සම්මා දිට්ඨිය උපදවා ගන්නේ කෙසේ ද?
පෙටකොපදෙසො සහ විභඞ්ගප්පකරණ ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, පෙටකොපදෙසො - පිටු අංක 2 - 5 / අභිධර්ම පිටකය, විභඞ්ගප්පකරණ 2 - පිටු අංක 162 - 163)
ශ්‍රාවකයෙකුගේ (භික්ෂු භික්ෂුණී හෝ උපාසක උපාසිකාවක ගේ) සම්මා දිට්ඨිය ඉපදීමට හේතු දෙකක් හා ප්‍රත්‍ය දෙකක් පවතියි.
හේතු දෙක - සුතමය ප්‍රඥාව
- චින්තාමය ප්‍රඥාව
ප්‍රත්‍ය දෙක - පරතෝඝෝෂය
- ආධ්‍යාත්මික යෝනිසෝමනසිකාරය
ප්‍රත්‍ය දෙක විස්තර වශයෙන්
- පරතෝඝෝෂය
- බාහිර කෙනෙකුගේ චතුරාර්ය සත්‍යය ගැන යම් දේශනාවක්, සැසඳීමක්, විස්තර කිරීමක්, බෙදා පෙන්වීමක්, ප්‍රකට කිරීමක්, ප්‍රකාශ කිරීමක් වේ ද, ඒ දේශනාවේ අවවාදයක්, අනුශාසනාවක්, සත්‍ය කථාවක්, සත්‍යානුලෝම ධර්මයක් වේ ද, එය පරතෝඝෝෂය වෙයි.
- ආධ්‍යාත්මික යෝනිසෝමනසිකාරය
- යමෙක් දහම් දේශනා කරන කල්හි බාහිර අරමුණු නොගෙන ඇසූ ධර්මය නුවණින් මෙනෙහි කිරීම ආධ්‍යාත්මික යෝනිසෝමනසිකාරය වෙයි. ඔහු මේ දුකයි, මේ සමුදයයි, මේ නිරෝධයයි, මේ මාර්ගයයි වශයෙන් මනා ව ඇසූ ධර්මය මෙනෙහි කරයි.
හේතු දෙක විස්තර වශයෙන්
- සුතමය ප්‍රඥාව
- පරතෝඝෝෂය නිසා යම් නුවණක් උපදී ද, එය සුතමය ප්‍රඥාව වෙයි.
- නුවණින් කරන ලද ක්‍රියාවලින් හෝ නුවණින් කරන ලද ශිල්පයකින් හෝ නුවණින් කරන ලද විද්‍යාවෙන් හෝ කම්මස්සකතා* වූ හෝ සත්‍ය අනුලෝමික** වූ හෝ රූපය අනිත්‍යය හෝ වේදනාව අනිත්‍යය හෝ සංඥාව අනිත්‍යය හෝ සංස්කාරය අනිත්‍යය හෝ විඥානය අනිත්‍යය හෝ මෙවැනි ඉවසීමක්, දැකීමක්, කැමැත්තක්, ප්‍රඥාවක්, බැලීමක්, සතුටු විය හැකි දැක්මක් (තේරුම් ගැනීමක්) පරතෝඝෝෂයෙන් ලබා නම් ඒ සුතමය ප්‍රඥාවයි.
- චින්තාමය ප්‍රඥාව
- ආධ්‍යාත්මික යෝනිසෝමනසිකාරය නිසා යම් ප්‍රඥාවක් උපදී ද එය චින්තාමය ප්‍රඥාව වෙයි.
- නුවණින් කරන ලද ක්‍රියාවලින් හෝ නුවණින් කරන ලද ශිල්පයකින් හෝ නුවණින් කරන ලද විද්‍යාවෙන් හෝ කම්මස්සකතා වූ හෝ සත්‍යානුලෝමික වූ හෝ රූපය අනිත්‍යය හෝ වේදනාව අනිත්‍යය හෝ සංඥාව අනිත්‍යය හෝ සංස්කාරය අනිත්‍යය හෝ විඥානය අනිත්‍යය හෝ මෙවැනි ඉවසීමක්, දැකීමක්, කැමැත්තක්, ප්‍රඥාවක්, බැලීමක්, සතුටු විය හැකි දැක්මක් පරතෝඝෝෂයෙන් නොඅසා ආධ්‍යාත්මික යෝනිසෝමනසිකාරයෙන් ලබා නම් ඒ චින්තාමය ප්‍රඥාවයි. එනම් පරතෝඝෝෂයෙන් නොවැඩුණු නුවණක් අසාගත් ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දී ලබා නම් එය චින්තාමය ප්‍රඥාවයි.
මේ හේතු දෙක හා ප්‍රත්‍ය දෙක ශ්‍රාවකයාගේ සම්මා දිට්ඨිය ඉපදීමට මුල් වෙයි.
පරතෝඝෝෂ වූ චතුරාර්ය සත්‍ය යෙදුණු දේශනාවේ අර්ථය නොදනී නම්, අර්ථය විඳී යන කරුණ සිදු නොවෙයි. අර්ථය නොවිඳී නම්, නුවණින් මෙනෙහි කළ නොහැකිය. ධර්මය අවබෝධ කළ නොහැකිය.
පරතෝඝෝෂ වූ චතුරාර්ය සත්‍ය යෙදුණු දේශනාවේ අර්ථය දනී නම්, අර්ථය විඳී යන කරුණ සිදු වෙයි. අර්ථය විඳී නම්, නුවණින් මෙනෙහි කරන්නේය යන කරුණ සිදු වෙයි.
භාවනාමය ප්‍රඥාව
සමාධිමත් වූවහුගේ හැම ප්‍රඥාව ම භාවනාමය ප්‍රඥාව වෙයි.
නිවන් සාක්ෂාත් කිරීම පිණිස මෙසේ ප්‍රඥාව උපදවා ගැනීම ම හේතු වෙයි. අරමුණ වෙයි. උපාය වෙයි. වෙන උපායක් නැත.
* කම්මස්සකතා ඥානය - දානයෙහි ඵල ඇත. යාගයෙහි ඵල ඇත. පූජාවෙහි ඵල ඇත. කුසල හා අකුසලයන් ගේ ඵල විපාක ඇත. මෙ ලොව ඇත. පර ලොව ඇත. මව ඇත. පියා ඇත. ඕපපාතික සත්වයන් ඇත. මෙ ලොව හා පර ලොව මනා ව අවබෝධ කර මැනවින් ප්‍රකාශ කරන යහපත් වූ නිවැරදි පිළිවෙතෙහි යෙදෙන මහණ බමුණන් ඇත. මෙබඳු නුවණක්, ධර්මය විමසීමක්, යහපත් දැකීමක් වේ ද මේ කම්මස්සකතා ඥානය වෙයි. සත්‍යානුලෝමික ඥානය හැර සියලු ම කුසල ප්‍රඥා කම්මස්සකතා ඥානය වෙයි.
**සත්‍ය අනුලෝමික ඥානය - රූපය අනිත්‍යයි හෝ වේදනාව අනිත්‍යයි හෝ සංඥාව අනිත්‍යයි හෝ සංස්කාරය අනිත්‍යයි හෝ විඥානය අනිත්‍යයි හෝ මෙයට අනුලෝම වූ ඉවසීමක්, විශ්වාසයක්, කැමැත්තක්, දෘෂ්ටියක්, ධර්ම අවබෝධයක් වේ ද මේ සත්‍යානුලෝමික ඥානය වෙයි.
බාගත කිරීමට 