මහණෙනි, යම් බලවත් පුරුෂයෙක් හිසින් අල්ලා ගෙන හෝ කඳින් අල්ලා ගෙන රත් වූ ගිනියම් වූ ගිනිදැල් සහිත වූ යකඩ ඇඳක හෝ යකඩ පුටුවක බලෙන් හිඳුවයි නම් බලෙන් නිදි කරවයි නම්, එය හෝ රජ මහාසාරයන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවෙන් දෙන ඇඳ පුටු පරිහරණය කෙරෙයි නම් මේ දෙකෙන් කුමක් වඩා උතුම් ද?
ස්වාමීනි, රජ මහාසාරයන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවෙන් දෙන ඇඳ පුටු පරිහරණය කෙරෙයි නම් එය ම උතුම් වෙයි.
යම් බලවත් පුරුෂයෙක්, හිසින් අල්ලා ගෙන හෝ කඳින් අල්ලා ගෙන රත් වූ ගිනියම් වූ ගිනිදැල් සහිත වූ යකඩ ඇඳක හෝ යකඩ පුටුවක බලෙන් හිඳුවයි නම් බලෙන් නිදි කරවයි නම් එය මහත් දුකක් ම ය.
මහණෙනි, මම තොපට ප්‍රකාශ කරමි. කරුණු දක්වා කියමි. දුස්සීල වූ, පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ දුස්සීලයා හට බලවත් පුරුෂයෙක් හිසින් අල්ලා ගෙන හෝ කඳින් අල්ලා ගෙන රත් වූ ගිනියම් වූ ගිනිදැල් සහිත යකඩ ඇඳක හෝ පුටුවක බලෙන් හිඳුවයි නම්, බලෙන් නිදි කරවයි නම් එය ම උතුම් වෙයි.
ඒ කවර හෙයින් ද යත්;
එය හේතු කොට ගෙන ඔහුට මරණය හෝ ඒ හා සමාන දුකක් වන්නේ ය. ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුර්ගතිය නම් වූ, නපුරු වැටීමක් වූ නිරයට නම් නොපැමිණෙන්නේ ය.
එ නමුත් දුස්සීල වූ, පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ දුස්සීල මහණ යම් ඒ රජ මහාසාරයන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවෙන් දෙන ඇඳ පුටු පරිහරණය කරන්නේ නම්, මෙය ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ය.
මරණින් මතු අපාය නම් වූ, දුර්ගතිය නම් වූ, නපුරු වැටීමක් වූ නිරයට ද පැමිණෙන්නේ ය.