සසර දුක් කෙළවර කොට නිවන් දැකීමට සප්ත සංඥා මෙසේ ම වඩන්න
විත්ථතසත්තසඤ්ඤා සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 350 - 361)
භාවිත කරන ලද බහුල ව ප්‍රගුණ කරන ලද මහත්ඵල මහානිසංස ඇති නිවන කෙළවර කොට ඇති සංඥා සතකි.
- අසුභ සංඥාව
- මරණ සංඥාව
- ආහාරයේ පිළිකුල් සංඥාව
- සියලු ලෝකය කෙරෙහි නොඇලෙන සංඥාව
- අනිත්‍ය සංඥාව
- අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව
- දුක්ඛයෙහි අනාත්ම සංඥාව
අසුභ සංඥාව
- අසුභ සංඥාව පුරුදු කරන, බහුල ව පුරුදු කරන මහණහුගේ සිත, මෛථූන සේවනය පිළිබඳ ව හැකිළෙයි. මිරිකෙයි. පෙරළෙයි. නැඹුරු නොවෙයි. ඒ පිළිබඳ උපේක්ෂාව හෝ පිළිකුල් බව පිහිටා සිටියි.
- එසේ අසුභ සංඥාව වැඩූ පසු ද සිත මෛථූන සේවනය පිළිබඳ අනුගත ව ඇති නම්, ඒ පිළිබඳ පිළිකුල් බව පිහිටා නොසිටී නම්, ‘මා විසින් අසුභ සංඥාව නොවඩනා ලදි. අසුභ සංඥාව වැඩූ පසු ද මට අත් වූ විශේෂ ලාභයක් නැත. මා විසින් අසුභ සංඥාව වැඩීමේ ඵලය නොලබන ලදැ’ යි මනා නුවණින් දැන ගනියි.
- එසේ අසුභ සංඥාව මනා ව වැඩූ පසු මෛථූන සේවනය පිළිබඳ ව සිත හැකිළෙයි. මිරිකෙයි. පෙරළෙයි. නැඹුරු නොවෙයි. ඒ පිළිබඳ උපේක්ෂාව හෝ පිළිකුල් බව පිහිටයි නම්, ‘මා විසින් අසුභ සංඥාව වඩන ලදි, පෙරට වඩා විශේෂයකට පත් වී ඇත, භාවනාවෙහි ඵලය ලබන ලදැ’ යි මනා කොට දන්නේ වෙයි.
- මෙසේ භාවිත අසුභ සංඥාව මහත්ඵල මහානිසංස වෙයි. නිවන කෙළවර කොට ඇත.
මරණ සංඥාව
- මරණ සංඥාව පුරුදු කරන, බහුල ව පුරුදු කරන මහණහුගේ සිත, ජීවිතය කෙරෙහි බලවත් ආශාව පිළිබඳ ව හැකිළෙයි. මිරිකෙයි. පෙරළෙයි. නැඹුරු නොවෙයි. ඒ පිළිබඳ උපේක්ෂාව හෝ පිළිකුල් බව පිහිටා සිටියි.
- එසේ මරණ සංඥාව වැඩූ පසු ද සිත ජීවිතය කෙරෙහි බලවත් ආශාව පිළිබඳ අනුගත ව ඇති නම් ඒ පිළිබඳ පිළිකුල් බව පිහිටා නොසිටී නම් ‘මා විසින් මරණ සංඥාව නොවඩනා ලදි, මරණ සංඥාව වැඩූ පසු ද මට අත් වූ විශේෂ ලාභයක් නැත, මා විසින් මරණ සංඥාව වැඩීමේ ඵලය නොලබන ලදැ’ යි මනා නුවණින් දැන ගනියි.
