සේඛ බලයෝ පස්දෙනෙකි.
(සෝවාන් මාර්ගයේ සිට අරහත් මාර්ගය දක්වා හික්මෙන පුද්ගලයන් හත්දෙනා සේඛයෝ වෙති.)
කවර පසක් ද යත්;
මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා සැදැහැති වෙයි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහයි. විශ්වාස කරයි. ඒ කෙසේ ද යත්, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණින් අරහත් වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විද්‍යා චරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝක විදූ වන සේක. අනුත්තර පුරිසධම්ම සාරථී වන සේක. සියලු දෙවි මිනිසුන්ට ශාස්තෘන් වන සේක. මේ ශ්‍රද්ධා බලය යැයි කියනු ලැබෙයි.
මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා හිරි (පවට ලජ්ජාව) ඇත්තේ වෙයි. සිතෙන් වචනයෙන් හා කයින් සිදුවන දුශ්චරිතයන්ට (වැරදි ක්‍රියා, අකුසල්) ලජ්ජා වෙයි. ලාමක වූ අකුසල ධර්මයන්ට පැමිණීමෙහි ලජ්ජා වෙයි. මේ හිරි බලය යැයි කියනු ලැබෙයි.
මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා ඔත්තප්ප (පවට බිය) ඇත්තේ වෙයි. සිතෙන්, වචනයෙන් හා කයින් සිදුවන දුශ්චරිතයන්ට බිය වෙයි. ලාමක වූ අකුසල ධර්මයන්ට පැමිණීමෙහි බිය වෙයි. මේ ඔත්තප්ප බලය යැයි කියනු ලැබෙයි.
මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා කුසල් දහම් උපදවා ගැනීම පිණිස, අකුසල් දහම් දුරු කිරීම පිණිස පටන් ගන්නා ලද වීර්ය ඇත්තේ වෙයි. අත් නො හළ බලවත් වීර්ය ඇත්තේ වෙයි. කුසල දහම් හි නොනවත්වන ලද අත් නොහළ වීර්යක් ඇත්තේ වෙයි. මේ වීර්ය බලය යැයි කියනු ලැබෙයි.
මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා උදය වැය ඥානයෙන් යුතු වෙයි. ආර්ය වූ, නිවනට පමුණුවන, මනා ව දුක නැති කරන ප්‍රඥාවෙන් යුතු වෙයි. මේ ප්‍රඥා බලය යැයි කියනු ලැබෙයි.
මේ සේඛ බල පසයි. මේ සේඛ බලයන්ගෙන් සමන්විත වන භික්ෂුව මේ ජීවිතයේ දී ම දුක් කරදර පීඩා නැති ව සුව සේ ජීවත් වෙයි. කය බිඳී මරණින් මතු සුගතියේ ඉපදීමට ද කැමති විය යුතුයි.
මේ දහම් පස තමන් තුළ නැති භික්ෂුව මේ ජීවිතයේ දී ම දුක් කරදර පීඩා ඇති ව දුක සේ ජීවත් වෙයි. මරණින් මතු දුගතියේ ඉපදීමට ද කැමති විය යුතුය.