උපාසක උපාසිකාවන් දුකෙන් මිදීම පිණිස
අනුස්මරණය කළ යුතු ස්ථාන සයකි
අනුස්සතිට්ඨාන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 54 - 57)
මහණෙනි, මේ නැවත නැවත සිහි කළ යුතු, එනම් අනුස්මරණය කළ යුතු ස්ථාන සයෙකි.
කවර සයෙක් ද යත්;
- මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ මෙසේ අනුස්මරණය කරයි.
- බෝ මැඩ දී මනා ලෙස තමා විසින් ම පෙර නොඇසූ චතුරාර්ය සත්‍ය මැනවින් අවබෝධ කොට එහි සියල්ල දත් (සර්වඥ) බවට සහ බල ඥානයෙහි වශී භාවයට පැමිණි සේක. එනම් සම්මා සම්බුද්ධ වන සේක. දෙවියන්, බ්‍රහ්මයන්, මරුන්, බමුණන් හා පැවිද්දන් සහිත ලෝකයේ ඒ සියල්ලන් අභිබවා විශිෂ්ට නුවණකිනුත්, මනා පිරිසිදු හැසිරීමකිනුත් යුක්ත වූ සේක (විජ්ජාචරණ සම්පන්නො). සියලු කෙලෙස් නැසූ සේක (සුගත). අපාය, මිනිස්, දිව්‍ය ලෝක මැනවින් දැන එහි සත්‍ය ස්වභාවය ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, ප්‍රත්‍ය ආදී වශයෙන් පනවා ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව (දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව) ලොවට මැනවින් හෙළි කළ සේක (ලොකවිදු).
- හික්මවීමට අපහසු ප්‍රචණ්ඩ අංගුලිමාල, ආලවක යක්‍ෂයා, නාළාගිරි ඇතා ආදීන් මනා ලෙස හික්මවන ලද සේක. මෙසේ පුරුෂයන් දමනය කිරීමේ අග්‍ර වන සේක (අනුත්තරො පුරිසදම්මසාරථී). මාගේ ඒ භාග්‍යවත් වූ බුදු රජාණන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ට ශාස්තෘන් වන සේක’ (සත්තා දේව මනුස්සානං) බුද්ධ වන සේක (බුද්ධො). භාග්‍යවත් වන සේක (භගවාති).
- මහණෙනි, යම් කලෙක ශ්‍රාවකයා මෙසේ තථාගතයන් වහන්සේ අනුස්මරණය කරන්නේ ද එකල ඔහුට රාගයෙන් මඩින ලද (යටත් කරන ලද) සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩින ලද සිතක් නොම වෙයි. මෝහයෙන් (මෝඩකමෙන්) මඩින ලද සිතක් නොම වෙයි. එසමයෙහි ඔහුගේ සිත පංච කාම ගුණ (රූප, ශබ්ද, ගන්ධ, රස, පහස) කෙරෙහි ඇති ගිජු කමෙන් නික්මුණේ වෙයි, මිදුණේ වෙයි, නැගී සිටියේ වෙයි.
- මහණෙනි, මේ බුද්ධානුස්සතිය අරමුණු කොට ලොව ඇතැම් සත්වයෝ පිරිසිදු වෙති.
- මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ ධර්මය මෙසේ අනුස්මරණය කරයි. භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මය රාග, ද්වේෂ හා මෝහ ප්‍රහාණය පිණිස මනා කොට දේශනා කර ඇත (ස්වක්ඛාත). මේ ජීවිතයේ දී ම ප්‍රතිඵල ලැබිය හැකිය. තමා විසින් ම දැකිය හැකිය (සන්දිට්ඨික). කල් නොයවා විපාක දෙයි (අකාලික). ඇවිත් බලන්න යැයි කීමට සුදුසුය (එහිපස්සික). තමා තුළට පමුණුවා ගත යුතුය (ඔපනයික). නුවණැත්තන් විසින් තම තමන්ගේ ම නැණ පමණින් අවබෝධ කර ගත යුතුය (පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහිති).
- මහණෙනි, යම් කලෙක ශ්‍රාවකයා මෙසේ තථාගතයන් වහන්සේගේ ධර්මය අනුස්මරණය කරන්නේ ද එකල ඔහුට රාගයෙන් මඩින ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩින ලද සිතක් නොම වෙයි. මෝහයෙන් මඩින ලද සිතක් නොම වෙයි. එසමයෙහි ඔහුගේ සිත පංච කාම ගුණ කෙරෙහි ඇති ගිජු කමෙන් නික්මුණේ වෙයි, මිදුණේ වෙයි, නැගී සිටියේ වෙයි.
