මෙකල පෙරහැර පැවැත්වීම ද බුද්ධ ශාසනයේ අංගයක් ලෙස, මනා ව සද්ධර්මය නොදන්නා, අවබෝධ නොකළ බොහෝ බෞද්ධයෝ සිතති. සමහරු මෙය බුද්ධ ශාසනයේ අංගයක් ලෙස පෙන්වීමට ද උත්සාහ කරති.
බෞද්ධයන්ට බුදු රජාණන් වහන්සේ විසින් පෙරහැර පැවැත්වීම හෝ සංස්කෘතිය, ඉතිහාසය, පුරා විද්‍යාව ආදිය රැක ගැනීමට නොවදාළ සේක.
පෙරහැර පැවැත්වීමෙන් හෝ සංස්කෘතිය, ඉතිහාසය, පුරා විද්‍යාව ආදිය රැකීමෙන් අකුසල් දුරු වන්නේ ද නැත, කුසල් වැඩෙන්නේ ද නැත, සුගතිගාමි වීම හෝ නිවන් දැකීම සිදුවන්නේ ද නැත.
බෞද්ධයන්ට බුදු රජාණන් වහන්සේ විසින් සද්ධර්මයේ හැසිරී අකුසල් දුරු කර කුසල් වඩන ලෙස වදාළ සේක. මෙසේ කිරීම සුගතිගාමි වීම සහ නිවන් දැකීම පිණිස හේතු වෙයි.
යම් ධර්මයක්, කට කතාවෙන් ආ පමණින් ගන්න එපා. පරම්පරා කතාවෙන් ද ගන්න එපා. මෙසේ වූ යැයි කීව ද ගන්න එපා. පිටකයට සමාන යැයි ද ගන්න එපා. තර්ක කර දැක්වූ පමණින් ද ගන්න එපා. ක්‍රමවත් බව නිසා ද ගන්න එපා. සැලකිලිමත් ලෙස සලකා බැලූ පමණින් ද ගන්න එපා. තම දෘෂ්ඨියට ගැළපෙන පමණින් ද ගන්න එපා. පිළිගත යුතු කෙනෙක් කියන බැවින් ද ගන්න එපා. ඒ ශ්‍රමණ තෙම තමන්ගේ ගුරුවරයා යැයි ද ගන්න එපා. යැයි සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදු රජාණන් වහන්සේ විසින් වදාළ සේක.
මෙසේ ගත් දේ දෙආකාරයෙන් විපාක දෙයි. ඉහත පරිදි ගත් දේ සමහර විට නිවැරදි, යහපත්, කුසලයක් විය හැකිය. එසේ නැතහොත් වැරදි, අයහපත්, අකුසලයක් විය හැකිය. නුවණැති පණ්ඩිතයෝ මේ දෝෂයන් දැක යමක් ඉහත පරිදි නොගනිති. ඔවුහු මෙසේ විමසා බලා ගනිති.
යම් විටෙක මේ දහම් අකුසල් වේ, මේ දහම් වරද සහිතය, මේ දහම් පණ්ඩිතයන් විසින් ගරහන ලදි, මේ දහම් පුරණ ලද්දාහු, සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස, දුක් පිණිස පවතී යැයි තමා විසින් ම වටහා ගනී නම් එය දුරු කරන්නේ ය.
එසේ ම මේ දහම් කුසල් වේ, නිවැරදි ය, පණ්ඩිතයන් විසින් ප්‍රශංසා කරන ලදි. මේ දහම් පුරණ ලද විට සමාදන් කොට ගන්නා ලද විට වැඩ පිණිස, සැප පිණිස පවතී යැයි තමා විසින් ම වටහා ගනී නම් එහි යෙදීම කරන්නේ ය.
බුදු සසුන චිරස්ථිතික වීමට, එනම් පැවතීමට මෙවැනි දේ කළ යුතු යැයි ධර්මය වරදවා ගත් සමහර බෞද්ධයෝ පවසති. පෙරහැර පැවත්වීමෙන් දුස්සීලයන් නම් රැකෙන්නේය, බුදු සසුන නම් නොරැකෙන්නේය.
බුදු රජාණන් වහන්සේ විසින් බුදු සසුන චිරස්ථිතික වීමට කැමති නම් සතර සතිපට්ඨානය බහුල ව වැඩිය යුතු බව වදාළ සේක.
එසේ නොමැති ව පෙරහැර පැවැත්වීමට බෞද්ධයන්ට නොවදාළ සේක.
