Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

අධර්ම චරියා විෂම චරියා නිසා නිරයෙහි උපදියි
ධර්ම චරියා සම චරියා නිසා සුගතියෙහි උපදියි

සාලෙය්‍යක සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මජ්ඣිම නිකාය 1 - පිටු අංක 662 - 673)

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු පිරිසක් සමඟ චාරිකාවේ වඩින අතරතුර කොසොල් රට සාලා නම් බ්‍රාහ්මණ ගමට වැඩි සේක. සාලා බ්‍රාහ්මණ ගෘහපතියෝ සාලා ගමට භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු පිරිසක් සමඟ පැමිණි බව ඇසූහ.

භාග්‍යවතුන් වහන්සේ ගැන කීර්ති ඝෝෂාවක් සාලා බ්‍රාහ්මණ ගෘහපතියන් අතර පැතිරිණ.

ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණින් අරහත් වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විද්‍යාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තර පුරුෂදම්මසාරථී වන සේක, දෙව් මිනිසුන්ට ශාස්තෘ වන සේක, බුද්ධ වන සේක, භාග්‍යවත් වන සේක. මුල, මැද, අග පරිපූර්ණ වූ පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන සේක. එවැනි රහතුන් දැකීම යහපත්ය.

පසු ව සාලා බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ සකසා වැඳ, සතුටු සාමීචි කතා කොට එකත් පස් ව හිඳ මෙසේ ඇසූහ.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මෙලොව යම් සත්වයෙක් මරණින් මතු සැප නැති, දුක් ඇති නපුරු වැටීමක් වූ නිරයට යන්නේ නම් එයට හේතු කවරේ ද? ප්‍රත්‍ය කවරේ ද?

එසේ ම මෙලොව යම් සත්වයෙක් මරණින් මතු මනා ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදී නම් එයට හේතු කවරේ ද? ප්‍රත්‍ය කවරේ ද?

ගෘහපතියෙනි, අධර්ම චරියා, විෂම චරියා (නොදැහැමි, නපුරු, පාපකාරී හැසිරීම) හේතු කොට ගෙන මෙලොව යම් සත්වයෙක් මරණින් මතු සැප නැති දුක් ඇති නපුරු වැටීමක් වූ නිරයට යන්නේය.

ගෘහපතියෙනි, ධර්ම චරියා, සම චරියා (දැහැමි ව සන්සුන් ව පාපයන්ගෙන් වෙන් ව හැසිරීම) හේතු කොට ගෙන මෙලොව යම් සත්වයෙක් මරණින් මතු මනා ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදින්නේය.

ගෘහපතියෙනි, අධර්ම චරියා, විෂම චරියා කවරේ ද යත්;

කයෙන් සිදු වන අධර්ම චරියා, විෂම චරියා තුනක් වෙයි.

වචනයෙන් සිදු වන අධර්ම චරියා, විෂම චරියා සතරක් වෙයි.

සිතෙන් සිදු වන අධර්ම චරියා, විෂම චරියා තුනක් වෙයි.

කයෙන් සිදු වන අධර්ම චරියා, විෂම චරියා තුන කවරේ ද යත්;

මෙලොව යම් කෙනෙක්

  1. රෞද්‍ර වූයේ, ලේ තැවරුණු අත් ඇත්තේ, අනුන් පෙළීමෙහි නැසීමෙහි යෙදෙන, සතුන් කෙරෙහි අනුකම්පාවක් හෝ කරුණාවක් නොමැති ව පර පණ නසන්නේ වෙයි.
  2. ගමෙහි හෝ ආරණ්‍යයෙහි තිබූ අන් සතු දේ සොර සිතින් පැහැර ගන්නේ, එනම් සොරකම් කරන්නේ වෙයි.
  3. කාමය වරදවා හැසිරෙන්නේ වෙයි.

වචනයෙන් සිදු වන අධර්ම චරියා, විෂම චරියා සතර කවරේ ද යත්;

