Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

දුක් දොම්නස් නැති කරන නිවනට පමුණුවන මේ ධර්ම හය ඔබටත් තිබේ ද?

අනුත්තරිය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 72 - 81)

ඉතා ශ්‍රේෂ්ඨ ධර්ම සයෙකි. කවර සයක් ද යත්;

  1. දස්සනානුත්තරිය
  2. සවණානුත්තරිය
  3. ලාභානුත්තරිය
  4. සික්ඛානුත්තරිය
  5. පාරිචරියානුත්තරිය
  6. අනුස්සතානුත්තරිය වෙයි.
  1. දස්සනානුත්තරිය (ශ්‍රේෂ්ඨ ම දැකීම)
    මෙලොව යම් පුද්ගලයෙක් ඇතුන් දැකීමට ද යයි. අසුන් දැකීමට ද යයි. මැණික් දැකීමට ද යයි. කුදු මහත් දේ දැකීමට ද යයි. මිථ්‍යා දෘෂ්ටි ගත් වැරදි මාර්ගයේ ගමන් කරන මහණෙකු හෝ බමුණෙකු දැකීමට ද යයි. මෙම දැකීම් ඇත්තේමය. නැතැයි නොකියමි.
    මෙම දැකීම නීචය. පහත්ය. පෘථග්ජනය. උතුම් නොවෙයි. අර්ථ රහිතය. කලකිරීම පිණිස නොපවතියි. විරාගය පිණිස නොපවතියි. නිරෝධය පිණිස නොපවතියි. සංසිඳීම පිණිස නොපවතියි. මනා දැනීම පිණිස නොපවතියි. මනා අවබෝධය පිණිස නොපවතියි. නිවන පිණිස නොපවතියි.
    යම් පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් ප්‍රේමයෙන් ඒකාන්තයට ගියා වූ අතිශය පැහැදීමෙන් යුතු ව, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු දැකීම සඳහා යන්නේ නම් එය ඔහුගේ පිරිසිදු භාවය පිණිස, ශෝක පරිදේවයන් ඉක්මවනු පිණිස, දුක් දොම්නස් නැති කිරීම පිණිස, සත්‍ය අවබෝධය පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස පවතියි. එබැවින් මෙය ශ්‍රේෂ්ඨ ම දැකීම (දස්සනානුත්තරිය) යැයි කියනු ලැබෙයි.
  2. සවණානුත්තරිය (ශ්‍රේෂ්ඨ ම ඇසීම)
    මෙලොව යම් පුද්ගලයෙක් බෙර හඬ ඇසීමට ද යයි. වීණා හඬ ඇසීමට ද යයි. ගී හඬ ඇසීමට ද යයි. කුදු මහත් හඬ ඇසීමට ද යයි. මිථ්‍යා දෘෂ්ටි ගත් වැරදි මාර්ගයේ ගමන් කරන මහණෙකුගේ හෝ බමුණෙකුගේ ධර්මය ඇසීමට ද යයි. මෙම ඇසීම් ඇත්තේමය. නැතැයි නොකියමි.
    මෙම ඇසීම නීචය. පහත්ය. පෘථග්ජනය. උතුම් නොවෙයි. අර්ථ රහිතය. කලකිරීම පිණිස නොපවතියි. විරාගය පිණිස නොපවතියි. නිරෝධය පිණිස නොපවතියි. සංසිඳීම පිණිස නොපවතියි.
    මනා දැනීම පිණිස නොපවතියි. මනා අවබෝධය පිණිස නොපවතියි. නිවන පිණිස නොපවතියි.
    යම් පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් ප්‍රේමයෙන් ඒකාන්තයට ගියා වූ අතිශය පැහැදීමෙන් යුතු ව, තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයෙකුගේ ධර්මය ඇසීමට යයි නම්, එය ඔහුගේ පිරිසිදු භාවය පිණිස, ශෝක පරිදේවයන් ඉක්මවනු පිණිස, දුක් දොම්නස් නැති කිරීම පිණිස, සත්‍ය අවබෝධය පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස පවතියි. එබැවින් මෙය ශ්‍රේෂ්ඨ ම ඇසීම (සවණානුත්තරිය) යැයි කියනු ලැබෙයි.