- එසේ මරණ සංඥාව මනා ව වැඩූ පසු ජීවිතය කෙරෙහි බලවත් ආශාව පිළිබඳ වූ සිත හැකිළෙයි. මිරිකෙයි. පෙරළෙයි. නැඹුරු නොවෙයි. ඒ පිළිබඳ උපේක්ෂාව හෝ පිළිකුල් බව පිහිටයි නම් ‘මා විසින් මරණ සංඥාව වඩන ලදි, පෙරට වඩා විශේෂයකට පත් වී ඇත, භාවනාවෙහි ඵලය ලබන ලදැ’ යි මනා කොට දන්නේ වෙයි.
- මෙසේ භාවිත මරණ සංඥාව මහත්ඵල මහානිසංස වෙයි. නිවන කෙළවර කොට ඇත.
ආහාරයේ පිළිකුල් සංඥාව
- ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරන, බහුල ව පුරුදු කරන මහණහුගේ සිත රස තෘෂ්ණාවෙන් සැඟවෙයි. හැකිළෙයි. මිරිකෙයි. පෙරළෙයි. නැඹුරු නොවෙයි. ඒ පිළිබඳ උපේක්ෂාව හෝ පිළිකුල් බව පිහිටා සිටියි.
- එසේ ආහාරයේ පිළිකුල් සංඥාව වැඩූ පසු ද සිත, රස තෘෂ්ණාව පිළිබඳ ව අනුගත වී ඇති නම්, ඒ පිළිබඳ පිළිකුල් බව නො පිහිටා සිටී නම්, ‘මා විසින් ආහාරයේ පිළිකුල් සංඥාව නොවඩනා ලදි, ආහාරයේ පිළිකුල් සංඥාව වැඩූ පසු ද අත් වූ මට විශේෂ ලාභයක් නැත, මා විසින් ආහාරයේ පිළිකුල් සංඥාව වැඩීමේ ඵලය නොලබන ලදැ’ යි මනා නුවණින් දැන ගනියි.
- එසේ ආහාරයේ පිළිකුල් සංඥාව මනා ව වැඩූ පසු සිත, රස තෘෂ්ණාවෙන් සැඟවෙයි. හැකිළෙයි. මිරිකෙයි. පෙරළෙයි. නැඹුරු නොවෙයි. ඒ පිළිබඳ උපේක්ෂාව හෝ පිළිකුල් බව පිහිටයි නම් ‘මා විසින් ආහාරයේ පිළිකුල් සංඥාව වඩන ලදි, පෙරට වඩා විශේෂයකට පත් වී ඇත, භාවනාවෙහි ඵලය ලබන ලදැ’ යි මනා කොට දන්නේ වෙයි.
- මෙසේ භාවිත ආහාරයේ පිළිකුල් සංඥාව මහත්ඵල මහානිසංස වෙයි. නිවන කෙළවර කොට ඇත.
සියලු ලෝකය කෙරෙහි නො ඇලෙන සංඥාව
- සියලු ලෝකය කෙරෙහි නොඇලෙන සංඥාව පුරුදු කරන, බහුල ව පුරදු කරන මහණහුගේ සිත, ලෝකය පිළිබඳ විතර්කයන් කෙරෙන් සැඟවෙයි. හැකිළෙයි. මිරිකෙයි. පෙරළෙයි. නැඹුරු නොවෙයි. ඒ පිළිබඳ උපේක්ෂාව හෝ පිළිකුල් බව පිහිටා සිටියි.
- එසේ සියලු ලෝකය කෙරෙහි නොඇලෙන සංඥාව වැඩූ පසු ද සිත ලෝකය පිළිබඳ විතර්කයන් කෙරෙහි අනුගත ව ඇති නම්, ඒ පිළිබඳ පිළිකුල් බව පිහිටා නොසිටී නම්, ‘මා විසින් සියලු ලෝකය කෙරෙහි නොඇලෙන සංඥාව නොවඩනා ලදි. සියලු ලෝකය කෙරෙහි නො ඇලෙන සංඥාව වැඩූ පසු ද මට අත් වූ විශේෂ ලාභයක් නැත. මා විසින් සියලු ලෝකය කෙරෙහි නොඇලෙන සංඥාව වැඩීමේ ඵලය නොලබන ලදැ’ යි මනා නුවණින් දැන ගනියි.
