තමන්ට සහ අනුන්ට වැඩදායී යහපත් උපාසකයෙකු වීමට
මහානාම සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5 - පිටු අංක 120 - 123)
එකල භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු පුර නිග්‍රෝධාරාමයේ වැඩ වසන සේක. මහානාම ශාක්‍ය තෙම බුදු රජාණන් වහන්සේට වැඳ එකත් පස්* ව හිඳ මෙසේ ඇසුවේය.
“භාග්‍යවතුන් වහන්ස, කෙසේ උපාසකයෙක් වේ ද?”
“යම් දිනක පටන් බුදුන් සරණ ගියේ ද, දහම් සරණ ගියේ ද, සඟුන් සරණ ගියේ ද, මෙසේ උපාසකයෙක් වෙයි”.
“භාග්‍යවතුන් වහන්ස, කොපමණකින් උපාසකයා සිල්වත් වේ ද?”
“යම් දිනක පටන් උපාසක තෙම,
- ප්‍රාණඝාතයෙන් වැළකුණේ ද,
- සොරකමින් වැළකුණේ ද,
- කාමය වරදවා හැසිරීමෙන් වැළකුණේ ද,
- බොරු කීමෙන් වැළකුණේ ද,
- මත්පැන් පානයෙන් වැළකුණේ ද,
මෙපමණකින් උපාසකයා සිල්වත් වෙයි”.
“භාග්‍යවතුන් වහන්ස, කොපමණකින් උපාසකයා තමන්ගේ යහපත පිණිස කටයුතු කරන නමුත් අනුන්ගේ යහපත පිණිස කටයුතු නොකරයි ද?”
“මහානාමය, යම් දිනක පටන් උපාසක තෙම,
- ශ්‍රද්ධාවන්ත නමුත් අන් අය ශ්‍රද්ධාවත් බවෙහි සමාදන් නොකරවා ද,
- සිල්වත් නමුත් අන් අය සිල්වත් බවෙහි සමාදන් නොකරවා ද,
- ත්‍යාගශීලී නමුත් අන් අය ත්‍යාගශීලී බවෙහි සමාදන් නොකරවා ද,
- භික්ෂූන් දැකීමට කැමති නමුත් අන් අය භික්ෂූන් දැකීමෙහි සමාදන් නොකරවා ද,
- දහම් අසනු කැමති නමුත් අන් අය දහම් ඇසීමෙහි සමාදන් නොකරවා ද,
- දහම් දරන නමුත් අන් අය දහම් දැරීමෙහි සමාදන් නොකරවා ද,
- දැරූ දහම්හි අර්ථය පරීක්‍ෂා කරන නමුත් අන් අය අර්ථ පරීක්‍ෂා කිරීමෙහි සමාදන් නොකරවා ද,
- අර්ථ දැන, දහම් දැන, ධර්ම මාර්ගයේ යෙදෙන නමුත් අන් අය ධර්ම මාර්ගයේ යෙදීමට සමාදන් නොකරවා ද,
මෙසේ උපාසකයා තමන්ගේ යහපත පිණිස කටයුතු කරන නමුත් අනුන්ගේ යහපත පිණිස කටයුතු නොකරයි”.
“භාග්‍යවතුන් වහන්ස, කොපමණකින් උපාසක තෙම තමන්ට යහපත පිණිසත්, අනුන්ට යහපත පිණිසත් කටයුතු කරයි ද?”
“යම් දිනක පටන් උපාසක තෙම,
- ශ්‍රද්ධාවන්ත වී, අන් අය ද ශ්‍රද්ධාවත් බවෙහි සමාදන් කරවා ද,
- සිල්වත් වී, අන් අය ද සිල්වත් බවෙහි සමාදන් කරවා ද,
- ත්‍යාගශීලී වී, අන් අය ද ත්‍යාගශීලී බවෙහි සමාදන් කරවා ද,
- භික්ෂූන් දැකීමට කැමති වී, අන් අය ද භික්ෂූන් දැකීමෙහි සමාදන් කරවා ද,
- දහම් අසනු කැමති වී, අන් අය ද දහම් ඇසීමෙහි සමාදන් කරවා ද,
- දහම් දරනුයේ, අන් අය ද දහම් දැරීමෙහි සමාදන් කරවා ද,
- දැරූ දහම්හි අර්ථය පරීක්‍ෂා කරනුයේ, අන් අය ද අර්ථ පරීක්‍ෂා කිරීමෙහි සමාදන් කරවා ද,
- අර්ථ දැන, දහම් දැන, ධර්ම මාර්ගයේ යෙදෙනුයේ, අන් අය ද ධර්ම මාර්ගයේ යෙදීමට සමාදන් කරවා ද,
මෙසේ උපාසකයා තමන්ගේ යහපත පිණිස හා අනුන්ගේ යහපත පිණිස කටයුතු කරයි”.
* එකත් පස් ව හිඳීම යනු;
උත්තමයෙකුට ගෞරව පිණිස පමණට වඩා දුරින් ද, පමණට වඩා ළඟින් ද, කෙලින් ම මුහුණට මුහුණ ලා ද, කෙළින් ම පිටුපසට වී ද, වඩා උස් තැනක ද, වඩා පහත් තැනක ද නොසිට සුදුසු පරිදි එක පැත්තකට වී ඉඳගැනීම.
බාගත කිරීමට 