වෙසක් පොසොන් හෝ වෙනත් උත්සව පැවැත්වීම
සැදැහැවත් බෞද්ධයන්ට සුදුසු නොවෙයි
මෙකල වෙසක්, පොසොන් ආදී උත්සව පැවැත්වීම ද බුද්ධ ශාසනයේ අංගයක් ලෙස සද්ධර්මය මනා ව නොදන්නා බොහෝ බෞද්ධයෝ සිතති. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ට යටත් වූ සමහර පැවිද්දෝ සහ ගිහියෝ මෙය බුද්ධ ශාසනයේ අංගයක් ලෙස පෙන්වීමට ද උත්සාහ කරති.
බුදු රජාණන් වහන්සේ විසින් වෙසක්, පොසොන් ආදී උත්සව පැවැත්වීමට අසූහාර දහසක් ධර්ම ස්කන්ධ ඇති ත්‍රිපිටකයට අනුව කිසි ම තැනක බෞද්ධයන්ට නොවදාළ සේක.
වෙසක්, පොසොන් ආදී උත්සව පැවැත්වීම හේතුවෙන් බුදු රජාණන් වහන්සේ පිළිබඳව ධර්මය පිළිබඳව සහ සංඝයා පිළිබඳව පහන් සිත් හටගැනීම ආදී කුසල් සිදු වුව ද බහුල වශයෙන් අකුසල් ම සිදු වනු ඇත.
යම් පුද්ගලයෙක් යම් ධර්මයක් ශ්‍රද්ධාවෙන් හෝ කැමැත්තෙන් හෝ පරම්පරාවෙන් එන මතයක් බැවින් හෝ තර්කානුකූල ව සිතා බැලීමෙන් හෝ තමාගේ වැටහීමට අනුව ඉවසා දරා ගැනීමෙන් හෝ පොතක සඳහන් වූ පමණින් පිළිගැනීම නොකළ යුතු වෙයි.
මෙසේ පිළිගත් ධර්ම මෙලොව ම දෙආකාරයක විපාක සහිත වෙයි.
- සමහර විට සත්‍ය විය හැකිය, මනා ව කියන ලද්දක් එනම් කුසල් ද විය හැකිය, යහපත් දෙයක් ද විය හැකිය, දුකෙන් මිදීමට හේතු වන ධර්මයක් ද විය හැකිය.
- සමහර විට අසත්‍ය විය හැකිය, වරදවා කියන ලද්දක් එනම් අකුසල් ද විය හැකිය, අයහපත් දෙයක් ද විය හැකිය, දුකෙන් මිදීමට නොව දුක වැඩීමට හේතු වන ධර්මයක් ද විය හැකිය.
මෙසේ නොවිමසන හේතුවෙන් ම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශ්‍රද්ධාවෙන් හෝ කැමැත්තෙන් හෝ පරම්පරාවෙන් එන මතයක් බැවින් හෝ තර්කානුකූල ව සිතා බැලීමෙන් හෝ තමාගේ වැටහීමට අනුව ඉවසා දරා ගැනීමෙන් හෝ පොතක සඳහන් වූ පමණින් හෝ ධර්ම දේශනාවක ඇසුණු පමණින් පිළිගැනීම සිදු කරති. මෙය මෝඩ ක්‍රියාවක් මිස පණ්ඩිතයෙකුගේ ක්‍රියාවක් නොවෙයි.
බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මෙසේ වෙසක්, පොසොන් ආදී උත්සව පැවැත්වීම කළ යුතු බව සමහර ගිහි පැවිදි පිරිස් කර්ම හා කර්මඵල පිළිබඳව අවබෝධය නොමැතිකමින් හෝ සද්ධර්මය නොදන්නාකමින් හෝ රාග, ද්වේෂ සහ මෝහ අධික බැවින් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ට යටත් වී හෝ අනුන්ට හානි කිරීමේ දුෂ්ට පාපී චේතනාවෙන් කරනු පෙනෙයි.
