Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුකෙන් මිදීම සඳහා වූ ප්‍රතිපදාව /

සියල්ල නිරෝධ වනසුලු බව දැකීමෙන්
සියලු දුකෙන් මිදෙයි

නිරෝධධම්ම සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුත්ත නිකාය 4 - පිටු අංක 60 - 61)

මහණෙනි, සියල්ල නිරෝධ (සමූල ඝාතනය, පෙර නොතිබීම හටගෙන ඉතිරි නැති ව ම නැති වීම) වනසුලුය.

කවර සියල්ලක් නිරෝධ වනසුලු ද යත්;

ඇස නිරෝධ වනසුලුය. රූපය නිරෝධ වනසුලුය. ඇස දැනගැනීම (චක්ඛු විඥානය) නිරෝධ වනසුලුය. චක්ඛුසම්ඵස්සය (ඇස, රූපය, ඇස දැනගැනීම යන තුන එකතු වීම) නිරෝධ වනසුලුය. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් විඳීමක් (වේදනාවක්) ඇත් ද එයත් නිරෝධ වනසුලුය.

කන නිරෝධ වනසුලුය. ශබ්දය නිරෝධ වනසුලුය. කන දැනගැනීම නිරෝධ වනසුලුය. සෝතසම්ඵස්සය (කනෙහි ස්පර්ෂය) නිරෝධ වනසුලුය. සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් විඳීමක් ඇත් ද එයත් නිරෝධ වනසුලුය.

නාසය නිරෝධ වනසුලුය. ගන්ධය නිරෝධ වනසුලුය. නාසය දැනගැනීම නිරෝධ වනසුලුය. ඝානසම්ඵස්සය (නාසයෙහි ස්පර්ෂය) නිරෝධ වනසුලුය. ඝානසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් විඳීමක් ඇත් ද එයත් නිරෝධ වනසුලුය.

දිව නිරෝධ වනසුලුය. රස නිරෝධ වනසුලුය. දිව දැනගැනීම නිරෝධ වනසුලුය. ජිව්හාසම්ඵස්සය (දිවෙහි ස්පර්ෂය) නිරෝධ වනසුලුය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් විඳීමක් ඇත් ද එයත් නිරෝධ වනසුලුය.

කය නිරෝධ වනසුලුය. පහස නිරෝධ වනසුලුය. කය දැනගැනීම නිරෝධ වනසුලුය. කායසම්ඵස්සය නිරෝධ වනසුලුය. කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් විඳීමක් ඇත් ද එයත් නිරෝධ වනසුලුය.

මනස නිරෝධ වනසුලුය. ධර්ම නිරෝධ වනසුලුය. මනස දැනගැනීම (මනෝ විඥානය) නිරෝධ වනසුලුය. මනෝසම්ඵස්සය නිරෝධ වනසුලුය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් විඳීමක් ඇත් ද එයත් නිරෝධ වනසුලුය.

මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇසෙහි කලකිරෙයි, රූපයෙහි කලකිරෙයි, ඇස දැනගැනීමෙහි කලකිරෙයි, චක්ඛුසම්ඵස්සයෙහි කලකිරෙයි, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් විඳීමක් ඇත් ද එහිත් කලකිරෙයි.

කනෙහි කලකිරෙයි, ශබ්දයෙහි කලකිරෙයි, කන දැනගැනීමෙහි කලකිරෙයි, සෝතසම්ඵස්සයෙහි කලකිරෙයි, සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් විඳීමක් ඇත් ද එහිත් කලකිරෙයි.

නාසයෙහි කලකිරෙයි, ගන්ධයෙහි කලකිරෙයි, නාසය දැනගැනීමෙහි කලකිරෙයි, ඝානසම්ඵස්සයෙහි කලකිරෙයි, ඝානසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් විඳීමක් ඇත් ද එහිත් කලකිරෙයි.

දිවෙහි කලකිරෙයි, රසෙහි කලකිරෙයි, දිව දැනගැනීමෙහි කලකිරෙයි, ජිව්හාසම්ඵස්සයෙහි කලකිරෙයි, ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් විඳීමක් ඇත් ද එහිත් කලකිරෙයි.

කයෙහි කලකිරෙයි, පහසෙහි කලකිරෙයි, කය දැනගැනීමෙහි කලකිරෙයි, කායසම්ඵස්සයෙහි කලකිරෙයි, කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් විඳීමක් ඇත් ද එහිත් කලකිරෙයි.

මනසෙහි කලකිරෙයි, ධර්මයන්හි කලකිරෙයි, මනස දැනගැනීමෙහි කලකිරෙයි, මනෝසම්ඵස්සයෙහි කලකිරෙයි, මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් විඳීමක් ඇත් ද එහිත් කලකිරෙයි.

කලකිරෙන්නේ ඒවායේ නොඇලෙයි.

නොඇලීම හේතුවෙන් මිදෙයි.

මිදුණු කල්හි මිදුණේ යැයි නුවණ වෙයි.

ජාතිය ක්ෂය විය, මාර්ග බ්‍රහ්මචරියාව වාසය කර නිම විය. කළ යුත්ත කරන ලදි, නිවන් පිණිස මත්තේ කළ යුත්තක් නැතැයි මනා ව දැන ගනියි.


බාගත ​කිරීමට