- එසේ සියලු ලෝකය කෙරෙහි නොඇලෙන සංඥාව මනා ව වැඩූ පසු ලෝකය පිළිබඳ විතර්කයන් කෙරෙන් සිත සැඟවෙයි. හැකිළෙයි. මිරිකෙයි. පෙරළෙයි. නැඹුරු නොවෙයි. ඒ පිළිබඳ උපේක්ෂාව හෝ පිළිකුල් බව පිහිටයි නම් ‘මා විසින් සියලු ලෝකය කෙරෙහි නොඇලෙන සංඥාව වඩන ලදි. පෙරට වඩා විශේෂයකට පත් වී ඇත. භාවනාවෙහි ඵලය ලබන ලදැ’ යි මනා කොට දන්නේ වෙයි.
- මෙසේ භාවිත සියලු ලෝකය කෙරෙහි නොඇලෙන සංඥාව මහත්ඵල මහානිසංස වෙයි. නිවන කෙළවර කොට ඇත.
අනිත්‍ය සංඥාව
- අනිත්‍ය සංඥාව පුරුදු කරන, බහුල ව පුරුදු කරන මහණහුගේ සිත, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිළිබඳ ව නැඹුරු වීම කෙරෙහි හැකිළෙයි. මිරිකෙයි. පෙරළෙයි. නැඹුරු නොවෙයි. ඒ පිළිබඳ උපේක්ෂාව හෝ පිළිකුල් බව පිහිටා සිටියි.
- එසේ අනිත්‍ය සංඥාව වැඩූ පසු ද සිත, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කෙරෙහි නැඹුරු ව ඇති නම් ඒ පිළිබඳ පිළිකුල් බව පිහිටා නොසිටී නම් ‘මා විසින් අනිත්‍ය සංඥාව නොවඩනා ලදි, අනිත්‍ය සංඥා වැඩූ පසු ද මට අත් වූ විශේෂ ලාභයක් නැත, මා විසින් අනිත්‍ය සංඥාව වැඩීමේ ඵලය නොලබන ලදැ’ යි මනා නුවණින් දැන ගනියි.
- එසේ අනිත්‍ය සංඥාව මනා ව වැඩූ පසු සිත, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කෙරෙහි නැඹුරු වීම කෙරෙන් සැඟවෙයි. හැකිළෙයි. මිරිකෙයි. පෙරළෙයි. නැඹුරු නොවෙයි. ඒ පිළිබඳ උපේක්ෂාව හෝ පිළිකුල් බව පිහිටයි නම් ‘මා විසින් අනිත්‍ය සංඥාව වඩන ලදි, පෙරට වඩා විශේෂයකට පත් වී ඇත, භාවනාවෙහි ඵලය ලබන ලදැ’ යි මනා කොට දන්නේ වෙයි.
- මෙසේ භාවිත අනිත්‍ය සංඥාව මහත්ඵල මහානිසංස වෙයි. නිවන කෙළවර කොට ඇත.
අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව
- අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරන, බහුල ව පුරුදු කරන මහණහුගේ සිත අලස බවෙහි, කුසීත බවෙහි, නිවන් මගෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුසල ධර්මයන් හි නොයෙදීමෙහි, ප්‍රත්‍යවේක්ෂා නොකිරීම කෙරෙහි තියුණු භය සංඥාවක් එළඹ සිටියේ වෙයි.
- එසේ අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව වැඩූ පසු ද සිත අලස බවෙහි, කුසීත බවෙහි, නිවන් මගෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුසල ධර්මයන්හි නොයෙදීමෙහි, ප්‍රත්‍යවේක්ෂා නොකිරීම කෙරෙහි තියුණු භය සංඥාවක් එළඹ නොසිටියේ නම් ‘මා විසින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව නොවඩනා ලදි, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව වැඩූ පසු ද මට අත් වූ විශේෂ ලාභයක් නැත, මා විසින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව වැඩීමේ ඵලය නොලබන ලදැ’ යි මනා නුවණින් දැන ගනියි.