මෙලොව යම් කෙනෙක්

  1. සභාවක් ඉදිරියෙහි හෝ පිරිසක් ඉදිරියෙහි හෝ ඥාතීන් ඉදිරියෙහි හෝ රජය ඉදිරියෙහි ‘පුරුෂය යමක් දන්නේ නම් එය කියව’ යැයි සාක්ෂි කැඳවයි. ඔහු ‘නොදන්නේ ම දන්නෙමි’ යි කියයි. ‘දන්නේ ම නොදන්නෙමි’ යි කියයි. ‘නොදැක ම දැක්කෙමි’ යි කියයි. ‘දැක ම නොදැක්කෙමි’ යි කියයි. මෙසේ තමා හේතුවෙන් හෝ අනුන් හේතුවෙන් හෝ අල්ලසක් හේතුවෙන් දැන දැන බොරු කියන්නේ වෙයි.
  2. කේළාම් කියන්නේ වෙයි. එනම් මෙතැනින් අසා මොවුන් බිඳවනු පිණිස එතැන කියයි. එතැනින් අසා ඔවුන් බිඳවනු පිණිස මෙතැන කියයි. මෙසේ සමගි වූවන් බිඳින්නේ වෙයි. බිඳුණවුූවන්ට අනුබල දෙන්නේ වෙයි. භේද වීම ගැන සතුටු වෙයි. භේද කිරීමෙහි සතුටු වෙයි. භේද කරන වචන කියන්නේ වෙයි.
  3. පරුෂ වචන කියන්නේ වෙයි. එනම් ගැටීම් ඇති විය හැකි, ගැරහීම් සහගත, කර්කශ, අනුන්ගේ සිත් රිදවන, අනුන්ට කෝපය ඇති කර වන, ක්‍රෝධයට ආසන්න, සමාධියට හානිකර වූ යම් වචනයක් වේ ද මෙබඳු වචන කියන්නේ වෙයි.
  4. සම්ඵප්‍රලාප (හිස් වචන) කියන්නේ වෙයි. එනම් නුසුදුසු කාලයේ කියයි, නොවූ දෙයක් කියයි, තේරුමක් නැති දෙයක් කියයි, අධර්මයක් කියයි, අවිනයක් කියයි, සිතේ තබා නොගත යුතු වචන කියයි. මෙසේ නුසුදුසු කාලයෙහි සාධක රහිත වූ අගක් මුලක් නැති, වැඩකට නැති හිස් වචන කියන්නේ වෙයි.

සිතෙන් සිදු වන අධර්ම චරියා, විෂම චරියා තුන කවරේ ද යත්;

මෙලොව යම් කෙනෙක්

  1. අභිධ්‍යා (දැඩි ලෝභ) ඇත්තේ වෙයි. එනම් අනුන් සතු යම් වස්තු ඇත්ද ඒ දෙස ලෝභ සිතින් බලන්නේ වෙයි. අනුන් සතු යම් වස්තු ඇත්ද ඒ දේ තමා සතු වේවා යි පතනුයේ ද වෙයි.
  2. ව්‍යාපාද (තරහ) ඇත්තේ වෙයි. එනම් මේ සත්වයෝ නැසෙත්වා, මේ සත්වයෝ විනාශ වෙත්වා, මේ සත්වයෝ සිඳී යත්වා, මේ සත්වයෝ නැති වී යත්වා වශයෙන් ද්වේෂ සහගත නපුරු සිතුවිලි ඇත්තේ වෙයි.
  3. විපරීත දැකීම් ඇති මිථ්‍යා දෘෂ්ටියෙන් යුතු වෙයි. එනම් දානය නැත, යාගය (පූජා කිරීම) නැත, හෝමය නැත, යහපත් අයහපත් ක්‍රියාවල (කුසල් අකුසල්වල) ඵල විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මව නැත, පියා නැත, ඕපපාතික සත්වයෝ නැත, මෙලොව ද පරලොව ද තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන, යහපත් බවට පත්, මනා ප්‍රතිපදාවේ හැසිරෙන මහණ බමුණන් නැත යන මෙබඳු දෘෂ්ටි, මිථ්‍යා දෘෂ්ටි වෙයි.

ගෘහපතියෙනි, මේ අධර්ම චරියා, විෂම චරියා හේතු කොට ගෙන මෙලොව යම් සත්වයෙක් මරණින් මතු සැප නැති, දුක් ඇති නපුරු වැටීමක් වූ නිරයට යන්නේය.

ගෘහපතියෙනි, ධර්ම චරියා, සම චරියා හේතු කොට ගෙන මෙලොව යම් සත්වයෙක් මරණින් මතු මනා ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදින්නේය.

ගෘහපතියෙනි, ධර්ම චරියා, සම චරියා කවරේ ද යත්;

කයෙන් සිදු වන ධර්ම චරියා, සම චරියා තුනක් වෙයි.

වචනයෙන් සිදු වන ධර්ම චරියා, සම චරියා සතරක් වෙයි.

සිතෙන් සිදු වන ධර්ම චරියා, සම චරියා තුනක් වෙයි.

කයෙන් සිදු වන ධර්ම චරියා, සම චරියා තුන කවරේ ද යත්;

මෙලොව යම් කෙනෙක්,

  1. ප්‍රාණඝාතය හැර දමා සතුන් මැරීමෙන් වැළකුනේ වෙයි. එනම් දඬු මුගුරු අතහැර, අවි ආයුධ අතහැර, පවට ලජ්ජා ඇති ව කරුණාවන්ත ව සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙයි.
  2. නුදුන් දෙය අතහැර සොරකමින් වැළකුනේ වෙයි. ගමෙහි හෝ ආරණ්‍යයෙහි තිබූ අන් සතු දේ සොර සිතින් නොගන්නාසුලු වෙයි.
  3. කාමය වරදවා හැසිරීම අතහැර කාමය වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි.

