Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

ප්‍රඥාවන්ත උපාසකයෙක් විසින්
ගිලන් වූ ප්‍රඥාවන්ත උපාසකයෙකුට
අවවාද කළ යුතු අන්දම

ගිලාන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුත්ත නිකාය 5 – ii - පිටු අංක 246 - 253)

හටගත් ආබාධ ඇති, දුකට පත් වූ, දැඩි සේ ගිලන් වූ ප්‍රඥාවන්ත උපාසකයෙකුට ප්‍රඥාවන්ත උපාසකයෙක් විසින් සතර සැනසිල්ලට හේතුවන මේ සතර දහමෙන් අස්වසනු ලැබිය යුතුය.

  1. මිතුර බය වෙන්න එපා. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණින් අරහත්ය, සම්මා සම්බුද්ධය, ත්‍රිවිද්‍යාවෙන් සහ මනා පිරිසිදු හැසිරීමකින් යුක්ත වූ සේක, සියලු කෙලෙස් නැසූ සේක, සියලු ලෝකයන් අවබෝධ කර ලෝක නිරෝධය ද ලොවට හෙළි කළ සේක, හික්මවිය යුතු පුරුෂයන් හික්මවීමෙහි අග්‍ර වූ සේක, සියලු දෙවි මිනිසුන්ට ශාස්තෘන් වන සේක, බුද්ධ වන සේක, භාග්‍යවත් වන සේක යැයි වෙනස් නොවන ඇදහීමක් බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඔබට ඇත.
  2. මිතුර බය වෙන්න එපා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මය රාග, ද්වේෂ හා මෝහ ප්‍රහාණය පිණිස මනා කොට දේශනා කර ඇත, මේ ජීවිතයේ දී ම ප්‍රතිඵල ලැබිය හැකිය, කල් නොයවා විපාක දෙන්නේය, ඇවිත් බලන්න යැයි කීමට සුදුසුය, තමා තුළට පමුණුවා ගත යුතුය, නුවණැත්තන් විසින් තම තමන්ගේ ම නැණ පමණින් අවබෝධ කර ගත යුතු යැයි වෙනස් නොවන ඇදහීමක් බුදු රජාණන් වහන්සේගේ සද්ධර්මය කෙරෙහි ඔබට ඇත.
  3. මිතුර බය වෙන්න එපා, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු පිරිස රාග, ද්වේෂ හා මෝහ ප්‍රහාණය පිණිස මනා ව බැස ගත්තෝය, ඇද නැති එනම් සෘජු මගට බැස ගත්තෝය, රාග, ද්වේෂ හා මෝහ ප්‍රහාණය පිණිස වූ න්‍යායෙහි බැස ගත්තෝය, නිවැරදි මගට බැස ගත්තෝය, සෝවාන් මාර්ග සහ ඵල, සකදාගාමි මාර්ග සහ ඵල, අනාගාමි මාර්ග සහ ඵල, අරහත් මාර්ග සහ ඵල වශයෙන් පුරුෂ යුගළ හතරක් හෙවත් පුද්ගලයන් අට දෙනෙක් වෙති. සිව්පසයෙන් පිදීමට සුදුසු ය, ආගන්තුක දානයෙන් පිදීමට සුදුසු ය, උතුමන්ට පිරිනමන දානයෙන් පිදීමට සුදුසු ය, දොහොත් මුදුන් දී වැඳීමට සුදුසු ය, ලෝකයාගේ උතුම් පින් කෙත වේ යැයි වෙනස් නොවෙන ඇදහීමක් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි ඔබට ඇත.
  4. මිතුර බය වෙන්න එපා, නොකැඩුණු, තැනින් තැන සිදුරු නොවූ, කැලැල් රහිත, නිර්මල, නිදහස්, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන, සිතින් දැඩි ලෙස නොගත්, සමාධිය පිණිස පවතින සීලයක් ඔබට ඇත.

ප්‍රඥාවන්ත උපාසකයා විසින් හටගත් ආබාධ ඇති, දුකට පත් වූ දැඩි සේ ගිලන් වූ ප්‍රඥාවන්ත උපාසකයා සතර සැනසිල්ලට හේතු වන මේ සතර දහමෙන් අස්වසනු ලැබ, නැවත ද මෙසේ ඇසිය යුතු වෙයි.

“ඔබට දෙමව්පියන් කෙරෙහි කැමැත්තක් තිබේ ද?”