  3. ලාභානුත්තරිය (ශ්‍රේෂ්ඨ ම ලාභය)
    මෙලොව යම් පුද්ගලයෙක් දරු ලාභ ද ලබයි. භාර්යා ලාභ ද ලබයි. ධන ලාභ ද ලබයි. කුදු මහත් ලාභ ද ලබයි. මිථ්‍යා දෘෂ්ටි ගත් වැරදි මාර්ගයේ ගමන් කරන මහණෙකු හෝ බමුණෙකු කෙරෙහි ශ්‍රද්ධා ලාභ ද ලබයි. මෙම ලාභ ඇත්තේමය. නැතැයි නොකියමි.
    මෙම ලාභ නීචය. පහත්ය. පෘථග්ජනය. උතුම් නොවෙයි. අර්ථ රහිතය. කලකිරීම පිණිස නොපවතියි. විරාගය පිණිස නොපවතියි. නිරෝධය පිණිස නොපවතියි. සංසිඳීම පිණිස නොපවතියි. මනා දැනීම පිණිස නොපවතියි. මනා අවබෝධය පිණිස නොපවතියි. නිවන පිණිස නොපවතියි.
    යම් පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් ප්‍රේමයෙන් ඒකාන්තයට ගියා වූ අතිශය පැහැදීමෙන් යුතු ව, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු කෙරෙහි ශ්‍රද්ධාව ලබයි නම්, මේ ශ්‍රද්ධාව ඔහුගේ පිරිසිදු භාවය පිණිස, ශෝක පරිදේවයන් ඉක්මවනු පිණිස, දුක් දොම්නස් නැති කිරීම පිණිස, සත්‍ය අවබෝධය පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස පවතියි. එබැවින් මෙය ශ්‍රේෂ්ඨ ම ලාභය (ලාභානුත්තරිය) යැයි කියනු ලැබෙයි.
  4. සික්ඛානුත්තරිය (ශ්‍රේෂ්ඨ ම හික්මීම)
    මෙලොව යම් පුද්ගලයෙක් ඇත් ශිල්පයෙහි ද හික්මෙයි. අශ්ව ශිල්පයෙහි ද හික්මෙයි. රථ ශිල්පයෙහි ද හික්මෙයි. දුනු ශිල්පයෙහි ද හික්මෙයි. කඩු ශිල්පයෙහි ද හික්මෙයි. කුදු මහත් ශිල්පයන්හි ද හික්මෙයි. මිථ්‍යා දෘෂ්ටි ගත් වැරදි මාර්ගයේ ගමන් කරන මහණෙකු හෝ බමුණෙකු අනුව ද හික්මෙයි. මෙම හික්මීම් ඇත්තේ ම ය. නැතැයි නොකියමි.
    මෙම හික්මීම් නීචය. පහත්ය. පෘථග්ජනය. උතුම් නොවෙයි. අර්ථ රහිතය. කලකිරීම පිණිස නොපවතියි. විරාගය පිණිස නොපවතියි. නිරෝධය පිණිස නොපවතියි. සංසිඳීම පිණිස නොපවතියි. මනා දැනීම පිණිස නොපවතියි. මනා අවබෝධය පිණිස නොපවතියි. නිවන පිණිස නොපවතියි.
    යම් පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් ප්‍රේමයෙන් ඒකාන්තයට ගියා වූ අතිශය පැහැදීමෙන් යුතු ව, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු ප්‍රකාශ කළ ධර්ම විනය තුළ අධිශීලයේ හික්මෙයි. අධිචිත්තයේ හික්මෙයි. අධිප්‍රඥාවේ හික්මෙයි. මේ හික්මීම ඔහුගේ පිරිසිදු භාවය පිණිස, ශෝක පරිදේවයන් ඉක්මවනු පිණිස, දුක් දොම්නස් නැති කිරීම පිණිස, සත්‍ය අවබෝධය පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස පවතියි. එබැවින් මේ හික්මීම හික්මීම් අතුරින් ශ්‍රේෂ්ඨ ම හික්මීම (සික්ඛානුත්තරිය) යැයි කියනු ලැබෙයි.
  5. පාරිචරියානුත්තරිය (ශ්‍රේෂ්ඨ ම සේවය)
