Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් /

බුදු සසුන වැනසීමට මග පාදන ඝෝෂාකාරී ධර්ම ප්‍රචාර

මෙකල බොහෝ බෞද්ධ ආගමික ස්ථානවල සහ නිවෙස්වල ශබ්ද විකාශන යන්ත්‍ර ආදිය මගින් ඝෝෂාකාරී ලෙස මහ හඬින් අසල්වැසි ජනතාවට බාධා වන අයුරින් පිරිත් දේශනා, බෝධි පූජා, සරණාගමනය, පන්සිල්, ධර්ම දේශනා, වෙනත් ආශිර්වාද ගාථා ආදිය ප්‍රචාරය කරනු ඇසෙයි.

මෙම කරුණු දැක්වීම එම ක්‍රියා බුදු දහමට නොගැළපෙන බව ත්‍රිපිටකය ඇසුරින් පෙන්වා දීමකි.

  • ගෞතම බුදු රජාණන් වහන්සේ යම් ධර්ම දේශනාවක් කරන විට ඒ හඬ අසන පිරිසෙන් බැහැරට නොඇසෙයි.
    (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මජ්ඣිම නිකාය 2, බ්‍රහ්මායු සූත්‍රය - පිටු අංක 586 - 587 / ඛුද්දක නිකාය, මහානිද්දේසපාළි, සාරිපුත්තනිද්දේසො - පිටු අංක 628 - 629)
  • බුදු රජාණන් වහන්සේට මහා සහස්‍රී ලෝක ධාතුවට හෝ එයටත් වඩා දුරට ඇසෙන සේ කථා කළ හැකි ව තිබිය දී එසේ නොකළ සේක.
    (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 402 - 405)
  • එකල භාග්‍යවතුන් වහන්සේ වඩින විට අන්‍ය ආගමිකයෝ පවා මෙසේ කියති.
    “පින්වතුනි, නිශ්ශබ්ද වන්න. පින්වතුනි, ශබ්ද කරන්න එපා. මේ ශ්‍රමණ ගෞතමයෝ නිහඬ බවට කැමති වෙයි. නිහඬ බවෙහි ගුණ කියයි. ඒ උතුමා අප නිහඬ බව දැන අප වෙත පැමිණීමට සිතාවි”.
    (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මජ්ඣිම නිකාය 2, මහාසකුලුදායි සූත්‍රය - පිටු අංක 332 - 333 / චූලසකුලුදායි සූත්‍රය - පිටු අංක 376 - 377)
  • එකල භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් පැමිණෙන විට අන්‍ය ආගමික පැවිද්දෝ පවා නිශ්ශබ්ද වන ලෙස තම පිරිස මෙසේ හික්මවති.
    “පින්වතුනි, නිශ්ශබ්ද වන්න. හඬ නගන්න එපා. මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෙකි. ඒ මිත්‍රයා නිශ්ශබ්ද භාවය ප්‍රිය කරයි. බුදු රජාණන් වහන්සේ විසින් ඒ ශ්‍රාවකයන් නිශ්ශබ්ද භාවයෙහි හික්මවා ඇත. ඔවුහු නිහඬ බවෙහි ගුණ කියති. අප නිහඩ වූ විට ඔහු මෙහි පැමිණීමට සිතාවි” ආදී වශයෙනි.
    (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මජ්ඣිම නිකාය 2, සන්දක සූත්‍රය - පිටු අංක 308 - 309 / සමණමණ්ඩිකා සූත්‍රය - පිටු අංක 366 - 367)
  • සියල්ල දක්නා වූ දන්නා වූ බුදු රජාණන් වහන්සේ ප්‍රථම ධ්‍යානයට ශබ්දය කණ්ටක (බාධා වන) බව වදාළ සේක.
    (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 6, කණ්ටක සූත්‍රය - පිටු අංක 240 - 243)
  • ධ්‍යාන වැඩීම සදහා අල්ප ශබ්ද, නිශ්ශබ්ද සෙනසුනක් තෝරා ගත යුතු බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
    (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විභඞ්ගප්පකරණ 2, ධ්‍යානවිභඞ්ගො - පිටු අංක 34-35 සහ 44-47)
  • එකල භික්ෂූන් වහන්සේලා පවා එකිනෙකා සමඟ මහ හඬින් උස් හඬින් කතා කරන විට බුදු රජාණන් වහන්සේ විසින් ඔවුන් බැහැර කළ සේක.
    (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මජ්ඣිම නිකාය 2, චාතුම සූත්‍රය - පිටු අංක 206 - 207)
  • යමෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ ධම්ම පිළිබඳ සතුටු වෙයි නම් ඔහු දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වෙයි නම් ඔහු දුකින් නොමිදේ යැයි කියමි.
    යමෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ ධම්ම පිළිබඳ සතුටු නොවෙයි නම් ඔහු දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නොවෙයි නම් ඔහු දුකෙන් මිදේ යැයි කියමි.
    (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 4, දුතිය අභිනන්ද සූත්‍රය - පිටු අංක 26 - 27)

