එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අස්සපුර නම් නියම් ගමෙහි වැඩ වසන සේක. එහි දී භික්ෂූන් උදෙසා මෙය වදාළ සේක.
මහණෙනි, මහජනයා ‘භික්ෂූන්ය, භික්ෂූන්ය’ යැයි තොප හඳුනා ගනිති. තොප ද තොප කවුරු දැයි ඇසූ විට “අපි භික්ෂූන් වෙමු” යි ප්‍රතිඥා කරන්නෝය. මෙසේ භික්ෂූන් යැයි හඳුනා ගැනීම් සහිත, භික්ෂූන් ලෙස ප්‍රතිඥා කරන තොප භික්ෂූන්ට සුදුසු යම් සාමීචිපටිපදාවක් (රාග, ද්වේෂ සහ මෝහ ප්‍රහාණය සඳහා වූ නිවැරදි මගට පැමිණීමක්) ඇත්තේ ද එම පිළිවෙතේ යෙදිය යුතු වෙයි. මෙසේ සාමීචිපටිපදාවේ යෙදෙත් නම් භික්ෂූන් යැයි හඳුනා ගැනීම ද භික්ෂූන් ලෙස ප්‍රතිඥා කිරීම ද සත්‍යයක් ම වන්නේය. ‘අප යම් කෙනෙකු විසින් දෙනු ලබන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝජනය කරන්නේ නම් අපට කරන ඒ සත්කාරය ඔවුන්ට මහත්ඵල මහානිසංස වන්නේය. අපගේ මේ භික්ෂු භාවය හිස් නොවන්නේය. ප්‍රතිඵල සහිත ද වන්නේය’. මතු සුව ගෙන දීම ද වන්නේය. එබැවින් තොප මෙසේ ම හික්මිය යුතු වෙයි.
මහණෙනි, කෙසේ නම් භික්ෂුව භික්ෂු සාමීචිපටිපදාවෙහි නොපිළිපන්නේ වේ ද යත්;
මහණෙනි, අපායේ ඉපදීමට හේතු වන දුගතියෙහි දුක් විඳීමට හේතු වන මේ භික්ෂුවකගේ කිලුට, භික්ෂුවකගේ දෝෂය, භික්ෂුවකගේ නීච අපවිත්‍ර ස්වභාවය ප්‍රහාණය නොකළ මහණ, භික්ෂු සාමීචිපටිපදාවට නොපිළිපන්නේ වෙයි.
දෙපැත්ත ම මුවහත ඇති, පණ පොවා මුවහත තැබූ තියුණු ආයුධයක් සඞ්ඝාටියෙන් (දෙපොට සිවුරෙන්) වසන ලද්දේ වේ ද වෙළන ලද්දේ වේ ද මෙබඳු මහණගේ භික්ෂුභාවය එබඳු වේ යැයි කියමි.
මහණෙනි, මම සඞ්ඝාටි සිවුරු දරන්නාගේ භික්ෂු භාවය සඞ්ඝාටි සිවුරු දැරීම් පමණින් නොවදාරමි.
මහණෙනි, සඞ්ඝාටි සිවුරු දැරීම් පමණින් දැඩි ලෝභයෙන් යුත් තැනැත්තාගේ දැඩි ලෝභය නැති වේ නම්, ව්‍යාපාද සිතෙන් යුත් තැනැත්තාගේ ව්‍යාපාදය නැති වේ නම්, ක්‍රෝධ කරන තැනැත්තාගේ ක්‍රෝධය නැති වේ නම්, බද්ධ වෛරයෙන් යුත් තැනැත්තාගේ බද්ධ වෛරය නැති වේ නම්, ගුණමකු බවෙන් යුත් තැනැත්තාගේ ගුණමකු බව නැති වේ නම්, යුගග්‍රාහයෙන් යුත් තැනැත්තාගේ යුගග්‍රාහය නැති වේ නම්, ඊර්ෂ්‍යාවෙන් යුත් තැනැත්තාගේ ඊර්ෂ්‍යාව නැති වේ නම්, මසුරුකමින් යුත් තැනැත්තාගේ මසුරුකම නැති වේ නම්, කෛරාටිකකමින් යුත් තැනැත්තාගේ කෛරාටිකකම නැති වේ නම්, මායාවෙන් යුත් තැනැත්තාගේ මායාව නැති වේ නම්, පාපී ආශාවෙන් යුත් තැනැත්තාගේ පාපී ආශාව නැති වේ නම්, මිථ්‍යා දෘෂ්ටියෙන් යුත් තැනැත්තාගේ මිථ්‍යා දෘෂ්ටිය නැති වේ නම්, ඔහුගේ ඥාති හිත මිතුරෝ ඔහු උපන් දවසේ ම සඞ්ඝාටි සිවුරු දැරීමෙහි සමාදන් කරවන්නෝය.