නොදැනුවත් බව නිසා මෙසේ උත්සව පවත්වන්නන් කරුණු දක්වා දැනුවත් කර මිථ්‍යා දෘෂ්ටියෙන් මුදවා ගැනීමටත්,
රාග, ද්වේෂ සහ මෝහ අධික බැවින් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ට යටත් වූවන්ට මෙහි ආදීනව පැහැදිලි කර වරද වරද ලෙස දැක ආයති සංවරයේ පිහිටීමටත්,
අනුන්ට හානි කිරීමේ දුෂ්ට පාපී චේතනාවෙන් මෙවැනි උත්සව පැවැත්වීම කළ යුතු යැයි කියන්නන්ට ගැරහීම පිණිස සහ ආයති සංවරයේ පිහිටීම පිණිසත්,
වෙසක්, පොසොන් ආදී උත්සව පැවැත්වීමෙහි ඇති සාවද්‍ය බව සහ සැදැහැවත් බෞද්ධයන්ට සුදුසු නොවන බව බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ නිවැරදි සද්ධර්මය ඇති ත්‍රිපිටකය ඇසුරින් කරුණු දක්වමු.
තුනුරුවන් සරණ ගිය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් උත්සව පැවැත්වීම බුද්ධ දේශනාවට අනුලෝම නොවන බව
- කරුණු පසකින් සමන්වාගත උපාසකයා පහත්, ලාමක, කිලුටු තැවරුණු, පිළිකුල් සහගත උපාසක චණ්ඩාලයෙක් (පහත් කටයුතුවල යෙදෙන්නෙක්/නීචයෙක්) වෙයි. කවර පසකින් ද යත්,
- ශ්‍රද්ධාවන්ත නොවෙයි.
- දුසිල්වත් වෙයි.
- ඉන්ද්‍රියයන් පිනවීමට භෝජන සංග්‍රහ, මංගල උත්සව, වාර්ෂික ආගමික උත්සව ආදී උත්සව පවත්වයි.
- කර්මය නොව සුභ අසුභ නිමිති, පෙර නිමිති, නැකැත් ආදිය අදහයි.
- මේ සසුනෙන් බැහැර දන් දීමට සුදුස්සන් සොයයි. ඔවුන්ට මුලින් උපකාර කරයි.
- එසේ නම් උත්සව පවත්වන්නේ උපාසක චණ්ඩාලයින් නොවේ ද?.
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3, උපාසකචණ්ඩාල සූත්‍රය - පිටු අංක 334 - 337)
- තුනුරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන්ට බුදු රජාණන් වහන්සේ විසින් පසළොස්වක, අමාවක, පුර අටවක සහ අව අටවක යන පොහොය දින සතරෙහි ම අෂ්ටාංග උපෝසථය (අටසිල්) හෝ නවාංග උපෝසථය සමාදන් වීම කළ යුතු බව වදාළ සේක.
- එසේ නොමැති ව පොහොය දිනයන්හි උත්සව පැවැත්වීමට නොවදාළ සේක.
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 6, සක්‍ය සූත්‍රය - පිටු අංක 148 - 155)
- මෙවැනි උත්සව සංවිධානය කරන විට ද බොහෝ අකුසල් සිදු වෙයි. ලජ්ජාව නිසා හෝ බය නිසා මුදල් දෙන සමහරු පසු ව නුගුණ කියති. මිල මුදල් එකතු කරන සමහරු ඒවා සොරා කති. මෙසේ සංවිධායකයන් ද අධාර දෙන්නෝ ද කුසල් යැයි හඟිමින් අකුසල් ම කර ගනිති.
- ගිහියන්ට රාත්‍රියෙහි වීදි සංචාරය නුසුදුසු යැයි ද පිරිහීමට හේතුවන්නේ යැයි ද බුදු රජාණන් වහන්සේ විසින් සිගාල පුතුට සිගාල සූත්‍රයේ දී වදාළ සේක.
- එසේ නම් රාත්‍රියෙහි පවත්වන මෙවැනි උත්සව බුදු රජාණන් වහන්සේගේ අවවාදයට ද පටහැනි වෙයි.
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, දීඝ නිකාය 3, සිගාලක සූත්‍රය - පිටු අංක 288 - 311)
- එකල උපාසක, උපාසිකාවන් පැමිණෙන විට අන්‍ය ආගමික පැවිද්දෝ පවා නිශ්ශබ්ද වන ලෙස තම පිරිස මෙසේ හික්මවති.
- “පින්වතුනි, නිශ්ශබ්ද වන්න. හඬ නගන්න එපා. මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෙකි. ඒ මිත්‍රයා නිශ්ශබ්ද භාවය ප්‍රිය කරයි.