සතර සතිපට්ඨානය වැඩූ විට, බහුල ව වැඩූ විට ඵල දෙකින් එකකට කැමති විය යුතුය. මේ ජීවිතයේ දී ම රහත් බව හෝ උපධි ශේෂයක් ඇති කල්හි අනාගාමි බව වෙයි. එනම් නිවන් දැකීම පිණිස වූ ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය වෙයි.
සතර සතිපට්ඨානයේ පළමු කොටස වන කායානුපස්සනාවවත් පහත කරුණු හය දුරු නොකර වැඩීමට නොහැකි වෙයි.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4, සාමඤ්ඤ වර්ගය, කායානුපස්සී සූත්‍රය - පිටු අංක 268 - 269)
පෙරහැර පැවැත්වීම කම්මාරාමතාවක් නොවන්නේ ද?
භස්සාරාමතා, සඞ්ඝණිකාරාමතා සහ ඉන්ද්‍රියෙසු අගුත්ත ද්වාරතා යන භික්ෂුවකගේ පිරිහීමට හේතු වන කරුණු ඇති පෙරහැර පැවැත්වීමෙන් කවර අර්ථයක් ද?
තුනුරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන්ට බුදු රජාණන් වහන්සේ විසින් නිතිපතා පන්සිල් රැකීම, පසළොස්වක, අමාවක, පුර අටවක සහ අව අටවක යන පොහොය දින සතරෙහි ම අෂ්ටාංග උපෝසථය (අටසිල්) හෝ නවාංග උපෝසථය සමාදන් වීම, සංඝයාට සිව්පසයෙන් සංග්‍රහ කිරීම ආදියෙහි නිරතවීම සුගතිගාමි වීම පිණිස පවතින බව වදාළ සේක.
කරුණු පසකින් සමන්වාගත උපාසකයා පහත්, ලාමක, කිලුටු තැවරුණු, පිළිකුල් සහගත උපාසක චණ්ඩාලයෙක් වෙයි. කවර පසකින් ද යත්,
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3, උපාසකචණ්ඩාල සූත්‍රය - පිටු අංක 334 - 337)
ගිහියන්ට රාත්‍රියෙහි වීදි සංචාරය නුසුදුසු යැයි සිඟාල සූත්‍රයේ දී වදාළ සේක.
බුදු රජාණන් වහන්සේ විසින් නොවදාළ මෙවැනි දේ බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් යැයි පවසා, බුදු රජාණන් වහන්සේ සරණ ගියේ යැයි පවසා සිදු කිරීම මහත් ම වංචාව නොවන්නේ ද?
එසේ ම තමනුත් දුගතියට යන අතර අනුන්වත් දුගතියට පමුණුවන, එනම් අසත්පුරුෂයන්ටත් වඩා අසත්පුරුෂයන් සිටින බැවින් බුදු දහමේ ඇති සද්ධර්මය වසා ගෙන මෙවැනි අධර්ම දේ ලොව පවතියි.
භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මය රාග, ද්වේෂ හා මෝහ ප්‍රහාණය පිණිස මනා කොට දේශනා කොට ඇත. එනම් ස්වක්ඛාත වෙයි. මේ ජීවිතයේ දී ම ප්‍රතිඵල ලැබිය හැකි වෙයි. තමා විසින් ම දැකිය හැකිය (සන්දිට්ඨික). කල් නොයවා විපාක දෙයි (අකාලික). ඇවිත් බලන්න යැයි කීමට සුදුසුය (එහිපස්සික). තමා තුළට පමුණුවා ගත යුතුය (ඔපනයික). නුවණැත්තන් විසින් තම තමන්ගේ ම නැණ පමණින් අවබෝධ කර ගත යුතු වෙයි (පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී ති).
පෙරහැර පැවැත්වීම මෙම ගුණයන්ට ගැලපේ ද කියා නුවණින් විමසා බලා කටයුතු කරන්න.
මිථ්‍යා දෘෂ්ටිය ශ්‍රද්ධාවෙන් ඇදහුවත්, පරම්පරාවෙන් ආවත්, දෘෂ්ටියෙන් දැඩි ලෙස ගත්තත් කිසි විටෙක සම්මා දෘෂ්ටිය නොවන්නේය. මිථ්‍යා දෘෂ්ටිය සතර අපායෙහි ඉපදීම පිණිස ම පවතියි. කිසි ම අයුරකින් සුගතියෙහි ඉපදීම පිණිස නොපවතියි.