- එසේ අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව වැඩූ පසු සිත අලස බවෙහි, කුසීත බවෙහි, නිවන් මගෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුසල ධර්මයන් හි නොයෙදීමෙහි, ප්‍රත්‍යවේක්ෂා නොකිරීම කෙරෙහි තියුණු භය සංඥාවක් එළඹ සිටියේ නම් ‘මා විසින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව වඩන ලදි, පෙරට වඩා විශේෂයකට පත් වී ඇත, භාවනාවෙහි ඵලය ලබන ලදැ’ යි මනා කොට දන්නේ වෙයි.
- මෙසේ භාවිත අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව මහත්ඵල මහානිසංස වෙයි. නිවන කෙළවර කොට ඇත.
දුක්ඛයෙහි අනාත්ම සංඥාව
- දුක්ඛයෙහි අනාත්ම සංඥාව පුරුදු කරන, බහුල ව පුරුදු කරන මහණහුගේ සිත මේ සවිඤ්ඤාණක (විඥානය සහිත) කයෙහි ද බාහිර සියලු නිමිති කෙරෙහි ද පහව ගිය අහිංකාර මමිංකාර මාන (උඩඟුකම සහ මමත්වය මගේ ය යන අදහස) ඇති ඉක්ම වූ ත්‍රිවිධ මාන ඇත්තේ වෙයි. මැනවින් මිදුණේ ශාන්ත වෙයි. මොනවට මිදුණේ වෙයි.
- එසේ දුක්ඛයෙහි අනාත්ම සංඥාව වැඩූ පසු ද මේ සවිඤ්ඤාණක කයෙහි ද බාහිර සියලු නිමිති කෙරෙහි ද පහව නොගිය අහිංකාර මමිංකාර මාන ඇති නොඉක්ම වූ ත්‍රිවිධ මාන ඇති මැනවින් නොමිදුණු ශාන්ත නො වූ මොනවට නොමිදුණු සිත් ඇත්තේ වෙයි නම් ‘මා විසින් දුක්ඛයෙහි අනාත්ම සංඥාව නොවඩනා ලදි, දුක්ඛයෙහි අනාත්ම සංඥාව වැඩූ පසු ද මට අත් වූ විශේෂ ලාභයක් නැත, මා විසින් දුක්ඛයෙහි අනාත්ම සංඥාව වැඩීමේ ඵලය නොලබන ලදැ’ යි මනා නුවණින් දැන ගනියි.
- එසේ දුක්ඛයෙහි අනාත්ම සංඥාව වැඩූ පසු ද මේ සවිඤ්ඤාණක කයෙහි ද බාහිර සියලු නිමිති කෙරෙහි ද පහව ගිය අහිංකාර මමිංකාර මාන ඇති ඉක්ම වූ ත්‍රිවිධ මාන ඇති මැනවින් මිදුණු ශාන්ත වූ මොනවට මිදුණු සිත වෙයි නම් ‘මා විසින් දුක්ඛයෙහි අනාත්ම සංඥාව වඩන ලදි, පෙරට වඩා විශේෂයකට පත් වී ඇත, භාවනාවෙහි ඵලය ලබන ලදැ’ යි මනා කොට දන්නේ වෙයි.
- මෙසේ භාවිත දුක්ඛයෙහි අනාත්ම සංඥාව මහත්ඵල මහානිසංස වෙයි. නිවන කෙළවර කොට ඇත.
මේ සප්ත සංඥා භාවිත කරන ලද්දේ නම් බහුල ව ප්‍රගුණ කරන ලද්දේ නම් මහත්ඵල මහානිසංස වෙයි. නිවන කෙළවර කොට ඇත්තේ වෙයි.
බාගත කිරීමට 