Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

චතුරාර්ය සත්‍ය නොදන්නා භික්ෂුව
සුළඟේ පාවෙන පුළුන් මෙන් තැන තැන විසිරී යයි
චතුරාර්ය සත්‍ය දන්නා භික්ෂුව
යකඩ කණුවක් මෙන් නිසල වෙයි

ඉන්දඛීල සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුත්ත නිකාය 5 - ii – පිටු අංක 302 - 303)

මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක්

මේ දුක යැයි තතු සේ නොදනිත් ද,

මේ දුකට හේතුව යැයි තතු සේ නොදනිත් ද,

මේ දුකෙහි නිරෝධය යැයි තතු සේ නොදනිත් ද,

මේ දුක නිරෝධ කරන පිළිවෙත යැයි තතු සේ නොදනිත් ද,

ඔහු අන් මහණෙකුගේ හෝ අන් බමුණෙකුගේ අදහස මෙසේ සොයා බලත්, ‘මේ පින්වතා දැනගත යුතු දේ දනියි, දැකිය යුතු දේ දකියි’ යනුවෙනි.

මහණෙනි, යම් සේ සම බිමක තබන ලද සැහැල්ලු කපු පුළුන් රොදක් වේ ද එය නැගෙනහිර වාතයෙන් බටහිරට ද, බටහිර වාතයෙන් නැගෙනහිරට ද, උතුරු වාතයෙන් දකුණට ද, දකුණු වාතයෙන් උතුරට ද ගෙන යන්නේය. ඒ කවර හෙයින් ද යත් කපු පුළුන් වන බැවිනි.

එසේ ම මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක්,

මේ දුක යැයි තතු සේ නොදනිත් ද,

මේ දුකට හේතුව යැයි තතු සේ නොදනිත් ද,

මේ දුකෙහි නිරෝධය යැයි තතු සේ නොදනිත් ද,

මේ දුක නිරෝධ කරන පිළිවෙත යැයි තතු සේ නොදනිත් ද,

අන් මහණෙකුගේ හෝ අන් බමුණෙකුගේ අදහස මෙසේ සොයා බලත්. ‘මේ පින්වතා දැනගත යුතු දේ දනියි, දැකිය යුතු දේ දකියි’ යනුවෙනි. ඒ කවර හෙයින් ද යත් චතුරාර්ය සත්‍ය නොදුටු බැවිනි.

මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක්,

මේ දුක යැයි තතු සේ දනිත් ද,

මේ දුකට හේතුව යැයි තතු සේ දනිත් ද,

මේ දුකෙහි නිරෝධය යැයි තතු සේ දනිත් ද,

මේ දුක නිරෝධ කරන පිළිවෙත යැයි තතු සේ දනිත් ද,

ඔහු අන් මහණෙකුගේ හෝ අන් බමුණෙකුගේ අදහස මෙසේ සොයා නොබලත්. ‘මේ පින්වතා දැනගත යුතු දේ දනියි, දැකිය යුතු දේ දකියි’ යනුවෙනි.

මහණෙනි, යම් සේ ගැඹුරු වළක් හාරා මනා ව සිටුවන ලද නොසෙල්වෙන, නිසල යකඩ කණුවක් වේ ද එය නැගෙනහිර දිශාවෙන් හමන මහත් වූ දරුණු කුනාටුවකින්වත් නොසෙලවෙන්නේය, නොසැලෙන්නේය.

බටහිරෙන් හමන මහත් වූ කුනාටුවකින්වත් නොසෙලවෙන්නේය, නොසැලෙන්නේය.

උතුරෙන් හමන මහත් වූ කුනාටුවකින්වත් නොසෙලවෙන්නේය, නොසැලෙන්නේය.

දකුණෙන් හමන මහත් වූ කුනාටුවකින්වත් නොසෙලවෙන්නේය, නොසැලෙන්නේය.

ඒ කවර හෙයින් ද යත් යකඩ කණුව මනා ව සිටුවන ලද බැවිනි.

එසේ ම මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක්,

මේ දුක යැයි තතු සේ දනිත් ද,

මේ දුකට හේතුව යැයි තතු සේ දනිත් ද,

මේ දුකෙහි නිරෝධය යැයි තතු සේ දනිත් ද,

මේ දුක නිරෝධ කරන පිළිවෙත යැයි තතු සේ දනිත් ද,

අන් මහණකුගේ හෝ අන් බමුණෙකුගේ අදහස මෙසේ සොයා නොබලත්. ‘මේ පින්වතා දැනගත යුතු දේ දනියි, දැකිය යුතු දේ දකියි’ යනුවෙන් අදහස් සොයා නොබලත්. ඒ කවර හෙයින් ද යත් චතුරාර්ය සත්‍ය මනා ලෙස ම දන්නා ලද බැවිනි.

කවර චතුරාර්ය සත්‍යයක් ද යත්;

දුක්ඛ ආර්ය සත්‍යය

දුක්ඛ සමුදය ආර්ය සත්‍යය

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය සහ

දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය වෙයි.

එම නිසා මහණෙනි, මේ දුක යැයි අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුය. මේ දුකට හේතුව යැයි අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුය. මේ දුකෙහි නිරෝධය යැයි අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුය. මේ දුක නිරෝධ කරන පිළිවෙත යැයි අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුය.


බාගත ​කිරීමට