Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුකෙන් මිදීම සඳහා වූ ප්‍රතිපදාව /

කැඩීම් නැති සිදුරු නැති පැල්ලම් නැති කිලුටු නැති
බ්‍රහ්මචරියාවෙහි හැසිරී සියලු දුකෙන් මිදෙන්න

මෙථුන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 362 - 365)

අඛණ්ඩ (නො කැඩුණු), සිදුරු නොවූ, පැල්ලම් නැති, කිලුටු නොවූ පිරිසිදු බ්‍රහ්මචරියාවේ හැසිරීමෙන් ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් මිදේ යැයි කියනු ලැබෙයි.

බ්‍රහ්මචරියාවේ ඛණ්ඩ සිදුරු, පැල්ලම් කිලුටු කවරේ ද යත්;

  1. මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් මනා සේ බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නේ යැයි කියයි. ඔහු කාන්තාවක් සමඟ දෙදෙනෙකු විසින් සමවැදිය යුතු, එක් වීමකට නොපැමිණෙයි.
    එසේ වුවත් ස්ත්‍රියක විසින් කරනු ලබන ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඬීම් ඉවසයි. එයට කැමති වෙයි. එය ආස්වාදය කරයි. එයින් සතුටට පත් වෙයි. මේ බ්‍රහ්මචරියාවෙහි කැඩීම්, සිදුරු, පැල්ලම් සහ කිලුට වෙයි.
    මේ පුද්ගලයා මෙථුන සංයෝගයෙහි යුක්ත වූයේ, අපිරිසිදු බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නේ ජාතියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසින්, උපායාසයෙන් නොමිදුනේ වෙයි. සසර දුකෙන් නොමිදුනේ ද වෙයි.
  2. මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් මනා සේ බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නේ යැයි කියයි. ඔහු කාන්තාවක් සමඟ දෙදෙනෙකු විසින් සමවැදිය යුතු එක් වීමකට නොපැමිණෙයි. එසේම ස්ත්‍රියක් විසින් කරනු ලබන ඇඟ ඉලීම්, පිරිමැදීම්, නෑවීම්, අත් පා මැඩීම් ද නොඉවසන්නේ ය.
    එසේ වුවත් කාන්තාවක් සමඟ කවට කම් කරයි. සිනහසෙයි. ක්‍රීඩා කරයි. මහ හඬින් සිනාසෙයි. එයට කැමති වෙයි. එය ආස්වාදය කෙරෙයි. එයින් සතුටට පත් වෙයි. මෙය බ්‍රහ්මචරියාවෙහි කැඩීම්, සිදුරු, පැල්ලම් සහ කිලුට වෙයි.
    මේ පුද්ගලයා මෛථුන සංයෝගයෙහි යුක්ත වූයේ, අපිරිසිදු බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නේ ද ජාතියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසින්, උපායාසයෙන් නොමිදුනේ වෙයි. සසර දුකෙන් නොමිදුනේ ද වෙයි.
  3. මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් කාන්තාවක් සමඟ කවට කම් ද නොකරයි. සිනහ ද නොවෙයි. ක්‍රීඩා ද නොකරයි. මහ හඬින් සිනා ද නොවෙයි.
    එසේ වුවත් ස්ත්‍රියකගේ ඇසට ඇස යොමු කර බලයි ද, දකියි ද, කැමති වෙයි ද, එය ආස්වාදය කරයි ද, එයින් සතුටට පත් වෙයි ද මෙය බ්‍රහ්මචරියාවෙහි කැඩීම්, සිදුරු, පැල්ලම් සහ කිලුට වෙයි.
    මේ පුද්ගලයා මෛථුන සංයෝගයෙහි යුක්ත වූයේ, අපිරිසිදු බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නේ ද ජාතියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසින්, උපායාසයෙන් නොමිදුනේ වෙයි. සසර දුකෙන් නොමිදුනේ ද වෙයි.
  4. මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් ස්ත්‍රියකගේ ඇසට ඇස යොමු කර නොබලයි.