    මෙලොව යම් පුද්ගලයෙක් රජෙකුට ද සේවය කරයි. බමුණෙකුට ද සේවය කරයි. ගෘහපතියෙකුට ද සේවය කරයි. කුදු මහත් පුද්ගලයන්ට ද සේවය කරයි. මිථ්‍යා දෘෂ්ටි ගත් වැරදි මාර්ගයේ ගමන් කරන මහණෙකුට හෝ බමුණෙකුට ද සේවය කරයි. මෙම සේවය කිරීම් ඇත්තේ ම ය. නැතැයි නොකියමි.
    මෙම සේවය කිරීම් නීචය. පහත්ය. පෘථග්ජනය. උතුම් නොවෙයි. අර්ථ රහිතය. කලකිරීම පිණිස නොපවතියි. විරාගය පිණිස නොපවතියි. නිරෝධය පිණිස නොපවතියි. සංසිඳීම පිණිස නොපවතියි. මනා දැනීම පිණිස නොපවතියි. මනා අවබෝධය පිණිස නොපවතියි. නිවන පිණිස නොපවතියි.
    යම් පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් ප්‍රේමයෙන් ඒකාන්තයට ගියා වූ අතිශය පැහැදීමෙන් යුතු ව, තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයෙකුට සේවය කෙරේ නම්, එය ඔහුගේ පිරිසිදු භාවය පිණිස, ශෝක පරිදේවයන් ඉක්මවනු පිණිස, දුක් දොම්නස් නැති කිරීම පිණිස, සත්‍ය අවබෝධය පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස පවතියි. එබැවින් මේ සේවය කිරීම, සේවය කිරීම් අතුරින් ශ්‍රේෂ්ඨ ම සේවය කිරීම (පාරිචරියානුත්තරිය) යැයි කියනු ලැබෙයි.
  6. අනුස්සතානුත්තරිය (ශ්‍රේෂ්ඨ ම සිහිකිරීම)
    මෙලොව යම් පුද්ගලයෙක් දරු ලාභය ද සිහි කරයි. භාර්යා ලාභය ද සිහි කරයි. ධන ලාභය ද සිහි කරයි. කුදු මහත් ලාභය ද සිහි කරයි. මිථ්‍යා දෘෂ්ටි ගත් වැරදි මාර්ගයේ ගමන් කරන මහණෙකු හෝ බමුණෙකු ද සිහි කරයි. මෙම සිහි කිරීම් ඇත්තේ ම ය. නැතැයි නොකියමි.
    මෙම සිහි කිරීම් නීචය. පහත්ය. පෘථග්ජනය. උතුම් නොවෙයි. අර්ථ රහිතය. කලකිරීම පිණිස නොපවතියි. විරාගය පිණිස නොපවතියි. නිරෝධය පිණිස නොපවතියි. සංසිඳීම පිණිස නොපවතියි. මනා දැනීම පිණිස නොපවතියි. මනා අවබෝධය පිණිස නොපවතියි. නිවන පිණිස නොපවතියි.
    යම් පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් ප්‍රේමයෙන් ඒකාන්තයට ගියා වූ අතිශය පැහැදීමෙන් යුතු ව, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු නැවත නැවත සිහි කෙරේ නම් එය ඔහුගේ පිරිසිදු භාවය පිණිස, ශෝක පරිදේවයන් ඉක්මවනු පිණිස, දුක් දොම්නස් නැති කිරීම පිණිස, සත්‍ය අවබෝධය පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස පවතියි. එබැවින් මේ සිහි කිරීම, සිහි කිරීම් අතුරින් ශ්‍රේෂ්ඨ ම සිහි කිරීම (අනුස්සතානුත්තරිය) යැයි කියනු ලැබෙයි.
    යම් පුද්ගලයෙක්, දස්සනානුත්තරිය හා සවණානුත්තරිය ලබා ලාභානුත්තරියට පැමිණ, සික්ඛානුත්තරියේ සිත් අලවා පාරිචරියානුත්තරියේ යෙදේ ද, විවේකයෙන් යුතු වූ ශාන්ත වූ නිවන කරා යනසුලු වූ අනුස්සතානුත්තරිය වඩා ද, අප්‍රමාදයෙහි සතුටු වී, සිල්වත් වී ඔහු සියලු දුක නිරුද්ධ වන නිවන වෙත නිසි කල පැමිණෙයි.

බාගත ​කිරීමට