Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුකෙන් මිදීමේ ඒකායන මග වූ සතර සතිපට්ඨානය /

අලුත පැවිදි වූ නවක මහණන්
සතර සතිපට්ඨානයෙහි සමාදන් කරවන්න
වාසය කරවන්න පිහිටුවන්න

සාලා සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 5 - i - පිටු අංක 264 - 267)

මහණෙනි, අලුත පැවිදි වූ ළඟ දී මේ සසුනට ඇතුලු වූ නවක මහණන් සතර සතිපට්ඨානය වඩනු පිණිස සමාදන් කරවිය යුතුය. සතර සතිපට්ඨානයෙහි වාසය කරවිය යුතුය. පිහිටුවිය යුතුය.

කවර සතරක ද යත්;

  1. කෙලෙස් තවන වැර ඇති ව, මනා දැනුම් ඇති ව, සමාධිගත වූ මනා ප්‍රසන්න සිත් ඇති ව, තැන්පත් ව, එකඟ සිතින් යුතු ව කයෙහි යථා ස්වභාවය දැනගැනිම පිණිස කයෙහි කය අනුව බලන සුලු ව වාසය කරව.
  2. කෙලෙස් තවන වැර ඇති ව, මනා දැනුම් ඇති ව, සමාධිගත වූ මනා ප්‍රසන්න සිත් ඇති ව, තැන්පත් ව, එකඟ සිතින් යුතු ව වේදනාවෙහි යථා ස්වභාවය දැනගැනිම පිණිස වේදනාවෙහි වේදනාව අනුව බලන සුලු ව වාසය කරව.
  3. කෙලෙස් තවන වැර ඇති ව, මනා දැනුම් ඇති ව, සමාධිගත වූ මනා ප්‍රසන්න සිත් ඇති ව, තැන්පත් ව, එකඟ සිතින් යුතු ව සිතෙහි යථා ස්වභාවය දැනගැනිම පිණිස සිතෙහි සිත අනුව බලන සුලු ව වාසය කරව.
  4. කෙලෙස් තවන වැර ඇති ව, මනා දැනුම් ඇති ව, සමාධිගත වූ මනා ප්‍රසන්න සිත් ඇති ව, තැන්පත් ව, එකඟ සිතින් යුතු ව දහම්හි යථා ස්වභාවය දැනගැනිම පිණිස දහම්හි දහම් අනුව බලන සුලු ව වාසය කරව.

මෙසේ සතර සතිපට්ඨානයෙහි සමාදන් කරවිය යුතුය. වාසය කරවිය යුතුය. පිහිටුවිය යුතුය.

මහණෙනි, සේඛ භික්ෂුව නොපැමිණි අරහත්වය ප්‍රාර්ථනා කරමින් සතර සතිපට්ඨානයෙහි වාසය කරයි.

  1. කෙලෙස් තවන වැර ඇති ව, මනා දැනුම් ඇති ව, සමාධිගත වූ මනා ප්‍රසන්න සිත් ඇති ව, තැන්පත් ව, එකඟ සිතින් යුතු ව කය පිරිසිඳ දැකීම පිණිස කයෙහි කය අනුව බලන සුලු ව වාසය කරයි.
  2. කෙලෙස් තවන වැර ඇති ව, මනා දැනුම් ඇති ව, සමාධිගත වූ මනා ප්‍රසන්න සිත් ඇති ව, තැන්පත් ව, එකඟ සිතින් යුතු ව වේදනාව පිරිසිඳ දැකීම පිණිස වේදනාවෙහි වේදනාව අනුව බලන සුලු ව වාසය කරයි.
  3. කෙලෙස් තවන වැර ඇති ව, මනා දැනුම් ඇති ව, සමාධිගත වූ මනා ප්‍රසන්න සිත් ඇති ව, තැන්පත් ව, එකඟ සිතින් යුතු ව සිත පිරිසිඳ දැකීම පිණිස සිතෙහි සිත අනුව බලන සුලු ව වාසය කරයි.
  4. කෙලෙස් තවන වැර ඇති ව, මනා දැනුම් ඇති ව, සමාධිගත වූ මනා ප්‍රසන්න සිත් ඇති ව, තැන්පත් ව, එකඟ සිතින් යුතු ව දහම් පිරිසිඳ දැකීම පිණිස දහම්හි දහම් අනුව බලන සුලු ව වාසය කරයි.

මහණෙනි, රහත් වූ ආස්‍රවක්ෂය කළ, නිම වූ බඹසර ඇති යම් රහත් මහණෙක් වේ ද ඔහු ද,

  1. කෙලෙස් තවන වැර ඇති ව, මනා දැනුම් ඇති ව, සමාධිගත වූ මනා ප්‍රසන්න සිත් ඇති ව, තැන්පත් ව, එකඟ සිතින් යුතු ව කයෙන් විසංයුක්ත ව (වෙන් ව) කයෙහි කය අනුව බලන සුලු ව වාසය කරයි.
  2. කෙලෙස් තවන වැර ඇති ව, මනා දැනුම් ඇති ව, සමාධිගත වූ මනා ප්‍රසන්න සිත් ඇති ව, තැන්පත් ව, එකඟ සිතින් යුතු ව වේදනාවෙන් විසංයුක්ත ව වේදනාවෙහි වේදනාව අනුව බලන සුලු ව වාසය කරයි.
  3. කෙලෙස් තවන වැර ඇති ව, මනා දැනුම් ඇති ව, සමාධිගත වූ මනා ප්‍රසන්න සිත් ඇති ව, තැන්පත් ව, එකඟ සිතින් යුතු ව සිතෙන් විසංයුක්ත ව සිතෙහි සිත අනුව බලන සුලු ව වාසය කරයි.
  4. කෙලෙස් තවන වැර ඇති ව, මනා දැනුම් ඇති ව, සමාධිගත වූ මනා ප්‍රසන්න සිත් ඇති ව, තැන්පත් ව, එකඟ සිතින් යුතු ව දහමින් විසංයුක්ත ව දහම්හි දහම් අනුව බලන සුලු ව වාසය කරයි.

මහණෙනි, තොප විසින් අලුත පැවිදි වූ, ළඟ දී මේ සසුනට ඇතුලු වූ නවක මහණන් සතර සතිපට්ඨානය වඩනු පිණිස සමාදන් කළ යුතුය. සතර සතිපට්ඨානයෙහි වාසය කරවිය යුතුය. සතර සතිපට්ඨානයෙහි පිහිටුවිය යුතුය.


බාගත ​කිරීමට