    එසේ වුවත් බිත්තියෙන් හෝ තාප්පයෙන් පිටත සිට සිනාසෙන්නා වූ, කථා කරන්නා වූ, ගයන්නා වූ, හඬන්නා වූ කාන්තාවකගේ ශබ්දය අසයි ද, එයට කැමති වෙයි ද, එය ආස්වාදය කරයි ද, එයින් සතුටට පත් වෙයි ද මෙය බ්‍රහ්මචරියාවෙහි කැඩීම්, සිදුරු, පැල්ලම් සහ කිලුට වෙයි.
    මේ පුද්ගලයා මෛථුන සංයෝගයෙහි යුක්ත වූයේ, අපිරිසිදු බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නේ ද ජාතියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසින්, උපායාසයෙන් නොමිදුනේ වෙයි. සසර දුකෙන් නොමිදුනේ ද වෙයි.
  5. මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් බිත්තියෙන් හෝ තාප්පයෙන් පිටත සිට සිනාසෙන්නා වූ, කථා කරන්නා වූ, ගයන්නා වූ, හඬන්නා වූ කාන්තාවකගේ ශබ්දය ද නොඅසයි.
    එසේ වුවත් කාන්තාවක් සමඟ ඔහු පෙර කළ සිනාසීම්, කතා කිරීම්, දෙඩීම්, ක්‍රීඩා කිරීම් සිහි කරයි ද, කැමති වෙයි ද, එය ආස්වාදය කරයි ද, එයින් සතුටට පත් වෙයි ද මෙය බ්‍රහ්මචරියාවෙහි කැඩීම්, සිදුරු, පැල්ලම් සහ කිලුට වෙයි.
    මේ පුද්ගලයා මෛථුන සංයෝගයෙහි යුක්ත වූයේ, අපිරිසිදු බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නේ ද ජාතියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසින්, උපායාසයෙන් නොමිදුනේ වෙයි. සසර දුකෙන් නොමිදුනේ ද වෙයි.
  6. මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් කාන්තාවක් සමඟ ඔහු පෙර කළ සිනාසීම්, කතා කිරීම්, දෙඩීම්, ක්‍රීඩා කිරීම් සිහි නොකරයි.
    එසේ වුවත් පංච කාමගුණයන් අනුභව කරන, එයින් යුක්ත ව එයින් සතුටු ව එය පිරිවරාගෙන සිටින ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් දකියි ද, එයට කැමති වෙයි ද, ආස්වාදය කරයි ද, එයින් සතුටට පත් වෙයි ද මෙය බ්‍රහ්මචරියාවෙහි කැඩීම්, සිදුරු, පැල්ලම් සහ කිලුට වෙයි.
    මේ පුද්ගලයා මෛථුන සංයෝගයෙහි යුක්ත වූයේ, අපිරිසිදු බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නේ ද ජාතියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසින්, උපායාසයෙන් නොමිදුනේ වෙයි. සසර දුකෙන් නොමිදුනේ ද වෙයි.
  7. මෙ ලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් පංච කාමගුණයන් අනුභව කරන, එයින් යුක්ත ව එයින් සතුටු ව එය පිරිවරාගෙන සිටින ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් ද නොදකියි.
    එසේ වුවත් ‘මම මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තවුස් දහමින් හෝ බ්‍රහ්මචරියාවෙන් ප්‍රකට දෙවියෙක් හෝ අප්‍රකට දෙවියෙක් වෙමි යි’ කුමන හෝ දෙවියෙක් වීමට පතමින් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙයි. එයට කැමති වෙයි ද, ආස්වාදය කරයි ද, එයින් සතුටට පත් වෙයි ද මෙය බ්‍රහ්මචරියාවෙහි කැඩීම්, සිදුරු, පැල්ලම් සහ කිලුට වෙයි.
    මේ පුද්ගලයා මෛථුන සංයෝගයෙහි යුක්ත වූයේ, අපිරිසිදු බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නේ ද ජාතියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසින්, උපායාසයෙන් නොමිදුනේ වෙයි. සසර දුකෙන් නොමිදුනේ ද වෙයි.

මේ බ්‍රහ්මචරියාවේ ඛණ්ඩ සිදුරු, පැල්ලම්, කිලුටු හත වෙයි.

මෙයින් විසංයුක්ත ව පිරිසිදු බ්‍රහ්මචරියාවේ හැසිරීමෙන් ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයන්ගෙන් මිදෙයි.


බාගත ​කිරීමට