මුදිතාව (මුදිතා චේතෝ විමුක්තිය) වැඩීම මහත්ඵල මහානිසංස වෙයි.
අනුන්ගේ සැප දැක සතුටු වීමක්, සතුටු වන බවක්, ප්‍රීතිමත් වීමක්, ප්‍රීතිමත් වන බවක් වේ ද මේ මුදිතාව නම් වෙයි.
මුදිතා භාවනාව (මුදිතාව වැඩීම) කෙසේ මහත්ඵල මහානිසංස වේ ද යත්;
දුර ඈත විවේක සෙනසුන්හි වාසය කිරීමෙහි හෝ විවිධ වෙනත් අධිකුසල ධර්මයන්ගේ යෙදීමෙහි නොඇල්මෙක්, නොඇලීම් ස්වභාවයක්, ආශා රහිත බවක්, සිත් නොඅලවන බවෙක් වේ නම් මේ අරතිය නම් වෙයි.
තමන්ට ප්‍රිය වූ මනාප වූ යම් පුද්ගලයෙකු දැක සතුටු වන්නේ, ප්‍රීතිමත් වන්නේ යම් සේ ද එසේ ම සියලු සත්වයන් කෙරෙහි සතුටු වීමක්, සතුටු වන බවක්, ප්‍රීතිමත් වීමක්, ප්‍රීතිමත් වන බවක් වේ නම් එය ‘මුදිතාව’ නම් වෙයි.
ඒ ධර්මය සිතා නම් එය ‘චේතෝ’ නම් වෙයි.
සියලු අරතියෙන් මිදෙනුයි ‘විමුක්ති’ නම් වෙයි.
මෙසේ මුදිතා චේතෝ විමුක්තිය වෙයි.
මේ සසුනෙහි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා, තමන්ට ප්‍රිය වූ මනාප වූ එක් පුද්ගලයෙකු දැක ඔහු කෙරෙහි ප්‍රමුදිත (ප්‍රීතිමත්) වන්නේ යම් සේ ද, එසේ ම එක් දිශාවක වෙසෙන සියලු සත්වයන් කෙරෙහි මුදිතාව වඩයි. ඒ නිමිත්ත පුරුදු කරයි. වඩයි. බහුල ව වඩයි. හොඳින් පුරුදු කරයි. මනා සේ පුහුණු කරයි. නොනවත්වා පුහුණු කරයි. නැවත නැවත වඩවයි. ඉතා හොඳින් නිවැරදි ව නිශ්චය කරයි.
මෙසේ එක් දිශාවක වෙසෙන සියලු සත්වයන් කෙරෙහි මහත් වූ මහත් බවට පැමිණියා වූ අප්‍රමාණ වූ වෛර රහිත වූ ද්වේෂ රහිත වූ මුදිතාව උපයා ගෙන මුදිතා සහගත සිතින් වාසය කරයි.
මේ අයුරින් නැගෙනහිර දිශාවෙහි ද, බටහිර දිශාවෙහි ද, උතුරු දිශාවෙහි ද, දකුණු දිශාවෙහි ද, උඩ දිශාවෙහි ද, යට දිශාවෙහි ද, අනුදිශාවන්හි ද වෙසෙන සියලු සත්වයන් කෙරෙහි මහත් වූ මහත් බවට පැමිණියා වූ අප්‍රමාණ වූ වෛර රහිත වූ ද්වේෂ රහිත වූ මුදිතාව උපයා ගෙන මුදිතා සහගත සිතින් වාසය කරයි.
මෙසේ මුදිතා චේතෝ විමුක්තිය වැඩීම මේ ජීවිතයේ දී සැපවත් වීම (පළමු, දෙවන සහ තෙවන ධ්‍යාන ලැබීම) පිණිස ද, පරලොව දී රූපාවචර දිව්‍ය ලෝකයන්හි උපත පිණිස ද පවතිනු ඇත.