- බුදු රජාණන් වහන්සේ විසින් ඒ ශ්‍රාවකයන් නිශ්ශබ්ද භාවයෙහි හික්මවනු ලැබ සිටිති. ඔවුහු නිහඬ බවෙහි ගුණ කියති. අප නිහඩ වූ විට ඔවුන් මෙහි පැමිණීමට සිතාවි” ආදී වශයෙනි.
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මජ්ඣිම නිකාය 2, සන්දක සූත්‍රය - පිටු අංක 308 - 309)
- ශබ්ද විකාශන යන්ත්‍ර පවා භාවිත කරන මෙවැනි උත්සව තුළ නිශ්ශබ්දකමක් කොයින් ද?
- නැටුම්, ගැයුම්, වැයුම් සහ විසුළු දසුන් ඇති මෙවැනි උත්සව බැලීමෙන් රාග, ද්වේෂ සහ මෝහ වැඩෙන නිසා මෙවැනි දේ බැලීම හේතුවෙන් බොහෝ අකුසල් ද සිදුවෙයි.
- රහතන් වහන්සේලා සහ රහතන් වහන්සේලා අනුකරණය කරමින් හික්මෙන භික්ෂූන් දිවිහිමියෙන් නැටුම්, ගැයුම්, වැයුම් සහ විසුළු දසුන් බැලීමෙන් වැළකී වෙසෙති. පොහොය දිනවල උපෝසථ සමාදන් වූ උපාසක උපාසිකාවන්ට මේවායින් වැළකී හික්මෙන ලෙස බුදු රජාණන් වහන්සේ විසින් වදාළේ එබැවිනි.
උත්සව පැවැත්වීමට වඩා බුදු රජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පිරිණිවන් පෑම ගැන පහන් සංවේග උපදවා ගෙන අප්‍රමාදී ව කුසල් උපදවා ගෙන සතර අපායෙන් මිදීම වඩා නොවටින්නේ ද?
- බුදු රජාණන් වහන්සේ විසින් නොපැනවූ දේ පනවන්නේ, පැනවූ දේ වෙනස් කරන්නේ අධර්මවාදී, අවිනයවාදී පුද්ගලයන් ම වන්නේය. බුදු රජාණන් වහන්සේ විසින් මෙවැනි උත්සව පැවැත්වීමක් කිසි තැනක වදාරා නැත.
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, මහාවග්ගපාළි 2, කොසම්බක්ඛන්ධකය - පිටු අංක 842 - 895)
- බුදු රජාණන් වහන්සේ විසින් බුදු සසුන චිරස්ථිතික වීමට කැමති නම් සතර සතිපට්ඨානය බහුල ව වැඩිය යුතු බව වදාළ සේක. එසේ නොමැති ව උත්සව පැවැත්වීමට කිසිවිටෙක නොවදාළ සේක.
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 5 – i, බ්‍රාහ්මණ සූත්‍රය - පිටු අංක 310 - 311)
- එසේ ම සතර සතිපට්ඨානය වැඩූ විට, බහුල ව වැඩූ විට මේ ජීවිතයේ දී ම රහත් බව හෝ උපධි ශේෂයක් ඇති කල්හි අනාගාමි බව යන ඵල දෙකින් එකකට කැමති විය යුතුය.
- එනම් නිවන් දැකීම පිණිස වූ ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය වෙයි.
- සතර සතිපට්ඨානයේ පළමු කොටස වන කායානුපස්සනාවවත් පහත කරුණු හය දුරු නොකර වැඩීමට නොහැකි වෙයි.
- බොහෝ වැඩ කරනු කැමති බව (කම්මාරාමතා)
- කතාවේ ඇලී සිටීම (භස්සාරාමතා)
- නින්දේ ඇලී සිටීම (නිද්දාරාමතා)
- පිරිස් සමඟ එකට එකතු වී සිටීමට ඇති කැමැත්ත (සඞ්ඝණිකාරාමතා)
- ඉඳුරන්ගේ නොවැසූ දොරටු ඇති බව (ඉන්ද්‍රියෙසු අගුත්ත ද්වාරතා)
- භෝජනයේ පමණ නොදන්නා බව (භෝජනෙ අමත්තඤ්ඤුතා)
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4, සාමඤ්ඤ වර්ගය, කායානුපස්සී සූත්‍රය - පිටු අංක 268 - 269)
- වෙසක් පොසොන් ආදී උත්සව පැවැත්වීම කම්මාරාමතාවක් නොවන්නේ ද? භස්සාරාමතා, සඞ්ඝණිකාරාමතා සහ ඉන්ද්‍රියෙසු අගුත්ත ද්වාරතා යන භික්ෂුවකගේ පිරිහීමට හේතු වන කරුණු ඇති උත්සව පැවැත්වීමෙන් කවර අර්ථයක් ද?
