මහණෙනි, මිතුරු වූ හෝ සුහද මිතුරු වූ හෝ නෑ වූ හෝ ලේ නෑ වූ යම් කෙනෙකුට අනුකම්පා කරන්නේ නම්, ඔහු ඇහුම්කන් දෙයි යැයි ද සිතන්නේ නම්, මහණෙනි, තොප විසින් ඔහුව සතර සතිපට්ඨානය වැඩීමෙහි සමාදන් කරවිය යුතුය. වාසය කරවිය යුතුය. පිහිටුවිය යුතුය.
කවර සතර සතිපට්ඨානයක ද යත්;
මහණෙනි, මිතුරු වූ හෝ සුහද මිතුරු වූ හෝ නෑ වූ හෝ ලේ නෑ වූ යම් කෙනෙකුට අනුකම්පා කරන්නේ නම් සහ ඔහු ඇහුම්කන් දේ යැයි ද සිතන්නේ නම්, තොප විසින් ඔහු ව මෙසේ සතර සතිපට්ඨානය වැඩීමෙහි සමාදන් කරවිය යුතුය. වාසය කරවිය යුතුය. පිහිටුවිය යුතුය.
ඔබ ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිද්දෙක් නම්, බුදු රජාණන් වහන්සේගේ අවවාදයට අනුව ඔබගේ ඥාති හිත මිත්‍රාදීන් කෙරෙහි අනුකම්පා කර ඒ අය ඇහුම්කන් දෙන්නේ නම්, සතර සතිපට්ඨානයේ වාසය කරවීමට හික්මවා ඔවුන් නිවන් මගට යොමු කිරීම ඔබගේ යුතුකම නොවේ ද?
ඔබට සිව්පසයෙන් සංග්‍රහ කරන ඒ දායක දායිකාවන් සහ බොහෝ උපකාර කළ ඥාති හිත මිතුරන් නිවන් මගෙහි සමාදන් කිරීම කලණ ක්‍රියාවකි.
එසේ නොමැති ව ඔබට බොහෝ උපකාර කළ ඒ දායක දායිකාවන් සහ ඥාති හිත මිතුරන් ජාති වාදය, ආගම් වාදය, දේශපාලනය ආදී රාග, ද්වේෂ සහ මෝහ වඩන්නා වූ ක්‍රියාවලට යොමු කර අපායගාමී ප්‍රතිපදාවේ සමාදන් කරවීම අසත්පුරුෂ පවිටු ක්‍රියාවක් නොවන්නේ ද? එය ගෞතම බුදු රජාණන් වහන්සේගේ අවවාදයට පිටුපෑමක් ද වෙයි. එම අසත්පුරුෂ පවිටු ක්‍රියාවන් ඔබට ද බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස පවතිනු ඇත.
මෙ වැනි අසත්පුරුෂ පවිටු ක්‍රියා ඔබ මෙතෙක් කර ඇත් නම් වරද වරද ලෙස දැක ආයති සංවරයේ පිහිටන්න. එය බුද්ධ ශාසනයේ වැඩීමක් ම වන්නේ ය. එය ඔබට ද ඔබගේ දායක දායිකාවන්ට සහ ඥාති හිතමිතුරන්ට ද මහත් යහපතක් ම වන්නේ ය.