එකල බොහෝ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේගේ අවවාද උපදෙස් අනුව මනා ව හික්මුණහ.

සමාධියට බාධා වන, ශාස්තෘන් වහන්සේ ප්‍රිය නොකරන, නොකළ යුතු යැයි අවවාද කළ, මහ හඬින් කරන ඝෝෂාකාරී ධර්ම ප්‍රචාර අද ද නුසුදුසු නොවේ ද?

එම ශබ්ද නිසා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසට ම සමාධිය වැඩීමට බාධා වනු ඇත. සමාධිය නිසා ප්‍රඥාව ඇති වන හෙයින් සමාධිය නැති වීමෙන් ඔවුන් දුෂ්ප්‍රාඥ වනු ඇත.

මහ හඬින් කරන ඝෝෂාකාරී ධර්ම ප්‍රචාර බෞද්ධයන්ට මෙන් ම අන්‍ය ආගමිකයන්ට ද තම තමන් ගේ ඉගෙනීමේ කටයුතු, භාවනා කටයුතු, ගේ දොර කටයුතු ආදියට බාධා ඇති වීම නිසා ඔවුන් තුළ ද්වේෂය හටගනු ඇත. එය අකුසලයකි.

යමෙකුට ධර්මය ඇසීමට අවශ්‍ය නම් ඒ සදහා භික්ෂූන් වහන්සේලා හමු වී හෝ ජනමාධ්‍ය මගින් ඒවා පහසුවෙන් ලබා ගත හැකිය. එසේ තිබිය දී තමන්ට ඇසීමට අවශ්‍ය ධර්මය අන් අයට බලහත්කාරයෙන් ඇස්සවීම සුදුසු නොවෙයි. අන්‍යාගමිකයන් මෙය බුද්ධ ශාසනය ලෙස වරදවා වටහා ගෙන බුදු රජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ සද්ධර්මය කෙරෙහි පවා අපහදිනු ඇත. එය ඒ අයට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස පවතිනු ඇත.

බෞද්ධයන් වශයෙන් අන්‍ය ආගමිකයන්ට ආදර්ශයක් විය යුතු නොවේ ද? පැවිදි හෝ ගිහි වන ඔබ අතින් මෙවැනි දේ සිදු වී ඇත්නම් ඔබ වරද වරද ලෙස දැක ආයති සංවරයේ පිහිටන්න. එය ඔබටත් ඔබගේ අසල්වාසීන්ටත් කරන ඉතා යහපත් ක්‍රියාවකි.

ඔබ කැමති දේ ඇසීමට ඔබට අයිතියක් ඇත. එහෙත් අන් අයගේ විවේකය හෝ සමාධිය බිඳීමට ඔබට අයිතියක් නැත.

බොහෝ විට පාලි භාෂාවෙන් ඇසෙන මේ පිරිත්, ගාථා ආදිය පාලි භාෂාව නොදන්නා බහුතරයකට කිසි ම තේරුමක් වටහා ගත නොහැකි ශබ්ද මාත්‍රයක් ම වනු ඇත. එයින් කිසි ම ධර්ම අවබෝධයක් නොලැබෙනු ඇත.

නුවණින් සිතා බලා තීරණය කිරීම ඔබ සතුය.


බාගත ​කිරීමට