- පංච කාමගුණ (රූප, ශබ්ද, ගන්ධ, රස සහ පහස) දුරු කිරීම පිණිස බ්‍රහ්මචරියාවේ යෙදෙති. උත්සව පවත්වන්නේ පංච කාමගුණ ලබා ගැනීම පිණිස වෙයි. සද්ධර්මය ඇත්තේ පංච කාමගුණ ප්‍රහාණයට වෙයි.
- (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5, කාමගුණ සතිපට්ඨාන සූත්‍රය - පිටු අංක 554 - 555)
- පංච කාමගුණයන්ගේ වැඩීමට, විපුලත්වයට හේතු වන ක්ලේශනීය, ඕඝනීය, යෝගනීය, ග්‍රන්ථනීය, නීවරණීය උත්සව පැවැත්වීමෙන් කවර නම් අර්ථයක්ද?
මේ උත්සව පවත්වන්නන් සහ මේවා නැරඹීමට කැමති පිරිස පෙර සිට ම රාගයෙන් බැඳුණු, රාගය (ආසාව) පහ නොකළ වූවෝ වෙති. උත්සව තුළ රාගයට හිතකර කරුණු දැකීමෙන් ඔවුහු ඒවාට ඇලෙති. බොහෝ රාග ඇත්තෝ බවට පත් වෙති.
එසේ ම මේ පිරිස් පෙර සිට ම පහ නොවූ ද්වේෂ (තරහ) ඇත්තෝ වෙති. ද්වේෂයෙන් බැඳුණු සත්වයෝ මේ උත්සව තුළ ඇති ද්වේෂයට හිතකර කරුණු දැක බොහෝ සෙයින් ද්වේෂය ඇති කර ගනිති. එය ඒ අයගේ ද්වේෂය වැඩීම පිණිස පවතියි.
මෝහයෙන් (මුළාවෙන්) බැඳුණු, පහ නොවූ මෝහයෙන් යුතු මේ පිරිස් මේ උත්සව තුළ ඇති මුළාවට හා රැවටීමට කරුණු දැක ඒ අය බොහෝ මුළා වීම සඳහා මේවා හේතු වෙයි.
ශාසනයේ පැවැත්ම සඳහා ආමිස පූජාව අත්‍යාවශ්‍ය වෙයි. ආමිස පූජාව යනු ගිහියන් විසින් පැවිද්දන්ට ජීවත් වීමට අවශ්‍ය ද්‍රව්‍ය එනම් චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලන්පස, බෙහෙත්, පිරිකර පූජා කිරීම වෙයි. එසේ නොමැති ව අකුසල් සිදු වන වෙසක්, පොසොන් උත්සව, කඨින උත්සව, පෙරහැර ආදී උත්සව පැවැත්වීම නොවෙයි.
එසේ රාග, ද්වේෂ හා මෝහ (අකුසල්) වැඩි වීම සඳහා මේ උත්සව පැවැත්වීම හේතු වෙයි.
නිවැරදි සද්ධර්මය සොයා ගැනීම සඳහා පවතින බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ සතර මහාපදේශයන්ට ද උත්සව පැවැත්වීම නොගැලපෙයි.
සතර මහා අපදේශ
මහාපරිනිබ්බාන සූත්‍රය හා යුක්තිහාරවිභඞ්ග යන දෙසුම් ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, දීඝ නිකාය 2, මහාපරිනිබ්බාන සූත්‍රය - පිටු අංක 194 - 197 / ඛුද්දක නිකාය, නෙත්තිප්පකරණ, යුක්තිහාරවිභඞ්ග - පිටු අංක 38 - 39)
- මෙය ධර්මය, මෙය විනය හා මෙය ශාස්තෘ ශාසනයයි භාග්‍යවතුන් වහන්සේ හමුවේ අසන ලදි, පිළිගන්නා ලදි යැයි යම් භික්ෂුවක් පැවසුව ද එය නොපිළිගත යුතුය. බැහැර නොකළ යුතුය.
