේ සතර සතිපට්ඨානයෙහි වාසය කිරීම සිහියෙන් වාසය කිරීම වෙයි.

කෙසේ නුවණින් මැදහත් ව වෙසේ ද යත්;

මනා දැනුම ඇති ව නුවණින් ඉදිරියට යයි. මනා නුවණින් නැවත පෙරළා එයි. මනා නුවණින් යුතු ව ඉදිරිය බලයි. මනා නුවණින් යුතු ව හාත්පස බලයි. මනා නුවණින් යුතු ව අත් පා හකුළයි. දිග හරියි. මනා නුවණින් යුතු ව ඇඳුම් අඳියි. ඉවත් කරයි. කෑමෙහි බීමෙහි රස විඳීමෙහි මනා නුවණින් යෙදෙන්නේ වෙයි. මල මූත්‍ර පහ කිරීමෙහි මනා නුවණින් කරනසුලු වෙයි. ඇවිදීමෙහි, සිටීමෙහි, වාඩි වීමෙහි, නිදා ගැනීමෙහි, නොනිදා සිටීමෙහි, කථා කිරීමෙහි සහ කථා නොකිරීමෙහි මනා දැනුම ඇති ව නුවණින් කරනසුලු වෙයි.

මෙසේ වාසය කිරීම නුවණින් මැදහත් ව වාසය කිරීම වෙයි.

මෙසේ සිහියෙන් සහ මෙසේ නුවණින් යුතු ව වාසය කිරීම, සිහි නුවණින් යුතු ව මැදහත් ව වාසය කිරීම වෙයි.

බුදු රජාණන් වහන්සේ විසින් කුසිනාරාවේ උපවත්තන සල් උයනේ පිරිනිවන් මඤ්චකයේදී සියලු දෙව් මිනිසුන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙසේ වදාළ සේක.

“යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් මෙසේ සාමීචිපටිපන්න වී, අනුධම්මචාරී වී, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදේ නම්, හෙතෙම බුදු රජාණන් වහන්සේට සත්කාර කෙරෙයි. ගෞරව කෙරෙයි. පුදන ලද්දේ වෙයි. විශේෂයෙන් පුදන ලද්දේ වෙයි. උතුම් ම පූජාවෙන් පුදන ලද්දේ වෙයි.

තථාගතයන් වහන්සේට පූජා පිණිස මල් විසිරවීම, මල් පූජා කිරීම, තූර්ය වාදන වාදනය කිරීම, ගායනා පැවැත්වීම ආදී දේ මගින් තථාගතයන් වහන්සේට සත්කාර කරන ලද හෝ ගරු කරන ලද හෝ පුදන ලද හෝ බෙහෙවින් පුදන ලද නොවෙයි”.


බාගත ​කිරීමට