වචනයෙන් සිදු වන ධර්ම චරියා, සම චරියා සතර කවරේ ද යත්;

මෙලොව යම් කෙනෙක්

  1. සභාවක් ඉදිරියෙහි හෝ පිරිසක් ඉදිරියෙහි හෝ ඥාතීන් ඉදිරියෙහි හෝ රජය ඉදිරියෙහි ‘පුරුෂය යමක් දන්නේ නම් එය කියව’ යැයි සාක්ෂි කැඳවයි. ඔහු ‘දන්නේ ම දන්නෙමි’ යි කියයි. ‘නොදන්නේ ම නොදන්නෙමි’ යි කියයි. ‘නොදැක ම නොදැක්කෙමි’ යි කියයි. ‘දැක ම දැක්කෙමි’ යි කියයි. මෙසේ තමා හේතුවෙන් හෝ අනුන් හේතුවෙන් හෝ අල්ලසක් හේතුවෙන් දැන දැන බොරු නොකියන්නේ වෙයි.
  2. කේළාම් කීම හැර දමා කේළාම් නොකියන්නේ වෙයි. එනම් මෙතැනින් අසා මොවුන් බිඳවනු පිණිස එතැන නොකියයි. එතැනින් අසා ඔවුන් බිඳවනු පිණිස මෙතැන නොකියයි. මෙසේ බිඳුණු පුද්ගලයින් සමගි කරන්නේ වෙයි. සමගි වූවන්ට අනුබල දෙන්නේ වෙයි. සමගි වීම ගැන සතුටු වෙයි. සමගි කිරීමෙහි සතුටු වෙයි. සමගි කරන වචන කියන්නේ වෙයි.
  3. පරුෂ වචන කීම හැර දමා පරුෂ වචන නොකියන්නේ වෙයි. එනම් දෝෂ රහිත, කණට ප්‍රිය උපදවන, හෘදයාංගම, බොහෝ දෙනා කැමති, මන වඩන යම් වචනයක් වේ ද මෙබඳු වචන කියන්නේ වෙයි.
  4. සම්ඵප්‍රලාප කීම හැර දමා සම්ඵප්‍රලාප නොකියන්නේ වෙයි. එනම් සුදුසු කාලයේ කියයි, වූ දෙයක් ම කියයි, තේරුමක් ඇති දෙයක් කියයි, ධර්මයක් කියයි, විනයක් කියයි, සිතේ තබා ගත යුතු වචන ම කියයි. මෙසේ සුදුසු කාලයෙහි සාධක සහිත වූ අග මුල ඇති, වැඩ දායක වූ වචන කියන්නේ වෙයි.

සිතෙන් සිදු වන ධර්ම චරියා, සම චරියා තුන කවරේ ද යත්;

මෙලොව යම් කෙනෙක්

  1. අභිධ්‍යා නැත්තේ වෙයි. එනම් අනුන් සතු යම් වස්තු ඇත්ද ඒ දෙස ලෝභ සිතින් නොබලන්නේ වෙයි. අනුන් සතු යම් වස්තු ඇත්ද ඒ දේ තමා සතු වේවා යි නොපතනුයේ ද වෙයි.
  2. නපුරු සිතුවිලි නොමැති ව්‍යාපාද නැත්තේ වෙයි. එනම් මේ සත්වයෝ වෛර නැත්තන් ව, ක්‍රෝධ නැත්තන් ව, දුක් නැත්තන් ව, සුවපත් ව ආත්ම පරිහරණය කරත්වා යි යනුවෙනි.
  3. අවිපරීත දැකීම් ඇති, සම්මා දෘෂ්ටියෙන් යුතු වෙයි. එනම් දානය ඇත, යාගය ඇත, හෝමය ඇත, යහපත් අයහපත් ක්‍රියාවල ඵල විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්වයෝ ඇත, මෙලොව ද පරලොව ද තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන, යහපත් බවට පත්, මනා ප්‍රතිපදාවේ හැසිරෙන මහණ බමුණන් ඇත යන මෙබඳු සම්මා දෘෂ්ටියෙන් යුතු වෙයි.

ගෘහපතියෙනි, මෙසේ ධර්ම චරියා, සම චරියා හේතු කොට ගෙන මෙලොව යම් සත්වයෙක් මරණින් මතු මනා ගති ඇති සුගති ලෝකයන්හි උපදින්නේය.