- ඒ පද ව්‍යඤ්ජන හොඳින් ඉගෙන ගෙන,
- සූත්‍රයෙහි බහා (වැරදි නිවැරදි භාවය) බැලිය යුතුය.
- විනයෙහි සසඳා බැලිය යුතුය.
- ධර්මතාවයට එකඟ දැයි බැලිය යුතුය.
- සූත්‍රය නම් චතුරාර්ය සත්‍ය වෙයි.
- කෙසේ චතුරාර්ය සත්‍යයට බහා බලන්නේ ද යත්;
- ඒ උගත් ධර්ම දුකට අයිති නම් ඒ ධර්ම පිරිසිඳ දත යුතු ධර්ම ලෙස දක්වා තිබිය යුතුය.
- ඒ උගත් ධර්ම දුක්ඛ සමුදයට අයිති නම් ඒ ධර්ම ප්‍රහාණය කළ යුතු ධර්ම ලෙස දක්වා තිබිය යුතුය.
- ඒ උගත් ධර්ම දුක්ඛ නිරෝධයට අයිති නම් ඒ ධර්ම සාක්ෂාත් කළ යුතු ධර්ම ලෙස දක්වා තිබිය යුතුය.
- ඒ උගත් ධර්ම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට අයිති නම් ඒ ධර්ම වැඩිය යුතු ධර්ම ලෙස දක්වා තිබිය යුතුය.
- විනය නම් රාග විනය, ද්වේෂ විනය හා මෝහ විනයයි. එනම් රාග, ද්වේෂ සහ මෝහ ප්‍රහාණයයි.
- එසේ උගත් ධර්ම ශාස්තෘ ශාසනය නම් එයින් රාගය, ද්වේෂය සහ මෝහය ප්‍රහාණය වන බව පැහැදිලි ව දක්වා තිබිය යුතුය.
- ඒ මක් නිසා ද යත් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය රාග, ද්වේෂ සහ මෝහ ප්‍රහාණය පිණිස, එනම් නිවන පිණිස මනා ව කියන ලද (ස්වක්ඛාත) බැවිනි.
- ධර්මතාවය නම් පටිච්චසමුප්පාදයයි.
- ඒ උගත් ධර්මය නිවැරදි නම් ඒ ධර්ම ධර්මතාවයට, එනම් පටිච්චසමුප්පාදයට මනා ව එකඟ ව පැවතිය යුතුය.
- එනම් අවිද්‍යාව මූලික කර ගෙන සියලු දුක හෙවත් සියලු ලෝකය හටගන්නා බව ඒ ධර්මය තුළින් පැහැදිලි ව පෙන්වා තිබිය යුතුය.
- අවිද්‍යාව නිරෝධයෙන් සියලු දුකෙහි හෙවත් සියලු ලෝකයෙහි නිරෝධය සාක්ෂාත් වන බව ඒ ධර්මය තුළින් පැහැදිලි විය යුතුය. මෙසේ ධර්මතාවයට ගැළපිය යුතුය.
- මෙසේ ගළපා බලා මනා ව නොගැළපේ නම් එය භාග්‍යවතුන් වහන්සේගේ වචන නොවෙයි. මේ භික්ෂුව වරදවා ගත් දෙයක් ලෙසින් නිශ්චයට යා යුතුය. එම ධර්ම බැහැර කළ යුතුය.
- මෙසේ ගළපා බලා මනා ව ගැළපේ නම් එය භාග්‍යවතුන් වහන්සේගේ ම වචන වශයෙන් ගත යුතුය. නිශ්චයට යා යුතුය. ඒ මහණ මැනවින් ඉගෙන ගෙන ඇත.
- යම් භික්ෂුවක් මෙය ධර්මයයි, මෙය විනයයි, මෙය ශාස්තෘ ශාසනයයි අසවල් ආවාසයේ වෙසෙන ස්ථවිරයන් සහිත, සංඝ නායකයන් සහිත සංඝයා පැවසූ බව කියූව ද එය නොපිළිගත යුතුය. බැහැර නොකළ යුතුය.
