මහණෙනි, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් මේ දුක යැයි තතු සේ දනියි ද, මේ දුකට හේතුව යැයි තතු සේ දනියි ද, මේ දුකෙහි නිරෝධය යැයි තතු සේ දනියි ද, මේ දුක නිරෝධ කරන පිළිවෙත යැයි තතු සේ දනියි ද, නැගෙනහිරෙන් වාද කිරීමට කැමති, වාද සොයා යන මහණෙක් හෝ බමුණෙක් වාද කර මොහුට දොස් නගන්නෙමියි පැමිණෙන්නේ නම් ඒකාන්තයෙන් ඔහු කරුණු සහිත ව කම්පා කරවන්නේවත්, මැනවින් සොලවන්නේවත්, වෙවුලුවන්නේවත් යන මෙයට හේතු රහිත ය.
එසේ ම බටහිරෙන් හෝ උතුරෙන් හෝ දකුණෙන් වාද කිරීමට කැමති, වාද සොයා යන මහණෙක් හෝ බමුණෙක් වාද කර මොහුට දොස් නගන්නෙමියි පැමිණෙන්නේ නම් ඒකාන්තයෙන් ඔහු කරුණු සහිත ව කම්පා කරවන්නේවත්, මැනවින් සොලවන්නේවත්, වෙවුලුවන්නේවත් යන මෙයට හේතු රහිත ය.
මහණෙනි, රියන් දහසයක් උස ගල් කණුවක් වෙයි. මෙහි රියන් අටක් පොළොව යට ද, රියන් අටක් පොළොවෙන් උඩට ද මතු ව ඇත්තේය.
මේ ගල් කණුව නැගෙනහිරෙන් හමන මහත් වූ කුනාටුවකින් වත් නොසෙලවෙන්නේය, නොසැලෙන්නේය. බටහිරෙන් හමන මහත් වූ කුනාටුවකින් වත් නොසෙලවෙන්නේය, නොසැලෙන්නේය. උතුරෙන් හමන මහත් වූ කුනාටුවකින් වත් නොසෙලවෙන්නේය, නොසැලෙන්නේය. දකුණෙන් හමන මහත් වූ කුනාටුවකින් වත් නොසෙලවෙන්නේය, නොසැලෙන්නේය. ඒ කවර හෙයින් ද යත් ගල් කණුව ගැඹුරු වළක මනා ව සිටුවන ලද බැවිනි.
එසේ ම මහණෙනි, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් මේ දුක යැයි තතු සේ දනී ද, මේ දුකට හේතුව යැයි තතු සේ දනී ද, මේ දුකෙහි නිරෝධය යැයි තතු සේ දනී ද, මේ දුක නිරෝධ කරන පිළිවෙත යැයි තතු සේ දනී ද, නැගෙනහිරෙන් වාද කිරීමට කැමති, වාද සොයා යන මහණෙක් හෝ බමුණෙක් වාද කර මොහුට දොස් නගන්නෙමියි පැමිණෙන්නේ නම් ඒකාන්තයෙන් ඔහු කරුණු සහිත ව කම්පා කරවන්නේවත්, මැනවින් සොලවන්නේවත්, වෙවුලුවන්නේවත් යන මෙයට හේතු රහිත ය.
එසේ ම බටහිරෙන් හෝ උතුරෙන් හෝ දකුණෙන් වාද කිරීමට කැමති, වාද සොයා යන මහණෙක් හෝ බමුණෙක් වාද කර මොහුට දොස් නගන්නෙමියි පැමිණෙන්නේ නම් ඒකාන්තයෙන් ඔහු කරුණු සහිත ව කම්පා කරවන්නේවත්, මැනවින් සොලවන්නේවත්, වෙවුලුවන්නේවත් යන මෙයට හේතු රහිත ය.
ඒ කවර හෙයින් ද යත් චතුරාර්ය සත්‍ය මනා ලෙස ම දන්නා ලද බැවිනි.
කවර චතුරාර්ය සත්‍යයක් ද යත්;
දුක්ඛ ආර්ය සත්‍යය
දුක්ඛ සමුදය ආර්ය සත්‍යය
දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය සහ
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය වෙයි.
එම නිසා මහණෙනි, මේ දුක යැයි අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුය. මේ දුකට හේතුව යැයි අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුය. මේ දුකෙහි නිරෝධය යැයි අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුය. මේ දුක නිරෝධ කරන පිළිවෙත යැයි අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුය.