එක්කලෙක බුදු රජාණන් වහන්සේ කිඹුල්වත් පුර නීග්‍රෝධාරාමයෙහි වසන සේක. මහානාම ශාක්‍යයා පැමිණ බුදු රජාණන් වහන්සේට වැඳ එකත් පස් ව හිඳ මෙසේ ඇසුවේය.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ලැබූ මාර්ගඵල ඇති බුදු සසුන අවබෝධ කළ ආර්ය ශ්‍රාවකයෙක් කවර ලෙස බහුල ව වාසය කරන්නේ ද?
මහානාමයෙනි, යම් මාර්ගඵල ඇති බුදු සසුන අවබෝධ කළ ආර්ය ශ්‍රාවකයෙක් වේ නම් ඔහු මෙලෙස බහුල ව වාසය කරන්නේ වෙයි.
මහානාමයෙනි, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා මෙසේ තථාගතයන් වහන්සේ අනුස්මරණය කරන්නේ ද එකල ඔහුට රාගයෙන් මඩින ලද (යටත් කරන ලද) සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩින ලද සිතක් නොම වෙයි. මෝහයෙන් (මෝඩකමෙන්) මඩින ලද සිතක් නොම වෙයි. එසමයෙහි ඔහුගේ සිත තථාගතයන් අරබයා සෘජුගත ම වෙයි.
සෘජුගත සිතෙන් යුත් ආර්ය ශ්‍රාවකයා අර්ථය පිළිබඳ උනන්දුව ද ලබන්නේය, ධර්මය පිළිබඳ උනන්දුව ද ලබන්නේය, ධර්මය අවබෝධය හේතුවෙන් ප්‍රමෝදය ද ලබන්නේය. ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදින්නේය. ප්‍රීතිමත් සිත් ඇත්තහුගේ කය සන්සිඳෙන්නේය. සන්සිඳුණු කය ඇත්තේ සැප විඳින්නේය. සැප විඳින්නහුගේ සිත සමාධියට පත්වන්නේය.
මේ ආර්ය ශ්‍රාවකයා රාග, ද්වේෂ සහ මෝහ හේතුවෙන් විෂම ව හැසිරෙන පිරිස් අතර සම ව වාසය කරන්නේ, හිංසා කරන්නන් අතර අවිහිංසාවෙන් වාසය කරන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණ බුද්ධානුස්සතිය වඩන්නේ වෙයි.
මහානාමයෙනි, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා මෙසේ තථාගතයන් වහන්සේගේ ධර්මය අනුස්මරණය කරන්නේ ද එකල ඔහුට රාගයෙන් මඩින ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩින ලද සිතක් නොම වෙයි. මෝහයෙන් මඩින ලද සිතක් නොම වෙයි. එසමයෙහි ඔහුගේ සිත මෙසේ තථාගතයන් වහන්සේගේ ධර්මය අරබයා සෘජුගත ම වෙයි.
සෘජුගත සිතෙන් යුත් ආර්ය ශ්‍රාවකයා අර්ථය පිළිබඳ උනන්දුව ද ලබන්නේය, ධර්මය පිළිබඳ උනන්දුව ද ලබන්නේය, ධර්මය අවබෝධය හේතුවෙන් ප්‍රමෝදය ද ලබන්නේය. ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදින්නේය. ප්‍රීතිමත් සිත් ඇත්තහුගේ කය සන්සිඳෙන්නේය. සන්සිඳුණු කය ඇත්තේ සැප විඳින්නේය. සැප විඳින්නහුගේ සිත සමාධියට පත්වන්නේය.
මේ ආර්ය ශ්‍රාවකයා රාග, ද්වේෂ සහ මෝහ හේතුවෙන් විෂම ව හැසිරෙන පිරිස් අතර සම ව වාසය කරන්නේ, හිංසා කරන්නන් අතර අවිහිංසාවෙන් වාසය කරන්නේ, මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණ ධම්මානුස්සතිය වඩන්නේ වෙයි.
මහානාමයෙනි, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා මෙසේ තථාගතයන් වහන්සේගේ සංඝරත්නය අනුස්මරණය කරන්නේ ද එකල ඔහුට රාගයෙන් මඩින ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩින ලද සිතක් නොම වෙයි. මෝහයෙන් මඩින ලද සිතක් නොම වෙයි. එසමයෙහි ඔහුගේ සිත මෙසේ තථාගතයන් වහන්සේගේ සංඝරත්නය අරබයා සෘජුගත ම වෙයි.
සෘජුගත සිතෙන් යුත් ආර්ය ශ්‍රාවකයා අර්ථය පිළිබඳ උනන්දුව ද ලබන්නේය, ධර්මය පිළිබඳ උනන්දුව ද ලබන්නේය, ධර්මය අවබෝධය හේතුවෙන් ප්‍රමෝදය ද ලබන්නේය. ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදින්නේය. ප්‍රීතිමත් සිත් ඇත්තහුගේ කය සන්සිඳෙන්නේය. සන්සිඳුණු කය ඇත්තේ සැප විඳින්නේය. සැප විඳින්නහුගේ සිත සමාධියට පත්වන්නේය.
මේ ආර්ය ශ්‍රාවකයා රාග, ද්වේෂ සහ මෝහ හේතුවෙන් විෂම ව හැසිරෙන පිරිස් අතර සම ව වාසය කරන්නේ, හිංසා කරන්නන් අතර අවිහිංසාවෙන් වාසය කරන්නේ, මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණ සංඝානුස්සතිය වඩන්නේ වෙයි.
මහානාමයෙනි, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා මෙසේ තමාගේ සීලය අනුස්මරණය කරන්නේ ද එකල ඔහුට රාගයෙන් මඩින ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩින ලද සිතක් නොම වෙයි. මෝහයෙන් මඩින ලද සිතක් නොම වෙයි. එසමයෙහි ඔහුගේ සිත තම සීලය අරබයා සෘජුගත ම වෙයි.
සෘජුගත සිතෙන් යුත් ආර්ය ශ්‍රාවකයා අර්ථය පිළිබඳ උනන්දුව ද ලබන්නේය, ධර්මය පිළිබඳ උනන්දුව ද ලබන්නේය, ධර්මය අවබෝධය හේතුවෙන් ප්‍රමෝදය ද ලබන්නේය. ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදින්නේය. ප්‍රීතිමත් සිත් ඇත්තහුගේ කය සන්සිඳෙන්නේය. සන්සිඳුණු කය ඇත්තේ සැප විඳින්නේය. සැප විඳින්නහුගේ සිත සමාධියට පත්වන්නේය.
මේ ආර්ය ශ්‍රාවකයා රාග, ද්වේෂ සහ මෝහ හේතුවෙන් විෂම ව හැසිරෙන පිරිස් අතර සම ව වාසය කරන්නේය, හිංසා කරන්නන් අතර අවිහිංසාවෙන් වාසය කරන්නේය, මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණ සීලානුස්සතිය වඩන්නේ වෙයි.
මහානාමයෙනි, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා මෙසේ තමාගේ ත්‍යාගය අනුස්මරණය කරන්නේ ද එකල ඔහුට රාගයෙන් මඩින ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩින ලද සිතක් නොම වෙයි. මෝහයෙන් මඩින ලද සිතක් නොම වෙයි. එසමයෙහි ඔහුගේ සිත තම ත්‍යාගය අරබයා සෘජුගත ම වෙයි.
සෘජුගත සිතෙන් යුත් ආර්ය ශ්‍රාවකයා අර්ථය පිළිබඳ උනන්දුව ද ලබන්නේය, ධර්මය පිළිබඳ උනන්දුව ද ලබන්නේය, ධර්මය අවබෝධය හේතුවෙන් ප්‍රමෝදය ද ලබන්නේය. ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදින්නේය. ප්‍රීතිමත් සිත් ඇත්තහුගේ කය සන්සිඳෙන්නේය. සන්සිඳුණු කය ඇත්තේ සැප විඳින්නේය. සැප විඳින්නහුගේ සිත සමාධියට පත්වන්නේය.
මේ ආර්ය ශ්‍රාවකයා රාග, ද්වේෂ සහ මෝහ හේතුවෙන් විෂම ව හැසිරෙන පිරිස් අතර සම ව වාසය කරන්නේය, හිංසා කරන්නන් අතර අවිහිංසාවෙන් වාසය කරන්නේය, මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණ ත්‍යාගානුස්සතිය වඩන්නේ වෙයි.
මෙසේ තමාගේ සහ දෙවියන්ගේ ශ්‍රද්ධාව, සීලය, දහම් දැනුම, පරිත්‍යාගය හා නුවණ ගැන සිහි කරන්නේ ද එකල ඔහුට රාගයෙන් මඩින ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩින ලද සිතක් නොම වෙයි. මෝහයෙන් මඩින ලද සිතක් නොම වෙයි. එසමයෙහි ඔහුගේ සිත දෙවියන් අරබයා සෘජුගත ම වෙයි.
සෘජුගත සිතෙන් යුත් ආර්ය ශ්‍රාවකයා අර්ථය පිළිබඳ උනන්දුව ද ලබන්නේය, ධර්මය පිළිබඳ උනන්දුව ද ලබන්නේය, ධර්මය අවබෝධය හේතුවෙන් ප්‍රමෝදය ද ලබන්නේය. ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදින්නේය. ප්‍රීතිමත් සිත් ඇත්තහුගේ කය සන්සිඳෙන්නේය. සන්සිඳුණු කය ඇත්තේ සැප විඳින්නේය. සැප විඳින්නහුගේ සිත සමාධියට පත්වන්නේය.
මේ ආර්ය ශ්‍රාවකයා රාග, ද්වේෂ සහ මෝහ හේතුවෙන් විෂම ව හැසිරෙන පිරිස් අතර සම ව වාසය කරන්නේය, හිංසා කරන්නන් අතර අවිහිංසාවෙන් වාසය කරන්නේය, මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණ දේවතානුස්සතිය වඩන්නේ වෙයි.