- ඒ පද ව්‍යඤ්ජන හොඳින් ඉගෙන ගෙන, සූත්‍රයෙහි බහා බැලිය යුතුය. විනයෙහි සසඳා බැලිය යුතුය. ධර්මතාවයට එකඟ දැයි බැලිය යුතුය.
- මෙසේ ගළපන කල මනා ව නොගැළපේ නම් මේ භාග්‍යවතුන් වහන්සේගේ වචන නොවෙයි. ඒ භික්ෂූන් වහන්සේලා විසින් වරදවා ගත්තකි යැයි නිශ්චය කර නොපිළිගත යුතුය. බැහැර කළ යුතුය.
- මෙසේ ගළපා බලන කල මනා ව ගැළපේ නම් එය භාග්‍යවතුන් වහන්සේගේ ම වචනයකි. ඒ භික්ෂූන් වහන්සේලා නිවැරදි ව ඉගෙන ගත්තක් වශයෙන් නිශ්චයට යා යුතුය.
- යම් භික්ෂුවක් මෙය ධර්මය, මෙය විනය හා මෙය ශාස්තෘ ශාසනයයි යනුවෙන් අසවල් ආවාසයේ වෙසෙන බහුශ්‍රැත, අධිගත (අවබෝධ කළ), ධර්මධර, විනයධර, මාතෘකාධර බොහෝ ස්ථවිර භික්ෂූන්ගෙන් අසන ලදැයි පැවසුව ද එය නොපිළිගත යුතුය. බැහැර නොකළ යුතුය.
- ඒ පද ව්‍යඤ්ජන හොඳින් ඉගෙන ගෙන, සූත්‍රයෙහි බහා බැලිය යුතුය. විනයෙහි සසඳා බැලිය යුතුය. ධර්මතාවයට එකඟ දැයි බැලිය යුතුය.
- මෙසේ ගළපන කල මනා ව නොගැළපේ නම් මේ භාග්‍යවතුන් වහන්සේගේ වචන නොවෙයි. ඒ ස්ථවිරයන් වහන්සේලා වරදවා ගත්තක් යැයි නිශ්චය කර නොපිළිගත යුතුය. බැහැර කළ යුතුය.
- මෙසේ ගළපා බලන කල මනා ව ගැළපේ නම් එය භාග්‍යවතුන් වහන්සේගේ ම වචනයකි. ඒ ස්ථවිරයන් වහන්සේලා නිවැරදි ව ඉගෙන ගත්තක් වශයෙන් නිශ්චයට යා යුතුය.
- මෙය ධර්මය, මෙය විනය හා මෙය ශාස්තෘ ශාසනයයි යනුවෙන් අසවල් ආවාසයේ වෙසෙන බහුශ්‍රැත, අධිගත, ධර්මධර, විනයධර හා මාතෘකාධර එක් ස්ථවිරයන් වහන්සේ නමක් පැවසූ බව යම් භික්ෂුවක් කියූව ද එය නොපිළිගත යුතුය. බැහැර නොකළ යුතුය.
- ඒ පද ව්‍යඤ්ජන හොඳින් ඉගෙන ගෙන, සූත්‍රයෙහි බහා බැලිය යුතුය. විනයෙහි සසඳා බැලිය යුතුය. ධර්මතාවයට එකඟ දැයි බැලිය යුතුය.
- මෙසේ ගළපන කල මනා ව නොගැළපේ නම් එය භාග්‍යවතුන් වහන්සේගේ වචන නොවෙයි. ඒ ස්ථවිරයන් වහන්සේ වරදවා ගත්තකි යැයි නිශ්චය කර එය බැහැර කළ යුතුය.
- මෙසේ ගළපන විට මනා ව ගැළපේ නම් එය භාග්‍යවතුන් වහන්සේගේ ම වචනයකි. ඒ ස්ථවිරයන් වහන්සේ මැනවින් ඉගෙන ගෙන ඇතැයි නිශ්චයට යා යුතුය. පිළිගත යුතුය.
මෙසේ උත්සව පැවැත්වීමෙන් පංච උපාදානස්කන්ධයේ වැඩීමක් ම සිදු වෙයි. එනම් දුරු කළ යුතු දුක ම වැඩෙයි. දුකට හේතුව වන ප්‍රහාණය කිරීමට භාග්‍යවතුන් වහන්සේ වදාළ තණ්හාව ද උත්සව පැවැත්වීමෙන් වැඩෙනු ඇත. එනම් දුරු කළ යුතු දුක, ජරාමරණ දුක වැඩෙනු නොවේ ද?
