Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / මං මුළා නොවී නිවැරදි සද්ධර්මය හඳුනාගන්නේ කෙසේ ද / සද්ධර්මය ව්‍යාකූලත්වයට පත්වීමට අතුරුදහන් වීමට හෝ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් නොවීමට බොහෝ කල් පැවතීමට හේතු මෙසේ වෙයි

සද්ධර්මය ව්‍යාකූලත්වයට පත්වීමට අතුරුදහන් වීමට හෝ
සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් නොවීමට බොහෝ කල් පැවතීමට
හේතු මෙසේ වෙයි

සුගත විනය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 284 - 287)

මහණෙනි, සුගතයන් වහන්සේ හෝ සුගත විනය ලෝකයේ පවතින්නේ නම් එය බොහෝ දෙනාට හිත සුව පිණිස, ලෝකයාට අනුකම්පාව පිණිස, සියලු දෙව් මිනිසුන්ට හිත සුව පිණිස, යහපත පිණිස වෙයි.

සුගතයන් වහන්සේ නම් කවරෙක් ද?

මහණෙනි, මෙලොව අරහත් වූ සම්මා සම්බුද්ධ වූ විද්‍යාවෙන් සහ මනා හැසිරීමෙන් යුක්ත වූ සුගත වූ සියලු ලෝකයන් ම දන්නා වූ පුරුෂයන් දමනය කිරීමේ අග්‍ර වූ සියලු දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ බුදු රජාණන් වහන්සේ ලොව පහළ වන සේක. මේ සුගතයන් වහන්සේ නම් වන සේක.

සුගත විනය කවරේ ද?

යහපත් වූ උද්දේශ (මාතෘකා) වශයෙන් ද යහපත් වූ නිර්දේශ (විස්තර) වශයෙන් ද යහපත් වූ පටිනිර්දේශය (නිර්දේශය විස්තර කිරීම්) වශයෙන් ද යහපත් වූ අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත සම්පූර්ණ වූ පරිපූර්ණ පිරිසිදු බ්‍රහ්මචරියාව සුගතයන් වහන්සේ විසින් ලොවට දේශනා කරන ලද සේක. මේ සුගත විනය නම් වෙයි.

සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් වීමට එනම් අවුල් වීමට, අතුරුදහන් වීමට කරුණු සතරක් හේතු වෙයි.

කවර කරුණු සතරක් ද යත්;

  1. මෙසස්නෙහි මහණහු වරදවා අල්වා ගත්, වරදවා තේරුම් ගත් සූත්‍ර වරදවා ලූ පදව්‍යඤ්ජනයන්ගෙන් මනා ව ඉගෙන ගනිති. මෙසේ වරදවා ලූ පදව්‍යඤ්ජනයන්ගේ අර්ථය ද දුකෙන් මිදීම පිණිස පවතින න්‍යායට පටහැනි වෙයි.
    මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් වීම, අතුරුදහන් වීම පිණිස පවතින පළමු හේතුව වෙයි.
  2. මෙසස්නෙහි මහණහු කීකරු නොවෙති. පහසුවෙන් හික්මවීමට නොහැකි වෙති. නොඉවසනසුලු වෙති. අනුශාසනා මනාව තේරුම් නොගන්නේ ද ඒ අනුව නොහැසිරෙන්නේ ද වෙති.
    මේ සද්ධර්මය ව්‍යාකූලයට පත්වීම, අතුරුදහන් වීම පිණිස පවතින දෙවන හේතුව වෙයි.
  3. තව ද මෙසස්නෙහි යම් මහණහු බහුශ්‍රැත වේ ද, ධර්මයට පැමිණියේ වේ ද, ධර්මධර වේ ද, විනයධර වේ ද, මාතෘකාධර වේ ද ඔවුහු මනා ව සකසා අනුන්ට පුරුදු නොකරති. ඔවුන්ගෙන් පසු ඒ සූත්‍රයන්හි අර්ථ අතුරුදහන් වෙයි. පිළිසරණ නැති වෙයි.
    මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් වීම, අතුරුදහන් වීම පිණිස පවතින තෙවන හේතුව වෙයි.
  4. තව ද මෙසස්නෙහි අන් භික්ෂූන්ට පෙරටුව යන ස්ථවිර භික්ෂූහු, අඩු, ලිහිල් වීර්යයෙන් යුතු වෙති. එකලා ව විවේකයෙන් සිට ධ්‍යාන, සමාපත්ති වැඩීම සහ මාර්ග ඵල ලබා ගැනීමට උත්සාහ නොකරති. බොහෝ බඩු මුට්ටු බහුල කොට වෙසෙති. ඒ ස්ථවිර භික්ෂූහු අවබෝධ නොකළ දහම් අවබෝධයට, නොපමුණුවා ගත් දහම් පමුණුවා ගැනීමට, සාක්ෂාත් නොකළ දහම් සාක්ෂාත් කිරීමට වීර්ය නොකරති.
    ඔවුන් පසුපස යන නවක භික්ෂූහු ද ඒ අනුව ම යති. අඩු වීර්යයෙන් යුතු වෙති. එකලා ව විවේකයෙන් සිට ධ්‍යාන, සමාපත්ති වැඩීම සහ මාර්ග ඵල ලබා ගැනීමට උත්සාහ නොකරති. බොහෝ බඩු මුට්ටු බහුල කොට වෙසෙති. එසේ ම ඒ නවක භික්ෂූහු ද අවබෝධ නොකළ දහම් අවබෝධයට, නොපමුණුවා ගත් දහම් පමුණුවා ගැනීමට, සාක්ෂාත් නොකළ දහම් සාක්ෂාත් කිරීමට වීර්ය නොකරති.
    මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් වීම, අතුරුදහන් වීම පිණිස පවතින සිව්වන හේතුව වෙයි.