ඔහු තමාට දෙමව්පියන් කෙරෙහි කැමැත්තක් ඇතැයි කියන්නේ නම්, “ඔබ ද මරණය ස්වභාව කොට ඇත්තෙකි. මිතුර, ඔබට දෙමව්පියන් කෙරෙහි කැමැත්තක් තිබුනත් මැරෙන්නේමය, දෙමව්පියන් කෙරෙහි කැමැත්තක් නොතිබුනත් මැරෙන්නේමය. එබැවින් දෙමව්පියන් කෙරෙහි කැමැත්තක් ඇත්නම් එය අත්හරින්න” යැයි කිය යුතුය.

එවිට ඔහු තමාට දෙමව්පියන් කෙරෙහි යම් කැමැත්තක් වී නම් එය දුරු වූ බව කියන්නේ නම් ප්‍රඥාවන්ත උපාසකයා විසින් නැවත ද මෙසේ ඇසිය යුතු වෙයි.

“ඔබට අඹු දරුවන් කෙරෙහි කැමැත්තක් තිබේ ද?”

ඔහු තමාට අඹු දරුවන් කෙරෙහි කැමැත්තක් ඇතැයි කියන්නේ නම්, “ඔබ ද මරණය ස්වභාව කොට ඇත්තෙකි. මිතුර, ඔබට අඹු දරුවන් කෙරෙහි කැමැත්තක් තිබුනත් මැරෙන්නේමය, අඹු දරුවන් කෙරෙහි කැමැත්තක් නොතිබුනත් මැරෙන්නේමය. එබැවින් අඹු දරුවන් කෙරෙහි කැමැත්තක් ඇත්නම් එය අත්හරින්න” යැයි කිය යුතුය.

එවිට ඔහු තමාට අඹු දරුවන් කෙරෙහි යම් කැමැත්තක් වී නම් එය දුරු වූ බව කියන්නේ නම් ප්‍රඥාවන්ත උපාසකයා විසින් නැවත ද මෙසේ ඇසිය යුතු වෙයි.

“ඔබට මිනිස් ලොව ඇති රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කෙරෙහි කැමැත්තක් තිබේ ද?”

ඔහු තමාට මිනිස් ලොව ඇති රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කෙරෙහි කැමැත්තක් ඇතැයි කියන්නේ නම් ප්‍රඥාවන්ත උපාසකයා විසින් නැවත ද මෙසේ කිව යුතු වෙයි.

“මිනිස් ලොව ඇති රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන කාමයන්ට වඩා දෙවියන්ගේ කාමයෝ ඉතා සිත්කලු ද ඉතා ප්‍රණීත ද වෙති. යහළුව, මේ මිනිස් ලොව කාමයන් කෙරෙහි සිත අතහැර චතුර්මහාරාජික දෙව්ලොව දෙවියන් කෙරෙහි සිත පිහිටුවන්න”.

එවිට ඔහු තමාට මිනිස් ලොව කාමයන් කෙරෙහි යම් කැමැත්තක් වී නම් එය දුරු වූ බවත්, චතුර්මහාරාජික දෙවියන් කෙරෙහි සිත බැඳුණු බවත් කියන්නේ නම් ප්‍රඥාවන්ත උපාසකයා විසින් නැවත ද මෙසේ කිව යුතු වෙයි.

“චතුර්මහාරාජික දෙවියන්ට වඩා තව්තිසා දෙවියන් ඉතා සිත්කලු ද ඉතා ප්‍රණීත ද වෙයි. යහළුව, චතුර්මහාරාජික දෙවියන් අතහැර තව්තිසා දෙවියන් කෙරෙහි සිත පිහිටුවන්න”

එවිට ඔහු තමාට චතුර්මහාරාජික දෙවියන් කෙරෙහි යම් කැමැත්තක් වී නම් එය දුරු වූ බවත්, තව්තිසා දෙවියන් කෙරෙහි සිත බැඳුණු බවත් කියන්නේ නම් ප්‍රඥාවන්ත උපාසකයා විසින් නැවත ද මෙසේ කිව යුතු වෙයි.

“තව්තිසා දෙවියන්ට වඩා යාම දෙවියන් ඉතා සිත්කලු ද ඉතා ප්‍රණීත ද වෙයි. යහළුව, මේ තව්තිසා දෙවියන් අතහැර යාම දෙවියන් කෙරෙහි සිත පිහිටුවන්න”.

