භාග්‍යවතුන් වහන්සේ විසල් පුර උග්ග ගෘහපතියාගේ නිවසට පෙරවරු කාලයෙහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේට සකසා වැඳ එකත් පස් ව හිඳ, උග්ග ගෘහපති මෙසේ පැවසුවේය.
“ස්වාමීනි, මනාප වූ දේ දෙන තැනැත්තා මනාප වූ දේ ලබත් යැයි භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දෙමි. පිළිගන්නා ලද්දෙමි. මට මේ සල් මල් මෙන් සාදන ලද කැවිලි ප්‍රිය මනාපය. මාගේ මේ කැවිලි මට අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා”.
බුදු රජාණන් වහන්සේ විසින් අනුකම්පා පිණිස පිළිගත් සේක.
“ස්වාමීනි, මනාප වූ දෙන තැනැත්තා මනාප වූ දේ ලබත් යැයි භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දෙමි. පිළිගන්නා ලද්දෙමි. මට මේ ඩෙබර (මසන්) මිශ්‍ර ඌරු මස් ප්‍රිය මනාපය. මේ ඌරු මස් මට අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා”.
බුදු රජාණන් වහන්සේ විසින් අනුකම්පා පිණිස පිළිගත් සේක.
“ස්වාමීනි, මනාප වූ දේ දෙන තැනැත්තා මනාප වූ දේ ලබත් යැයි භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දෙමි. පිළිගන්නා ලද්දෙමි. මට තෙලින් බදින ලද නැළිපලා ප්‍රිය මනාපය. මේ නැළිපලා මට අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා”.
බුදු රජාණන් වහන්සේ විසින් අනුකම්පා පිණිස පිළිගත් සේක.
“ස්වාමීනි, මනාප වූ දේ දෙන තැනැත්තා මනාප වූ දේ ලබත් යැයි භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දෙමි. පිළිගන්නා ලද්දෙමි. මට කළු ඇට නැති නොයෙක් සූප ඇති නොයෙක් ව්‍යංජනයන්ගෙන් ද යුතු ඇල් සහලින් කළ බත ඉතා ප්‍රිය මනාපය. මේ ඇල් සහල් බත මට අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා”.
බුදු රජාණන් වහන්සේ විසින් අනුකම්පා පිණිස පිළිගත් සේක.
“ස්වාමීනි, මනාප වූ දේ දෙන තැනැත්තා මනාප වූ දේ ලබත් යැයි භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දෙමි. පිළිගන්නා ලද්දෙමි. මට කසී සළු ඉතා ප්‍රිය මනාපය. මේ කසී සළු මට අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා”.
බුදු රජාණන් වහන්සේ විසින් අනුකම්පා පිණිස පිළිගත් සේක.
“ස්වාමීනි මනාප වූ දේ දෙන තැනැත්තා මනාප වූ දේ ලබත් යැයි භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දෙමි. පිළිගන්නා ලද්දෙමි. මට කොඳුපලස් අතුරන ලද එළු ලොමින් කරන ලද, සුදු ඇතිරිලි ඇතිරූ, එළු ලොම් ඇතිරූ, කෙසෙල් මුව සම් ඇතිරූ, උඩු වියන් සහිත වූ දෙපස තබන ලද රතු කොට්ට ඇති ආසනය ඉතා ප්‍රිය මනාපය. එසේ වුවත් මෙය භග්‍යවතුන් වහන්සේට කැප නොවේ යැයි අපි මෙය දනිමු. එ බැවින් මාගේ මේ සඳුන් පුවරුව අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා”.
බුදු රජාණන් වහන්සේ විසින් අනුකම්පා පිණිස පිළිගත් සේක.
භාග්‍යවතුන් වහන්සේ විසින් උග්ග ගෘහපතිට මෙසේ අනුමෝදනා කළ සේක.
“ප්‍රිය දේ දෙනුයේ ප්‍රිය දේ ම ලබයි. යමෙක් රහතුන් කෙත ලෙස සලකා සෘජු වූවන් කෙරෙහි ආහාර පාන, වස්ත්‍ර, සේනාසන ආදී කැප දේ දෙයි ද දීමට දුෂ්කර දෑ දන් දී ඒ සත්පුරුෂයෝ මන වඩන දේ ලබති”.
පසු කලෙක උග්ග ගෘහපති කලුරිය කර, ධ්‍යාන සිතින් යුතු ව එක්තරා දෙව් ලොවක ඉපදුනේය.
භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන කල්හි මධ්‍යම රාත්‍රියේ දී මන වඩන වර්ණයෙන් මුළු ජේතවනාරාමය ම බබළවා උග්ග දෙවිපුත් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ඇසූ සේක.
“උග්ග, නුඹගේ අදහස් සඵල වී ද?”
“ භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් ම මාගේ අදහස් සඵල විය”.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මනාප වූ දේ දෙන තැනැත්තා මනාප වූ දේ ලබයි. අග්‍ර වූ දේ දෙන්නේ අග්‍ර වූ දේ ලබයි. උතුම් දේ දෙන්නේ උතුම් දේ ලබයි. ශ්‍රේෂ්ඨ වූ දේ දෙන්නේ ශ්‍රේෂ්ඨ වූ දේ ලබයි.
මෙසේ මනාප වූ දේ, අග්‍ර වූ දේ, උතුම් වූ දේ, ශ්‍රේෂ්ඨ වූ දේ දෙන මිනිසා යම් යම් තැනක උපදී නම් දීර්ඝායුෂ ඇත්තේ, යසස් ඇත්තේ වෙයි”.