- මහණෙනි, මේ ධම්මානුස්සතිය අරමුණු කොට ලොව ඇතැම් සත්වයෝ පිරිසිදු වෙති.
- මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මෙසේ අනුස්මරණය කරයි.
- භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු පිරිස රාග, ද්වේෂ හා මෝහ ප්‍රහාණය පිණිස මනා ව බැස ගත් (සුපටිපන්න), ඇද නැති (උජුපටිපන්න), අවංක, නිවැරදි වූ සත්‍ය මාර්ගයේ (ඤායපටිපන්න) නිවැරදි ව ගමන් කරති (සාමීචිපටිපන්න). පුරුෂ යුගළ හතරක් හා පුද්ගලයන් අට දෙනෙක් වෙති. එනම් සෝවාන් මාර්ග සහ ඵල, සකදාගාමි මාර්ග සහ ඵල, අනාගාමි මාර්ග සහ ඵල, අරහත් මාර්ග සහ ඵල වශයෙනි (අට්ඨපුරිසපුග්ගලා).
- ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු පිරිස වෙත, දුර සිට හෝ පැමිණ පූජාවන් සිදු කිරීමට සුදුසුය (ආහුණෙය්‍ය). ආගන්තුක සත්කාරයට සුදුසුය (පාහුණෙය්‍ය). මතු විපාක ලබා ගැනීම සඳහා දෙන දානය පිළිගැන්වීමට සුදුසුය (දක්ඛිණෙය්‍ය). දොහොත් මුදුන් තබා වැඳීමට සුදුසුය (අඤ්ජලිකරණීය). ලොවට ඉතා ම උතුම් පින් කෙත වෙයි (අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති).
- මහණෙනි, යම් කලෙක ශ්‍රාවකයා මෙසේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය අනුස්මරණය කරන්නේ ද එකල ඔහුට රාගයෙන් මඩින ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩින ලද සිතක් නොම වෙයි. මෝහයෙන් මඩින ලද සිතක් නොම වෙයි. එසමයෙහි ඔහුගේ සිත පංච කාම ගුණ කෙරෙහි ඇති ගිජු කමෙන් නික්මුණේ වෙයි, මිදුණේ වෙයි, නැගී සිටියේ වෙයි.
- මහණෙනි, මේ සංඝානුස්සතිය අරමුණු කොට ලොව ඇතැම් සත්වයෝ පිරිසිදු වෙති.
- මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා තමාගේ ශීලය මෙසේ අනුස්මරණය කරයි.
- නොකැඩුණු, තැනින් තැන සිදුරු නොවූ, කැලැල් රහිත, ඒකාකාරී වූ, පිරිසිදු වූ, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන, සිතින් දැඩි ලෙස නොගත්, සමාධිය පිණිස පවතින තමාගේ සීලය සිහි කරයි.
- මහණෙනි, යම් කලෙක ශ්‍රාවකයා තමාගේ ශීලය අනුස්මරණය කරන්නේ ද එකල ඔහුට රාගයෙන් මඩින ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩින ලද සිතක් නොම වෙයි. මෝහයෙන් මඩින ලද සිතක් නොම වෙයි. එ සමයෙහි ඔහුගේ සිත පංච කාම ගුණ කෙරෙහි ඇති ගිජු කමෙන් නික්මුණේ වෙයි, මිදුණේ වෙයි, නැගී සිටියේ වෙයි.
- මහණෙනි, මේ සීලානුස්සතිය අරමුණු කොට ලොව ඇතැම් සත්වයෝ පිරිසිදු වෙති.
- මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා තමාගේ ත්‍යාගශීලී බව මෙසේ අනුස්මරණය කරයි.
- ඒකාන්තයෙන් මට ලාභයෙකි. යම් බඳු වූ මසුරුකමෙන් යටත් කරන ලද සතුන් අතරෙහි මම පහ වූ කිලුටෙන් සහ මසුරුකමෙන් යුතු ව ගිහි ගෙයි වෙසෙමි. ත්‍යාගය පිණිස මුදන ලද පිරිසිදු දෑත් ඇත්තේ වෙයි. පරිත්‍යාගයට කැමති බැවින් යමෙකුට ඉල්ලීමට සුදුසු වූයේ ද වෙයි. බෙදා දීමෙහි ද ඇලුනේ වෙයි. ඒකාන්තයෙන් මට මනා කොට ලැබුමකි.