මේ කරුණු සතර සද්ධර්මය ව්‍යාකූලත්වයට පත්වීමට, අතුරුදහන් වීමට හේතු වෙයි.

සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් නොවීමට, බොහෝ කල් පැවතීමට කරුණු සතරක් හේතු වෙයි.

කවර කරුණු සතරක් ද යත්;

  1. මෙසස්නෙහි මහණහු මනා ව ඉගෙන ගත්, මනා ව තේරුම් ගත් සූත්‍ර, මනා ව ගත් පද ව්‍යඤ්ජනයන්ගෙන් ඉගෙන ගනිති. මෙසේ මනා ව ගත් පද ව්‍යඤ්ජනයන්ගේ අර්ථය ද දුකෙන් මිදීම පිණිස පවතින න්‍යාය අනුව ම වෙයි.
    මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් නොවීම, බොහෝ කල් පැවතීම පිණිස පවතින පළමු හේතුව වෙයි.
  2. මෙසස්නෙහි මහණහු කීකරු වෙති. පහසුවෙන් හික්මවීමට හැකි වෙති. ඉවසනසුලු වෙති. අනුශාසනා මනා ව තේරුම් ගන්නේ ද ඒ අනුව හැසිරෙන්නේ ද වෙති.
    මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් නොවීම, බොහෝ කල් පැවතීම පිණිස පවතින දෙවන හේතුව වෙයි.
  3. තව ද මෙසස්නෙහි යම් මහණහු බහුශ්‍රැත වේ ද, ධර්මයට පැමිණියේ වේ ද, ධර්මධර වේ ද, විනයධර වේ ද, මාතෘකාධර වේ ද ඔවුහු මනා ව සකසා අනුන්ට පුරුදු කරති. ඔවුන්ගෙන් පසු ඒ සූත්‍රයන්හි අර්ථ අතුරුදහන් නොවෙයි. පිළිසරණ ඇත්තේ වෙයි.
    මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් නොවීම, බොහෝකල් පැවතීම පිණිස පවතින තෙවන හේතුව වෙයි.
  4. තව ද මෙසස්නෙහි අන් භික්ෂූන්ට පෙරටුව යන ස්ථවිර භික්ෂූහු දැඩි වීර්යයෙන් යුතු වෙති. එකලා ව විවේකයෙන් සිට ධ්‍යාන, සමාපත්ති වැඩීම සහ මාර්ග ඵල ලබාගැනීමට උත්සාහ කරති. බොහෝ බඩු මුට්ටු බහුල කොට නොගනිති. ඒ ස්ථවිර භික්ෂූහු අවබෝධ නොකළ දහම් අවබෝධයට, නොපමුණුවා ගත් දහම් පමුණුවා ගැනීමට, සාක්ෂාත් නොකළ දහම් සාක්ෂාත් කිරීමට වීර්ය කරති.
    ඔවුන් පසුපස යන නවක භික්ෂූහු ද ඒ අනුව ම යති. දැඩි වීර්යයෙන් යුතු වෙති. එකලා ව විවේකයෙන් සිට ධ්‍යාන, සමාපත්ති වැඩීම සහ මාර්ග ඵල ලබාගැනීමට උත්සාහ කරති. බොහෝ බඩු මුට්ටු බහුල කොට නොගනිති. ඒ නවක භික්ෂූහු ද අවබෝධ නොකළ දහම් අවබෝධයට, නොපමුණුවා ගත් දහම් පමුණුවා ගැනීමට, සාක්ෂාත් නොකළ දහම් සාක්ෂාත් කිරීමට වීර්ය කරති.
    මේ සද්ධර්මය ව්‍යාකූලයට පත් නොවීම, බොහෝකල් පැවතීම පිණිස පවතින සිව්වන හේතුව වෙයි.

මේ කරුණු සතර මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් නොවීම, බොහෝ කල් පැවතීම පිණිස පවතින හේතු වෙයි.


බාගත ​කිරීමට