Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / මං මුළා නොවී නිවැරදි සද්ධර්මය හඳුනාගන්නේ කෙසේ ද / මං මුළා නොවී නිවැරදි සද්ධර්මය හඳුනා ගෙන බුදු සසුන ද රැක ගෙන නිවන් දකින්නේ කෙසේ ද?

මං මුළා නොවී නිවැරදි සද්ධර්මය හඳුනා ගෙන
බුදු සසුන ද රැක ගෙන නිවන් දකින්නේ කෙසේ ද?

නිර්වාණය සාක්ෂාත් කිරීමට, සියලු දුකින් මිදීමට නම් නිවැරදි සද්ධර්මය කුමක් ද? එය හඳුනා ගන්නේ කෙසේ ද? ආදී වශයෙන් මතු වන ගැටලු විසඳා ගත යුතුය.

මෙය ඒ සඳහා ත්‍රිපිටකය තුළින් බුදු රජාණන් වහන්සේගේ සහ මහ රහතන් වහන්සේලාගේ දේශනා ඇසුරින් සරල, පැහැදිලි, ප්‍රමාණවත් කරුණු කාරණා දැක්වීමකි.

මෙකල ශාසනයේ නොයෙකුත් මතවාද සහ ධර්ම කාරණාවල නොයෙකුත් වෙනස්කම් සිදු වී ඇත්තේ මේ පිළිබඳව නුවණින් විමසා නොබැලීම හේතුවෙනි.

සද්ධර්මය යනු සියලු දුකින් මිදීම නොහොත් නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා වූ මාර්ගයයි. එය ගෞතම බුදු රජාණන් වහන්සේ තමා විසින් ම බෝ මැඩ දී අවබෝධ කොට සියලු දෙව් මිනිසුන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් ලොවට වදාළ සේක.

එය කිසිවෙකුට හෝ වෙනස් කළ නොහැකි බව නුවණින් විමසන විට ඔබට පැහැදිලි වනු ඇත.

මෙකල සද්ධර්මය පිරිසිදු ව ම පැවතියත් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ට වහල් වූ බොහෝ ගිහි සහ පැවිදි පිරිස් සද්ධර්මය මෙන් පෙනෙන අධර්මය ලොව පතුරවති. මෙසේ ඒ අනුවණයෝ තමන් ද මෙලොව පරලොව දුකට පත් වී අනුන්වත් එම දුකට ම ඇද දමති.

එම නිසා නිවැරදි සද්ධර්මය සොයා ගෙන දුකෙන් මිදීමට කැමති භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස වෙනුවෙන් මෙම ධර්ම ලිපි පෙළ ත්‍රිපිටකය ඇසුරු කර ගෙන සකස් කළෙමු.

පහත සඳහන් අනුමාතෘකා යටතේ සද්ධර්මය පිළිබඳව කරුණු දැක්වෙනු ඇත.

  1. සද්ධර්මය යනු කවරක් ද?
  2. සද්ධර්මයේ ගුණ මොනවා ද?
  3. සද්ධර්මයේ ගුණ හඳුනා ගැනීම විස්තර වශයෙන්
  4. මෙතෙක් තුනුරුවන් සරණ නොගිය කෙනෙකුට නිවැරදි සද්ධර්මය හඳුනා ගෙන තුනුරුවන් සරණ ගොස් දුකින් මිදීම සඳහා අගනා උපදෙස් මාලාවක්.
  5. තුනුරුවන් සරණ ගිය ඔබට නිවැරදි සද්ධර්මය සොයා ගැනීම සඳහා අගනා ම උපදේශය.
  6. මෙකල ඇති නානා ප්‍රකාර ධර්මයන්ගෙන් මං මුළා නොවී නිවැරදි ව චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස විමසිය යුත්තේ කෙසේ ද?
  7. නිර්මල සද්ධර්මය වැනසෙන්නේ කෙසේ ද? නිර්මල සද්ධර්මය වනසන්නේ කවුරු ද?
  8. නිර්මල සද්ධර්මය රකින්නේ කවුරු ද? කෙසේ ද?
  9. සතර සතිපට්ඨානය වැඩීමෙන් සද්ධර්මය රැකෙන්නේය.

1.  සද්ධර්මය යනු කවරක් ද?

ගෞතම බුදු රජාණන් වහන්සේ බෝ මැඩ දී සර්වඥතා ඥානයෙන් මනා ව අවබෝධ කොට ලෝ වැසියන් දුකින් මුදවනු පිණිස දේශනා කොට වදාළ සද්ධර්මය මෙසේ වෙයි.

  • සතර සතිපට්ඨානය
  • සතර සම්‍යක්ප්‍රධානය
  • සතර ඍද්ධිපාදය
  • පංච ඉන්ද්‍රිය
  • පංච බල
  • සප්ත බොජ්ඣඞ්ග
  • ආර්ය අෂ්ටාංගික මාර්ගය

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විභඞ්ගප්පකරණ 2, ඛුද්දකවත්ථුවිභඞ්ගො - පිටු අංක 234 - 235)

2.  සද්ධර්මයේ ගුණ මොනවා ද?

