කථාවට නුසුදුසු පුද්ගලයා දැන හඳුනා ගෙන
එවන් පුද්ගලයන් සමඟ කථා නොකරන්න
මහා වර්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1, තික නිපාතය - පිටු අංක 352 - 357)
කථාවෙහි යෙදීමෙන්(සාකච්ඡාවෙන්) ම කථාවට සුදුසු නොවන පුද්ගලයා දත යුතුය.
යම් පුද්ගලයෙක් ප්‍රශ්නයක් විමසූ විට,
- එක එල්ලේ ම විසඳිය යුතු ප්‍රශ්නය එක එල්ලේ ම නොවිසඳයි නම්,
- බෙදා විසඳිය යුතු ප්‍රශ්නය බෙදා නොවිසඳයි නම්,
- නැවත ප්‍රශ්න කර විසඳිය යුතු ප්‍රශ්නය නැවත ප්‍රශ්න කර නොවිසඳයි නම්,
- බහා තැබිය (නොවිසඳිය) යුතු ප්‍රශ්නය බහා නොතබා නම්,
මෙවන් පුද්ගලයා කථාවට සුදුසු නොවෙයි.
ඉදින් මේ පුද්ගල තෙම,
- ප්‍රශ්න අසන ලද්දේ කරුණු කාරණයෙහි (වැඩ අවැඩ බවෙහි, යුතු අයුතු බවෙහි) නොපිහිටයි නම්,
- අදහස් කරන ලද්දෙහි නොපිහිටයි නම්,
- තමන් දැන සිටි වාදයේ නොපිහිටයි නම්,
- ප්‍රතිපත්තියෙහි නොපිහිටයි නම්,
මෙවන් පුද්ගලයා කථාවට සුදුසු නොවෙයි.
ඉදින් මේ පුද්ගල තෙම යමක් අසන ලද්දේ,
- වෙන එකක් කියා නම්,
- කථා කරන දේ මාතෘකාවෙන් පිටට රැගෙන යයි නම්,
- කෝපය, ද්වේෂය, නො සතුට පහළ කරයි නම්,
- අදාල නැති කරුණු ඔබනොබින් දක්වා බාධා කරයි නම්,
- බණිමින් කථාව යටපත් කරයි නම්,
- මහත් ශබ්ද නගා මහ හඬින් සිනහසෙයි නම්,
- ස්වල්ප වූ කට වැරැද්දක් (අදහස් කළ දේ පැටලී වෙන දෙයක් කීමක්) අල්ලා ගනියි නම්,
මෙවන් පුද්ගලයා කථාවට සුදුසු නොවෙයි.
කථාවෙහි යෙදීමෙන් ම යම් පුද්ගලයෙක් උපනිශ්‍රය (හේතු සම්පත්තිය) රහිත වේ යැයි දත යුතුය.
යොමු නො කළ කන් ඇති ව අසන්නා උපනිශ්‍රය රහිත වෙයි.
එසේ නම්, හේතු සම්පත් නැති පුද්ගලයා සමඟ කවර හෙයින් කථා කරන්නේ ද? සාකච්ඡා කරන්නේ ද?
එවන් පුද්ගලයා සමඟ කථා කිරීම, සාකච්ඡා කිරීම වෙහෙසක් ම වෙයි. දෙ දෙනාට ම එයින් වන යහපතක් ද නැත. පරිහානියක් ම වෙයි.
මෙවන් පුද්ගලයින් සමඟ කථාවට හෝ සාකච්ඡාවට සහභාගි නො වීම ප්‍රඥාවන්ත ක්‍රියාවක් ම වෙයි.
බාගත කිරීමට 