ඒ ධර්මචාරී, සමචාරී පුද්ගල මරණින් මතු ධනවත් රජ පවුලක හෝ ධනවත් බමුණු පවුලක හෝ ධනවත් ගෘහපති පවුලක ඉපදීමට කැමති වේ නම් ඔහුගේ අදහස මතු ඉටුවන්නේය.

ඒ කවර හෙයින් ද යත්; ඔහු ධර්මචාරී, සමචාරී වන බැවිනි.

ඒ ධර්මචාරී, සමචාරී පුද්ගල මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් හා එක් වීමට හෝ තව්තිසා දෙවියන් හා එක් වීමට හෝ යාම දෙවියන් හා එක් වීමට හෝ තුසිත දෙවියන් හා එක් වීමට හෝ නිම්මානරතී දෙවියන් හා එක්වීමට හෝ පරනිම්මිත වසවත්ති දෙවියන් හා එක් වීමට කැමති වේ නම් ඔහුගේ අදහස මතු ඉටුවන්නේය.

ඒ කවර හෙයින් ද යත්; ඔහු ධර්මචාරී, සමචාරී වන බැවිනි.

ඒ ධර්මචාරී, සමචාරී පුද්ගල මරණින් මතු බ්‍රහ්ම කායික දෙවියන් හා එක් වීමට කැමති වේ නම් ඔහුගේ අදහස මතු ඉටුවන්නේය.

ඒ කවර හෙයින් ද යත්; ඔහු ධර්මචාරී, සමචාරී වන බැවිනි.

ඒ ධර්මචාරී, සමචාරී පුද්ගල මරණින් මතු ආභ දෙවියන් හා එක් වීමට හෝ පරිත්තාභ දෙවියන් හා එක් වීමට හෝ අප්පමාණාභ දෙවියන් හා එක් වීමට හෝ ආභස්සර දෙවියන් හා එක් වීමට කැමති වේ නම් ඔහුගේ අදහස මතු ඉටු වන්නේය.

ඒ කවර හෙයින් ද යත්; ඔහු ධර්මචාරී, සමචාරී වන බැවිනි.

ඒ ධර්මචාරී, සමචාරී පුද්ගල මරණින් මතු සුභ දෙවියන් හා එක් වීමට හෝ පරිත්තසුභ දෙවියන් හා එක් වීමට හෝ අප්පමාණසුභ දෙවියන් හා එක් වීමට හෝ සුභකිණ්ණක දෙවියන් හා එක් වීමට කැමති වේ නම් ඔහුගේ අදහස මතු ඉටු වන්නේය.

ඒ කවර හෙයින් ද යත්; ඔහු ධර්මචාරී, සමචාරී වන බැවිනි.

ඒ ධර්මචාරී, සමචාරී පුද්ගල මරණින් මතු වේහප්ඵල දෙවියන් හා එක් වීමට කැමති වේ නම් ඔහුගේ අදහස මතු ඉටු වන්නේය.

ඒ කවර හෙයින් ද යත්; ඔහු ධර්මචාරී, සමචාරී වන බැවිනි.

ඒ ධර්මචාරී, සමචාරී පුද්ගල මරණින් මතු අවිහ දෙවියන් හා එක් වීමට හෝ අතප්ප දෙවියන් හා එක් වීමට හෝ සුදස්ස දෙවියන් හා එක් වීමට හෝ සුදස්සී දෙවියන් හා එක් වීමට හෝ අකනිට්ඨක දෙවියන් හා එක් වීමට කැමති වේ නම් ඔහුගේ අදහස මතු ඉටු වන්නේය.

ඒ කවර හෙයින් ද යත්; ඔහු ධර්මචාරී, සමචාරී වන බැවිනි.

ඒ ධර්මචාරී, සමචාරී පුද්ගල මරණින් මතු අරූපාවචර දෙවියන් හා එක් වීමට කැමති වේ නම් ඔහුගේ අදහස මතු ඉටු වන්නේය.

ඒ කවර හෙයින් ද යත්; ඔහු ධර්මචාරී, සමචාරී වන බැවිනි.

එසේ ම ධර්මචාරී,සමචාරී පුද්ගල මේ ජීවිතයේ දී ම ආස්‍රවක්ෂය කර අනාස්‍රව චේතෝ විමුක්ති, ප්‍රඥා විමුක්ති උපයා ගෙන වාසය කිරීමට කැමති වේ නම් ඔහු මේ ජීවිතයේ දී ම ආස්‍රවක්ෂය කර අනාස්‍රව චේතෝ විමුක්ති, ප්‍රඥා විමුක්ති උපයා ගෙන වාසය කෙරෙයි.

ඒ කවර හෙයින් ද යත්; ඔහු ධර්මචාරී, සමචාරී වන බැවිනි.


බාගත ​කිරීමට