Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

ස්ත්‍රියක් ස්ත්‍රී භාවය ඉක්ම වීම පිණිස
පුරුෂයෙක් පුරුෂ භාවය ඉක්ම වීම පිණිස
කළ යුත්තේ කුමක් ද

සංයොගවිසංයොග ධම්මපරියාය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 364 - 367)

ස්ත්‍රිය ස්ත්‍රී භාවය නොඉක්මවීම පිණිස වූ සංයෝගය (බැඳීම) කෙසේ වෙයි ද යත්;

ස්ත්‍රියක් ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී සිතුවිලි, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී හඬ, ස්ත්‍රියක සේ සැරසීම ආදී වූ තම ස්ත්‍රී ඉන්ද්‍රිය මෙනෙහි කරයි. ඇය එහි ඇලී සතුටු වී පුරුෂ ආකල්ප, පුරුෂ සිතුවිලි, පුරුෂ ආකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂයෙකු සේ සැරසීම ආදී වූ බාහිර පුරුෂ ඉන්ද්‍රිය සිහි කරයි.

ඇය එහි ඇලෙයි. සතුටු වෙයි. ඇය එහි ඇලී එහි සතුටු වී බාහිර පුරුෂයා හා බැඳීමට බලාපොරොත්තු වෙයි. කැමති වෙයි.

ඒ බැඳීම හේතුවෙන් වූ යම් සුවයක් සොම්නසක් උපදී නම් එයට ද සතුටු වෙයි. මෙසේ ස්ත්‍රී භාවයෙහි ඇලී ගිය සත්වයා බාහිර පුරුෂයන් කෙරෙහි බැඳීමට ද යයි.

මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නොඉක්මවයි.

පුරුෂයා පුරුෂ භාවය නොඉක්මවීම පිණිස වූ සංයෝගය (බැඳීම) කෙසේ වෙයි ද යත්;

පුරුෂයෙක් පුරුෂ ආකල්ප, පුරුෂ සිතුවිලි, පුරුෂ ආකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂයෙකු සේ සැරසීම ආදී වූ තම පුරුෂ ඉන්ද්‍රිය මෙනෙහි කරයි. ඔහු එහි ඇලී සතුටු වී ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී සිතුවිලි, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී හඬ, ස්ත්‍රියක සේ සැරසීම ආදී වූ බාහිර ස්ත්‍රී ඉන්ද්‍රිය සිහි කරයි.

ඔහු එහි ඇලෙයි. සතුටු වෙයි. ඔහු එහි ඇලී එහි සතුටු වී බාහිර ස්ත්‍රිය හා බැඳීමට බලාපොරොත්තු වෙයි. කැමති වෙයි.

ඒ බැඳීම හේතුවෙන් වූ යම් සුවයක් සොම්නසක් උපදී නම් එයට ද සතුටු වෙයි. මෙසේ පුරුෂ භාවයෙහි ඇලී ගිය සත්වයා බාහිර ස්ත්‍රීන් කෙරෙහි බැඳීමට ද යයි.

මෙසේ පුරුෂයා පුරුෂ භාවය නොඉක්මවයි.

මහණෙනි, මෙසේ සංයෝගය වෙයි.

ස්ත්‍රිය ස්ත්‍රී භාවය ඉක්මවීම පිණිස වූ විසංයෝගය (නොබැඳීම) කෙසේ වෙයි ද යත්;

ස්ත්‍රිය, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී සිතුවිලි, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී හඬ, ස්ත්‍රියක සේ සැරසීම ආදී වූ තම ස්ත්‍රී ඉන්ද්‍රිය මෙනෙහි නොකරයි. එහි නොඇලී සතුටු නොවී පුරුෂ ආකල්ප, පුරුෂ සිතුවිලි, පුරුෂ ආකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂයෙකු සේ සැරසීම ආදී වූ බාහිර පුරුෂ ඉන්ද්‍රිය සිහි නොකරයි. ඇය එහි නොඇලෙයි. සතුටු නොවෙයි. ඇය එහි නොඇලී එහි සතුටු නොවී බාහිර පුරුෂයා හා බැඳීමට බලාපොරොත්තු නොවෙයි. කැමති නොවෙයි.

ඒ බැඳීම හේතුවෙන් වූ යම් සුවයක් සොම්නසක් උපදී නම් එයට ද සතුටු නොවෙයි. මෙසේ ස්ත්‍රී භාවයෙහි නොඇලී ගිය සත්වයා බාහිර පුරුෂයන් කෙරෙහි බැඳීමට ද නොයයි.

මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය ඉක්මවයි.

පුරුෂයා පුරුෂ භාවය ඉක්මවීම පිණිස වූ විසංයෝගය (නොබැඳීම) කෙසේ වෙයි ද යත්;

පුරුෂයා පුරුෂ ආකල්ප, පුරුෂ සිතුවිලි, පුරුෂ ආකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂයෙකු සේ සැරසීම ආදී වූ තම පුරුෂ ඉන්ද්‍රිය මෙනෙහි නොකරයි. එහි නොඇලී සතුටු නොවී ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී සිතුවිලි, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී හඬ, ස්ත්‍රියක සේ සැරසීම ආදී වූ බාහිර ස්ත්‍රී ඉන්ද්‍රිය සිහි නොකරයි. ඔහු එහි නොඇලෙයි. සතුටු නොවෙයි. ඔහු එහි නොඇලී එහි සතුටු නොවී බාහිර ස්ත්‍රිය හා බැඳීමට බලාපොරොත්තු නොවෙයි. කැමති නොවෙයි.

ඒ බැඳීම හේතුවෙන් වූ යම් සුවයක් සොම්නසක් උපදී නම් එයට ද සතුටු නොවෙයි. මෙසේ පුරුෂ භාවයෙහි නොඇලී ගිය සත්වයා බාහිර ස්ත්‍රීන් කෙරෙහි බැඳීමට ද නොයයි.

මෙසේ පුරුෂයා පුරුෂ භාවය ඉක්මවයි.

මහණෙනි, මෙසේ විසංයෝගය වෙයි.

මහණෙනි, මේ සංයෝග විසංයෝග ධර්ම පරියාය(ක්‍රමය) වෙයි.


බාගත ​කිරීමට