- මහණෙනි, යම් කලෙක ශ්‍රාවකයා මෙසේ තම ත්‍යාගශීලි බව අනුස්මරණය කරන්නේ ද එකල ඔහුට රාගයෙන් මඩින ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩින ලද සිතක් නොම වෙයි. මෝහයෙන් මඩින ලද සිතක් නොම වෙයි. එසමයෙහි ඔහුගේ සිත පංච කාම ගුණ කෙරෙහි ඇති ගිජු කමෙන් නික්මුණේ වෙයි, මිදුණේ වෙයි, නැගී සිටියේ වෙයි.
- මහණෙනි, මේ ත්‍යාගානුස්සතිය අරමුණු කොට ලොව ඇතැම් සත්වයෝ පිරිසිදු වෙති.
- මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා මෙසේ දෙවියන් අනුස්මරණය කරයි.
- චතුර්මහාරාජික දෙවියෝ ද සිටිති, තව්තිසා දෙවියෝ ද සිටිති, යාම දෙවියෝ ද සිටිති, තුසිත දෙවියෝ ද සිටිති, නිම්මානරති දෙවියෝ ද සිටිති, පරනිම්මිතවසවත්තියේ වාසය කරන දෙවියෝ ද සිටිති. බ්‍රහ්ම ලෝකයේ වසන බ්‍රහ්මයෝ ද සිටිති. ඉන් මත්තෙහි වසන දෙවියෝ ද සිටිති.
- තුනුරුවන් කෙරෙහි යම් බඳු ශ්‍රද්ධාවකින් යුක්ත ව මෙලොවින් චුත වී දෙව් ලොව උපදින්නේ ද, තුනුරුවන් කෙරෙහි එබඳු ශ්‍රද්ධාවක් මට ද ඇත.
- යම් බඳු සීලයකින් යුක්ත ව මෙලොවින් චුත වී දෙව් ලොව උපදින්නේ ද, එවැනි සීලයක් මට ද ඇත.
- යම් බඳු දහම් දැනුමකින් යුක්ත ව මෙලොවින් චුත වී දෙව් ලොව උපදින්නේ ද, එවැනි දහම් දැනුමක් මට ද ඇත.
- යම් බඳු පරිත්‍යාගයකින් (දන් දීමකින්) යුක්ත ව මෙලොවින් චුත වී දෙව් ලොව උපදින්නේ ද, එවැනි පරිත්‍යාගයක් මට ද ඇත.
- යම් බඳු වූ නුවණකින් (සම්මා දෘෂ්ටියකින්) යුක්ත ව මෙලොවින් චුත වී දෙව් ලොව උපදින්නේ ද, එවැනි නුවණක් මට ද ඇත.
- මෙසේ තමාගේ සහ දෙවියන්ගේ ශ්‍රද්ධාව, සීලය, දහම් දැනුම, පරිත්‍යාගය හා නුවණ ගැන සිහි කරන විට ඔහුගේ සිත පහදියි. සතුටට පත් වෙයි අකුසල් දුරු වී සිත පිරිසිදු වෙයි.
- මහණෙනි, යම් කලෙක ශ්‍රාවකයා මෙසේ තමාගේ සහ දෙවියන්ගේ ශ්‍රද්ධාව, සීලය, දහම් දැනුම, පරිත්‍යාගය හා නුවණ ගැන අනුස්මරණය කරන්නේ ද එකල ඔහුට රාගයෙන් මඩින ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩින ලද සිතක් නොම වෙයි. මෝහයෙන් මඩින ලද සිතක් නොම වෙයි. එසමයෙහි ඔහුගේ සිත පංච කාම ගුණ කෙරෙහි ඇති ගිජු කමෙන් නික්මුණේ වෙයි, මිදුණේ වෙයි, නැගී සිටියේ වෙයි.
- මහණෙනි, මේ දේවතානුස්සතිය අරමුණු කොට ලොව ඇතැම් සත්වයෝ පිරිසිදු වෙති.
- මහණෙනි, මේ අනුස්මරණය කළ යුතු ස්ථාන සය අරමුණු කොට ලොව ඇතැම් සත්වයෝ පිරිසිදු වෙති.
බාගත කිරීමට 