ඒ කෙසේ ද යත්; යහපත් තැනැත්ත මෙහි එව. නුඹ මේ සඞ්ඝාටි සිවුරු දැරිය යුතුය. සඞ්ඝාටි සිවුරු දැරීමෙන් දැඩි ලෝභයෙන් යුත් නුඹගේ දැඩි ලෝභය පහවන්නේය. ව්‍යාපාද සිතෙන් යුත් නුඹගේ ව්‍යාපාදය පහවන්නේය. ක්‍රෝධ කරන නුඹගේ ක්‍රෝධය පහ වන්නේය. බද්ධ වෛරයෙන් යුත් නුඹගේ බද්ධ වෛරය පහ වන්නේය. ගුණමකු බවෙන් යුත් නුඹගේ ගුණමකු බව පහ වන්නේය. යුගග්‍රාහයෙන් යුත් නුඹගේ යුගග්‍රාහය පහ වන්නේය. ඊර්ෂ්‍යාවෙන් යුත් නුඹගේ ඊර්ෂ්‍යාව පහ වන්නේය. මසුරුකමින් යුත් නුඹගේ මසුරුකම පහ වන්නේය. කෛරාටිකකමින් යුත් නුඹගේ කෛරාටිකකම පහ වන්නේය. මායාවෙන් යුත් නුඹගේ මායාව පහ වන්නේය. පාපී ආශාවෙන් යුත් නුඹගේ පාපී ආශාව පහ වන්නේය. මිථ්‍යා දෘෂ්ටියෙන් යුත් නුඹගේ මිථ්‍යා දෘෂ්ටිය පහ වන්නේය.
මහණෙනි, මම සඞ්ඝාටි සිවුරු දරන දැඩි ලෝභයෙන් යුතු, ව්‍යාපාද සිතෙන් යුතු, ක්‍රෝධයෙන් යුතු, බද්ධ වෛරයෙන් යුතු, ගුණමකු බවෙන් යුතු, යුගග්‍රාහයෙන් යුතු, ඊර්ෂ්‍යාවෙන් යුතු, මසුරුකමින් කෛරාටිකකමින් යුතු, මායාවෙන් යුතු, පාපී ආශාවෙන් යුතු සහ මිථ්‍යා දෘෂ්ටියෙන් යුතු කෙනෙකු දක්නෙමි. එබැවින් සඞ්ඝාටි සිවුරු දරන්නාගේ භික්ෂු භාවය සඞ්ඝාටි සිවුරු දැරීම් පමණින් නොවදාරමි.
මහණෙනි, කෙසේ නම් භික්ෂුව භික්ෂු සාමීචිපටිපදාවෙහි යෙදෙන්නේ ද යත්;
මහණෙනි, අපායේ ඉපදීමට හේතු වන දුගතියෙහි දුක් විඳීමට හේතු වන මේ භික්ෂුවකගේ කිලුට, භික්ෂුවකගේ දෝෂය, භික්ෂුවකගේ නීච අපවිත්‍ර ස්වභාවය ප්‍රහාණය කළ මහණ, භික්ෂු සාමීචිපටිපදාවට පිළිපන්නේ වෙයි.
හෙතෙම මේ සියලු ලාමක අකුසලයන්ගෙන් තමා පිරිසිදු බව දකියි. මෙසේ ලාමක අකුසලයන්ගෙන් තමා පිරිසිදු බව දැක්මෙන් ප්‍රමෝදය හටගනියි. ප්‍රමෝදමත් වූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීතිමත් වූවහුගේ කය සංසිඳෙයි. කය සන්සිඳුණහු සැප විඳිති. සැප සහගතවූවහුගේ සිත සමාධිගත වෙයි.
ඔහු සතර බ්‍රහ්ම විහරණ වන මෙත්තාව, මුදිතාව, කරුණාව සහ උපේක්ෂාව සෑම දිශාවකට ම පතුරවා ගෙන වාසය කෙරෙයි. ඔහු කුමන කුලයෙන් සසුනට පැමිණ පැවිදි වුව ද මෙත්තාව, මුදිතාව, කරුණාව සහ උපේක්ෂාව වඩා ගෙන සංසිඳීම ලබයි. තමා තුළ සංසිඳීමෙන් භික්ෂු සාමීචිපටිපදාවට පිළිපන්නේ යැයි කියමි.
එසේ ම ඔහු කුමන කුලයෙන් සසුනට පැමිණ පැවිදි වුව ද හෙතෙම ආස්‍රව නැති කිරීමෙන් අනාස්‍රව වූ චිත්ත විමුක්තිය ද ප්‍රඥා විමුක්තිය ද මේ ජීවිතයේ දී ම සාක්ෂාත් කොට වාසය කෙරෙයි.
ආස්‍රව නැති කිරීම හේතුවෙන් ‘ශ්‍රමණ’ නම් වෙයි.