බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන කලෙක, තෝදෙය්‍ය බමුණාගේ පුත් සුභ තරුණයා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ සතුටු වී සතුටු විය යුතු කතා කොට එකත් පස් ව හිඳ මෙසේ පැවසුවේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මිනිසුන් තුළ උස් පහත් වශයෙන් භේදයක් දක්නට ලැබේ. එනම්,
මෙම වෙනස්කම් සඳහා හේතු කාරණා කවරේ ද?”
“තරුණය, සත්වයෝ කර්මය අයිති කොට, කර්මය උරුම කොට, කර්මය උප්පත්ති කොට, කර්මය නෑයා කොට, කර්මය පිළිසරණ කොට ඇත්තෝය. කර්මය මෙසේ සත්වයන් උස් පහත් ලෙස බෙදා වෙන් කරයි”.
“භාග්‍යවතුන් වහන්ස, කෙටියෙන් වදාළ දෙය අපැහැදිලියි. මට විස්තර වශයෙන් පැහැදිලි කරන සේක්වා”.
“එසේ නම් හොඳින් අසන්න, මෙනෙහි කරන්න. දේශනා කරන්නෙමි.
මෙලොව ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දරුණු ලේ තැවරුණු අත් ඇත්තේ, සතුන් වැනසීමෙහි යෙදුනේ, සියලු සත්වයන් කෙරෙහි අකාරුණික වූයේ, සතුන් මරන්නෙක් වෙයි. මේ අයුරින් රැස් කළ කර්මය නිසා මරණින් පසු සැප නැති දුක් ඇති නිරයේ උපදියි. එසේ නිරයේ උපදින්නේ නැති ව මිනිසත් ව උපදී නම්, යම් යම් තැනෙක පසු ව උපදී නම්, අකල් (අඩු ආයුෂ) මරණවලට ගොදුරු වෙයි.
දරුණු ලේ තැවරුණු අත් ඇත්තේ, සතුන් මැරීමෙහි යෙදුනේ, සියලු සතුන් කෙරෙහි අකාරුණික වූයේ, සතුන් මරන්නෙක් වූ මෙම ප්‍රතිපදාව අඩු ආයුෂ ලැබීම පිණිස පවතියි.
එසේ ම සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති ව, කරුණාවන්ත ව, පවට ලජ්ජා බය ඇති ව, සතුන් නොමැරීමෙහි යෙදේ නම්, ඒ සමාදන් වූ කර්මය හේතුවෙන් මරණින් පසු මනා සුව ඇති දෙව්ලොව උපදියි. එසේ දෙව්ලොව උපදින්නේ නැති ව මිනිසත් බව ලබා නම්, යම් යම් තැනෙක නැවත උපදී නම්, ඇයට හෝ ඔහුට දීර්ඝායුෂ ලැබෙයි.
සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති ව, කරුණාවන්ත ව, පවට ලජ්ජා බය ඇති ව, සතුන් නොමැරීමේ ප්‍රතිපදාව දීර්ඝායුෂ ලැබීම පිණිස පවතියි.
යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සතුන්ට අතින්, ආයුධයෙන්, ලීවලින් හෝ ගල්වලින් හිංසා කරයි නම්, ඒ කර්මය නිසා මරණින් පසු දුක ඇති සැප නැති නිරයේ උපදියි. එසේ නිරයට නොපැමිණ මිනිසත් බවට එයි නම්, නැවත යම් යම් තැනෙක උපදී නම්, බොහෝ රෝගාබාධ ඇති බවට පැමිණෙයි.
සතුන්ට අතින් ආයුධයෙන් ලීවලින් හෝ ගල්වලින් හිංසා කිරීමේ ප්‍රතිපදාව බොහෝ රෝගාබාධ ඇති වීම පිණිස පවතියි.
එසේ ම යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සතුන්ට අතින්, ආයුධයෙන්, ලීවලින් හෝ ගල්වලින් හිංසා නොකරයි ද එසේ සමාදන් වූ කර්මය නිසා මනා සුව ඇති දෙව්ලොව උපදියි. එසේ නොමැති ව මිනිස් ලොව උපදී නම්, යම් යම් තැනෙක නැවත උපදී නම්, නිරෝගී ජීවිත ලබයි.
