මහණෙනි, යම් බලවත් පුරුෂයෙක් පා උඩුකුරු කොට හිස යටට හරවා ගිනි ගත්, ගිනි දැල්වුණු, ගින්නෙන් දිලිසෙන, ගිනි දැල් සහිත යකඩ සැළියක බහන්නේය. හෙතෙම එහි පෙණ දමමින් පැසෙමින් වරක් උඩට එයි. වරක් යටට යයි. වරක් හරහට යන්නේ නම් එය හෝ රජ මහාසාරයන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවෙන් පූජා කරන ලද විහාරයක් පරිභෝග කරන්නේ නම් එය හෝ මේ දෙකින් වඩා උතුම් කුමක් ද?
ස්වාමීනි, රජ මහාසාරයන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවෙන් පූජා කරන ලද විහාරයක් පරිභෝග කරන්නේ නම් එය ම උතුම් වෙයි.
යම් බලවත් පුරුෂයෙක් පා උඩුකුරු කොට හිස යටට හරවා ගිනිගත්, ගිනි දැල්වුණු, ගින්නෙන් දිලිසෙන, ගිනිදැල් සහිත යකඩ සැළියක බහන්නේ ද හෙතෙම එහි පෙණ දමමින් පැසෙමින් වරක් උඩට ද වරක් යටට ද වරක් හරහට ද යන්නේ නම් එය මහත් දුකක් ම ය.
මහණෙනි, මම තොපට ප්‍රකාශ කරමි. කරුණු දක්වා කියමි. දුස්සීල වූ පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන නමුත් අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන නමුත් අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ දුස්සීලයා හට යම් බලවත් පුරුෂයෙක් පා උඩුකුරු කොට හිස යටට හරවා, ගිනිගත්, ගිනි දැල්වුණු, ගින්නෙන් දිලිසෙන, ගිනිදැල් සහිත යකඩ සැළියක බහන්නේ ය. හෙතෙම එහි පෙණ දමමින් පැසෙමින් වරක් උඩට එයි. වරක් යටට යයි. වරක් හරහට යන්නේ නම් එය ම උතුම් වෙයි.
ඒ කවර හෙයින් ද යත්;
එය හේතු කොට ගෙන ඔහුට මරණය හෝ ඒ හා සමාන දුකක් හෝ වන්නේ ය. නමුත් ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුර්ගතිය නම් වූ, නපුරු වැටීමක් වූ නිරයට නම් නොපැමිණෙන්නේ ම ය.
දුස්සීල වූ, පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන නමුත් අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන නමුත් අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ දුස්සීල මහණ යම් ඒ රජ මහාසාරයන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවෙන් පූජා කරන ලද විහාරයක් පරිභෝග කරන්නේ නම්, මෙය ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ය.
මරණින් මතු අපාය නම් වූ, දුර්ගතිය නම් වූ, නපුරු වැටීමක් වූ නිරයට ද පැමිණෙන්නේ ය.