එවිට ඔහු තමාට තව්තිසා දෙවියන් කෙරෙහි යම් කැමැත්තක් වී නම් එය දුරු වූ බවත්, යාම දෙවියන් කෙරෙහි සිත බැඳුණු බවත් කියන්නේ නම් ප්‍රඥාවන්ත උපාසකයා විසින් නැවත ද මෙසේ කිව යුතුය.

“යාම දෙවියන්ට වඩා තුසිත දෙවියන් ඉතා සිත්කලු ද ඉතා ප්‍රණීත ද වෙයි. යහළුව, යාම දෙවියන් අතහැර තුසිත දෙවියන් කෙරෙහි සිත පිහිටුවන්න”.

එවිට ඔහු තමාට යාම දෙවියන් කෙරෙහි යම් කැමැත්තක් වී නම් එය දුරු වූ බවත්, තුසිත දෙවියන් කෙරෙහි සිත බැඳුණු බවත් කියන්නේ නම් ප්‍රඥාවන්ත උපාසකයා විසින් නැවත ද මෙසේ කිව යුතු වෙයි.

“තුසිත දෙවියන්ට වඩා නිම්මාණරති දෙවියෝ ඉතා සිත්කලු ද ඉතා ප්‍රණීත ද වෙති. යහළුව, මේ තුසිත දෙවියන් අතහැර නිම්මාණරති දෙවියන් කෙරෙහි සිත පිහිටුවන්න”.

එවිට ඔහු තමාට තුසිත දෙවියන් කෙරෙහි යම් කැමැත්තක් වී නම් එය දුරු වූ බවත්, නිම්මාණරති දෙවියන් කෙරෙහි සිත බැඳුණු බවත් කියන්නේ නම් ප්‍රඥාවන්ත උපාසකයා විසින් නැවත ද මෙසේ කිව යුතු වෙයි.

“නිම්මාණරති දෙවියන්ට වඩා පරනිම්මිතවසවත්ති දෙවියන් ඉතා සිත්කලු ද ඉතා ප්‍රණීත ද වෙයි. යහළුව, මේ නිම්මාණරති දෙවියන් අතහැර පරනිම්මිතවසවත්ති දෙවියන් කෙරෙහි සිත පිහිටුවන්න”.

එවිට ඔහු තමාට නිම්මාණරති දෙවියන් කෙරෙහි යම් කැමැත්තක් වී නම් එය දුරු වූ බවත්, පරනිම්මිතවසවත්ති දෙවියන් කෙරෙහි සිත බැඳුණු බවත් කියන්නේ නම් ප්‍රඥාවන්ත උපාසකයා විසින් නැවත ද මෙසේ කිව යුතු වෙයි.

“පරනිම්මිතවසවත්ති දෙවියන්ට වඩා බ්‍රහ්ම ලෝකය ඉතා සිත්කලු ද ඉතා ප්‍රණීත ද වෙයි. යහළුව, මේ පරනිම්මිතවසවත්ති දෙව්ලොව අතහැර බ්‍රහ්ම ලෝකය කෙරෙහි සිත පිහිටුවන්න”.

ඔහු තමාට පරනිම්මිතවසවත්ති දෙවියන් කෙරෙහි යම් කැමැත්තක් වී නම් එය දුරු වූ බවත්, බ්‍රහ්ම ලෝකය කෙරෙහි සිත බැඳුණු බවත් කියන්නේ නම් ප්‍රඥාවන්ත උපාසකයා විසින් නැවත ද මෙසේ කිව යුතු වෙයි.

“බ්‍රහ්ම ලෝකය ද අනිත්‍යය, අස්ථිරය, පංච උපාදානස්කන්ධයට ම ඇතුළත් ය. යහළුව, බ්‍රහ්ම ලෝකය අතහැර පංච උපාදානස්කන්ධයේ නිරෝධය කෙරෙහි සිත පිහිටුවන්න”.

ඔහු තමාට බ්‍රහ්ම ලෝකය කෙරෙහි යම් කැමැත්තක් වී නම් එය දුරු වූ බවත්, පංච උපාදානස්කන්ධයේ නිරෝධය කෙරෙහි සිත මනා ව තබන ලද බවත් කියන්නේ නම්, මෙසේ මිදුණු සිත් ඇති උපාසකයාගේ සහ සියවසක් පුරා ම මිදුණු සිත් ඇති රහත් භික්ෂුවගේ විමුක්තිය අතර කිසි වෙනසක් නැත.


බාගත ​කිරීමට