සතුන්ට අතින්, ආයුධයෙන්, ලීවලින් හෝ ගල්වලින් හිංසා නොකිරීමේ ප්‍රතිපදාව නිරෝගී බව ඇති වීම පිණිස පවතියි.
යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ බහුල, බලවත් සිත් තැවුලින් යුක්ත වූයේ, සුළු දෙයටත් දැඩි ව ගැටෙන තරහ ගන්නෙක් නම්, මෙසේ කරන්නා වූ කර්මය නිසා මරණින් පසු දුක ඇති සැප නැති නිරයේ උපදියි. එසේ නිරයේ උපදින්නේ නැති ව මිනිසත් බව ලබා නම්, යම් යම් තැනෙක නැවත උපදී නම්, අවලස්සන (දුර්වර්ණ) වෙයි.
ක්‍රෝධ බහුල, බලවත් සිත් තැවුලින් යුක්ත වූයේ, සුළු දෙයටත් දැඩි ව ගැටෙන තරහ ගන්නෙක් වීමේ ප්‍රතිපදාව අවලස්සන වීම පිණිස පවතියි.
එසේ ම යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරනසුලු ද, බහුල වශයෙන් තරහ නොගන්නේ ද, බොහෝ දේ කීවත් නොකිපෙන්නේ ද, නොගැටෙන්නේ ද, එසේ සමාදන් වූ කර්මය හේතුවෙන් මනා සුව ඇති දෙව්ලොව උපදියි. එසේ දෙව්ලොව උපදින්නේ නැති ව මිනිසත් බවට පැමිණෙන්නේ නම්, යම් යම් තැනෙක නැවත උපදී නම්, ප්‍රසාදජනක හා ප්‍රියමනාප වෙයි.
කෝප නොවීම, කේන්ති නොගැනීම සහ නොසතුටු නොවීමේ ප්‍රතිපදාව ප්‍රසාදජනක හා ප්‍රියමනාප භාවය පිණිස පවතියි.
මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා සහගත සිත් ඇති ව, අනුන්ගේ ලාභ සත්කාර, ගරු බුහුමන් හා වැඳුම් පිදුම් කෙරෙහි ඊර්ෂ්‍යා හා ද්වේෂ කරයි ද, මෙය හේතු කොට ගෙන මරණින් මතු කටුක දුක් සහගත වූ නිරයේ උපදියි. එසේ නිරයේ උපදින්නේ නැති ව මිනිසත් බවට පැමිණෙන්නේ නම්, යම් යම් තැනෙක නැවත උපදී නම්, බල සම්පන්න නොවූ, පිරිවර අඩු බවට පැමිණෙයි.
ඊර්ෂ්‍යා සහගත වීම, අනුන්ගේ ලාභ සත්කාර, ගරු බුහුමන් හා වැඳුම් පිදුම් කෙරෙහි ඊර්ෂ්‍යා හා ද්වේෂ කිරීමේ ප්‍රතිපදාව බල සම්පන්න නොවීම සහ පිරිවර රහිත වීම පිණිස පවතියි.
එසේ ම යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා සහගත සිත් නැති ව, අනුන්ගේ ලාභ සත්කාර, ගරු බුහුමන් සහ වැඳුම් පිදුම් කෙරෙහි ඊර්ෂ්‍යා නොකෙරේ ද, තරහා නොගනී ද, එසේ සමාදන් වූ කර්මය හේතු කොට ගෙන මරණින් මතු මනා සුව ඇති දෙව්ලොවට පැමිණෙයි. එසේ මරණින් මතු දෙව්ලොවට නොපැමිණ මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක පසු ව උපදී නම්, බල සම්පන්න සහ මහත් පිරිවර ඇත්තෙක් වෙයි.
මෙසේ අනුන්ගේ ලාභ සත්කාර, ගරු බුහුමන් හා වැඳුම් පිදුම් කෙරෙහි ඊර්ෂ්‍යා නොකිරීමේ ප්‍රතිපදාව බලවත් වීම සහ මහත් පිරිවර ඇති වීම පිණිස පවතියි.
මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ශ්‍රමණයන්ට හෝ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, තෙල් පහන් නොදෙන්නේ ද, මේ කරන ලද කර්ම හේතුවෙන් මරණින් මතු දුක් ඇති සැප නැති නිරයේ උපදියි. එසේ නිරයේ උපදින්නේ නැති ව මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක නැවත උපදී නම්, දුප්පත් බවට හේතු වෙයි.
මෙසේ ශ්‍රමණයන්ට හා බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, තෙල් පහන් නොදීමේ ප්‍රතිපදාව අල්ප හෝග සම්පත් ඇති වීම පිණිස පවතියි.
එසේ ම යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ශ්‍රමණයන්ට හෝ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, තෙල් පහන් දෙන්නේ නම්, එසේ සමාදන් වූ කර්මය හේතුවෙන් හේ මරණින් මතු මනා සුව ඇති දෙව්ලොවට පැමිණෙයි. එසේ නොමැති ව මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක නැවත උපදී නම්, පොහොසත් බවට හේතු වෙයි.
මෙසේ ශ්‍රමණයන්ට හා බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, තෙල් පහන් දීමේ ප්‍රතිපදාව මහත් හෝග ලැබීම පිණිස පවතියි.
මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දැඩි වූ අධික මානයෙන් යුතු ව වැඳිය යුත්තන්ට නොවඳී ද, පිදිය යුත්තන් නොපුදයි ද, තම හුනස්නෙන් නැඟිටිය යුත්තා දැක නොනැඟිටී ද, ආසනය දිය යුත්තාට ආසනය නොදේ ද, මග ඉඩ දිය යුත්තාට මග ඉඩ නොදේ ද, ගරු බුහුමන්, පූජා සත්කාර කළ යුත්තාට එසේ නොකරයි ද, මේ කරන ලද කර්ම හේතුවෙන් මරණින් මතු දුක් ඇති සැප නැති නිරයේ උපදියි. එසේ නොමැති ව මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක නැවත උපදී නම්, පහත් (නීච) කුලයේ ඉපදීමට හේතු වෙයි.
මෙසේ දැඩි වූ අධික මානයෙන් යුතු ව වැඳිය යුත්තන්ට නොවඳී ද, පිදිය යුත්තන් නොපුදයි ද, තම හුනස්නෙන් නැඟිටිය යුත්තා දැක නොනැඟිටී ද, ආසනය දිය යුත්තාට ආසනය නොදේ ද, මග ඉඩ දිය යුත්තාට මග ඉඩ නොදේ ද, ගරු බුහුමන්, පූජා සත්කාර කළ යුත්තාට එසේ නොකරයි ද මේ ප්‍රතිපදාව පහත් (නීච) කුලයේ ඉපදීම පිණිස පවතියි.
එසේ ම යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දැඩි හෝ අධික මාන නැති ව වැඳිය යුත්තන්ට වඳියි ද, පිදිය යුත්තන් පුදයි ද, හුනස්නෙන් නැඟිටිය යුත්තා දැක නැඟිටියි ද, ආසනය දිය යුත්තාට ආසනය දේ ද, මාර්ගය ඉඩ දිය යුත්තාට මග ඉඩ දේ ද, ගරු බුහුමන්, පූජා සත්කාර කළ යුත්තන්ට එසේ කරයි ද, මෙසේ සමාදන් වී කරන ලද කර්මය හේතු කර ගෙන දෙව්ලොව උපදියි. එසේ උපදින්නේ නැති ව මිනිසත් බව ලබා නම්, යම් යම් තැනෙක නැවත උපදී නම්, උසස් කුල ඇත්තෙක් වෙයි.
මෙසේ දැඩි හෝ අධික මාන නැති ව වැඳිය යුත්තන්ට වඳියි ද, පිදිය යුත්තන් පුදයි ද, හුනස්නෙන් නැඟිටිය යුත්තා දැක නැඟිටියි ද, ආසනය දිය යුත්තාට ආසනය දේ ද, මාර්ගය ඉඩ දිය යුත්තාට මග ඉඩ දේ ද, ගරු බුහුමන්, පූජා සත්කාර කළ යුත්තන්ට එසේ කරයි ද මේ ප්‍රතිපදාව උසස් කුලයේ ඉපදීම පිණිස පවතියි.
මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් පැවිද්දෙකු හෝ බමුණෙකු වෙත පැමිණ කුසල් කවරේ ද - අකුසල් කවරේ ද, නිවැරදි දේ කවරක් ද - වැරදි දේ කවරක් ද, ඇසුරු කළ යුත්ත කුමක් ද - ඇසුරු නොකළ යුත්ත කුමක් ද, කුමක් කිරීමෙන් දිගු කලක් හිත පිණිස, සැප පිණිස වේ ද - කුමක් කිරීමෙන් දිගු කලක් අහිත පිණිස, දුක් පිණිස වේ ද යැයි නොඅසන්නේ වෙයි. එසේ සමාදන් වූ කර්ම හේතුවෙන් මරණින් මතු කටුක දුක් පමණක් ඇති නිරයේ උපදියි. එසේ නොවී මිනිස් ලොව උපදී නම්, යම් යම් තැනෙක නැවත නැවත උපදී නම්, නුවණ නැත්තෙක් වෙයි.
මෙසේ පැවිද්දෙකු හෝ බමුණෙකු වෙත පැමිණ, කුසල් කවරේ ද - අකුසල් කවරේ ද, නිවැරදි දේ කවරක් ද - වැරදි දේ කවරක් ද, ඇසුරු කළ යුත්ත කුමක් ද - ඇසුරු නොකළ යුත්ත කුමක් ද, කුමක් කිරීමෙන් දිගු කලක් හිත පිණිස, සැප පිණිස වේ ද - කුමක් කිරීමෙන් දිගු කලක් අහිත පිණිස, දුක් පිණිස වේ ද යැයි නොඅසන්නේ නම් මෙම ප්‍රතිපදාව අනුවණ වීම පිණිස පවතියි.
එසේ ම යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් පැවිද්දෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙත පැමිණ කුසල් කවරේ ද - අකුසල් කවරේ ද, නිවැරදි දේ කවරක් ද - වැරදි දේ කවරක් ද, ඇසුරු කළ යුත්ත කුමක් ද - ඇසුරු නොකළ යුත්ත කුමක් ද, කුමක් කිරීමෙන් දිගු කලක් හිත පිණිස, සැප පිණිස වේ ද - කුමක් කිරීමෙන් දිගු කලක් අහිත පිණිස, දුක් පිණිස වේ ද යැයි අසන්නේ වෙයි. එසේ සමාදන් වූ කර්මය හේතුවෙන් මරණින් මතු සැප ඇති දෙව්ලොව උපදියි. එසේ නොවී මිනිස් ලොව උපදී නම්, යම් යම් තැනෙක නැවත නැවත උපදී නම්, නුවණැති (ප්‍රඥාවන්ත) වෙයි.
මෙසේ පැවිද්දෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙත පැමිණ කුසල් කවරේ ද - අකුසල් කවරේ ද, නිවැරදි දේ කවරක් ද - වැරදි දේ කවරක් ද, ඇසුරු කළ යුත්ත කුමක් ද - ඇසුරු නොකළ යුත්ත කුමක් ද, කුමක් කිරීමෙන් දිගු කලක් හිත පිණිස, සැප පිණිස වේ ද - කුමක් කිරීමෙන් දිගු කලක් අහිත පිණිස, දුක් පිණිස වේ ද යැයි මෙසේ අසන්නේ නම් මෙම ප්‍රතිපදාව නුවණැති වීම පිණිස පවතියි.
‘කම්මස්සකා මාණව සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණා. කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණිතතායාති’.
තරුණය, සත්වයෝ කර්මය අයිති කොට ඇත්තෝය. සත්වයෝ කර්මය උරුම කොට, කර්මය උප්පත්ති කොට, කර්මය නෑයා කොට, කර්මය පිළිසරණ කොට සිටිති. කර්මය මෙසේ සත්වයන් උස් පහත් ලෙස බෙදා වෙන් කරයි”.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ කල්හි සුභ නම් තරුණයා මෙසේ පැවසුවේය.
“පින්වත් භාග්‍යවතුන් වහන්ස, ඉතා යහපති, ඉතා යහපති,
ඔබ වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශ කරන ලදි. මා දිවිහිම් කොට භාග්‍යවතුන් වහන්සේ, ධර්මය සහ සංඝයා සරණ ගිය උපාසකයෙක් ලෙස දරන සේක්වා” යැයි පැවසීය.