එසේ නම් දුක නිරෝධයට නොව, දුක වැඩීමට හේතු වන බැවින් චතුරාර්ය සත්‍යයට අනුව උත්සව පැවැත්වීම සුදුසු නොවෙයි.
මෙවැනි උත්සව පැවැත්වීම රාග, ද්වේෂ සහ මෝහ වැඩීමට හේතු වන නිසා විනයට (එනම් රාග විනයට, ද්වේෂ විනයට හා මෝහ විනයට) ද නොගැලපෙයි.
පටිච්චසමුප්පාදය හෙවත් ධර්මතාවය අනුව ද මෙවැනි දේ අවිද්‍යාව වැඩීමට හේතු වෙයි.
අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර ද සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන ද විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප ද නාමරූප ප්‍රත්‍යයෙන් සළායතන ද සළායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව ද වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව ද තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය ද උපාදාන ප්‍රත්‍යයෙන් භවය ද භව ප්‍රත්‍යයෙන් ජාතිය ද වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස හටගනියි.
එසේ නම් පට්ච්චසමුප්පාදයට ද වෙසක් පොසොන් ආදී උත්සව පැවැත්වීම නොගැලපෙයි.
නිවැරදි සද්ධර්මය සොයා ගැනීම සඳහා පවතින බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සතර මහාපදේශයන්ට නොගැළපෙන බැවින් වෙසක්, පොසොන් ආදී උත්සව පැවැත්වීම තුනුරුවන් සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් නොකිරීම සුදුසු වෙයි. නොකළයුතු වෙයි.
භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් විසින් බුදු රජාණන් වහන්සේට නිවැරදි ව සත්කාර කරන්නේ, ගෞරව කරන්නේ, උතුම් ම පූජාවෙන් පුදන්නේ කෙසේ ද?
යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් සාමීචිපටිපන්න වී, අනුධම්මචාරී වී, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදේ නම් හෙතෙම බුදු රජාණන් වහන්සේට සත්කාර කෙරෙයි. ගෞරව කෙරෙයි. පුදන ලද්දේ වෙයි. විශේෂයෙන් පුදන ලද්දේ වෙයි.උතුම් ම පූජාවෙන් පුදන ලද්දේ වෙයි.
එබැවින්, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන් සාමීචිපටිපන්න ව, අනුධම්මචාරී ව, ධම්මානුධම්ම පටිපන්න ව වසන්නේ යැයි මෙසේ ම හික්මිය යුතුයි.
සාමීචිපටිපන්න යනු;
රාග, ද්වේෂ සහ මෝහ ප්‍රහාණය සඳහා වූ නිවැරදි මගට පැමිණීම වෙයි.
අනුධම්මචාරී යනු;
සද්ධර්මයට අනුව ධර්මානුකූල ව හැසිරීම වෙයි.
ධම්මානුධම්ම ප්‍රතිපදාව යනු;
කතා කිරීමේ දී ධර්මය ම කතා කරයි, අධර්මය කතා නොකරයි. සිතීමේ දී ධර්මය ම සිතයි, අධර්මය නොසිතයි.
අන් සැමවිට ම සිහි නුවණින් යුතු ව මැදහත් ව වාසය කරයි.
මෙසේ වාසය කිරීම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ විසීම වෙයි.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, දීඝ නිකාය 2, මහාපරිනිබ්බාන සූත්‍රය - පිටු අංක 214 - 215)
සියල්ල දන්නා වූ දක්නා වූ බුදු රජාණන් වහන්සේ විසින් නොවදාළ, බොහෝ විට රාග, ද්වේෂ සහ මෝහ වැඩීමට හේතු වන වෙසක්, පොසොන් ආදී උත්සව පැවැත්වීම තව දුරටත් කරනවා ද? එසේ කර මෙලොව පරලොව දුකට ම පත්වෙනවාද?
බුදු රජාණන් වහන්සේ විසින් වදාළ ලෙස සාමීචිපටිපන්න වී, අනුධම්මචාරී වී, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්නේ ද? එසේ කර මෙලොව පරලොව සැපයට ම පත්වෙනවාද?
තීරණය ඔබ සතුය.
බාගත කිරීමට 