ස්වක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහී’ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් රාග, ද්වේෂ සහ මෝහ ප්‍රහාණය පිණිස මැනවින් දේශනා කරන ලද (ස්වක්ඛාත) ධර්මය තමා විසින් මේ ජීවිතයේ දී ම දැකිය හැකි ගුණ ඇත්තේ (සන්දිට්ඨික) වෙයි.

කල් නොයවා දෙන ඵල ඇත්තේ, කාලයකට අයිති නැති (අකාලික) වෙයි.

එව බලව යැයි කීමට සුදුසු (එහිපස්සික) වෙයි.

තමා තුළට පමුණුවා ගත යුතු (ඔපනයික) වෙයි.

නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ම දත යුතු වෙයි (පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහී’ ති).

3.  සද්ධර්මයේ ගුණ හඳුනා ගැනීම විස්තර වශයෙන්

යම් කෙනෙක් රාගය ප්‍රහාණයට (දුරු කිරීමට) ධර්මය දේශනා කරන්නේ ද, ද්වේෂය ප්‍රහාණයට ධර්මය දේශනා කරන්නේ ද, මෝහය ප්‍රහාණයට ධර්මය දේශනා කරන්නේ ද, ඒ ධර්මය ස්වක්ඛාත වෙයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 384 - 385)

කොපමණකින් ධර්මය සන්දිට්ඨික වේ ද? අකාලික වේ ද? එහිපස්සික වේ ද? ඔපනයික වේ ද? පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහී’ ති වේ ද?

රාගයෙන් රත් වූ මඩනා ලද (යටත් කොට ගන්නා ලද) සිත් ඇත්තේ තමන්ට දුක් පිණිස ද සිතයි. අනුන්ට දුක් පිණිස ද සිතයි. තමන්ට හා අනුන්ට දුක් පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් ද විඳියි.

රාගය දුරු කළ විට තමන්ට දුක් පිණිස ද නොසිතයි. අනුන්ට දුක් පිණිස ද නොසිතයි. තමන්ට හා අනුන්ට දුක් පිණිස ද නොසිතයි. මානසික දුක් දොම්නස් ද නොවිඳියි.

එසේ ම රාගයෙන් රත් වූ මඩනා ලද සිත් ඇත්තේ කයෙන් දුසිරිත් කෙරෙයි. වචනයෙන් දුසිරිත් කෙරෙයි. සිතෙන් දුසිරිත් කෙරෙයි. රාගය දුරු වූ විට කයෙන්, වචනයෙන් හා සිතෙන් දුසිරිත් නොකෙරෙයි.

රාගයෙන් රත්වුණු මැඩුණු තැනැත්තා ආත්මාර්ථය (තමාගේ යහපත) ද මැනවින් නොදනියි. පරාර්ථය (අනුන්ගේ යහපත) ද මැනවින් නොදනියි. උභයාර්ථය (ආත්මාර්ථය හා පරාර්ථය යන දෙක) ද මැනවින් නොදනියි.

රාගය දුරු වූ විට ආත්මාර්ථය මැනවින් දනියි. පරාර්ථය මැනවින් දනියි. උභයාර්ථය ද මැනවින් දනියි.

මෙසේ ඔහු ධර්මය තමා විසින් මේ ජීවිතයේ දී ම දකින්නේ වෙයි (සන්දිට්ඨික).

මෙසේ ඔහු ධර්මය කල් නොයවා දෙන ඵල ඇති, කාලයකට අයිති නැති, සැම කාලයේ ම මේ අයුරින් ම වනසුලු බව දකින්නේ වෙයි (අකාලික).

මෙසේ ඔහු ධර්මය ඇවිත් බැලීමට සුදුසු බව දකින්නේ වෙයි (එහිපස්සික).

මෙසේ ඔහු ධර්මය මේ ආකාරයෙන් තමා තුළට පමුණුවා ගත් බව දකින්නේ වෙයි (ඔපනයික).

මෙසේ ඔහු ධර්මය තම නුවණින් අවබෝධ කළ බව දකින්නේ වෙයි (පච්චත්තං වෙදිතබ්බො විඤඤුහී’ ති).

මේ අයුරින් අවබෝධ වීමෙන් රාගය දුරු කිරීමට ධර්මය මනා ව දේශනා කොට ඇති බව දකින්නේ වෙයි (ස්වක්ඛාත).

ද්වේෂයෙන් දුෂ්ට වූ මඩනා ලද සිත් ඇත්තේ තමන්ට දුක් පිණිස ද සිතයි. අනුන්ට දුක් පිණිස ද සිතයි. තමන්ට හා අනුන්ට දුක් පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් ද විඳියි.

ද්වේෂය දුරු කළ විට තමන්ට දුක් පිණිස ද නොසිතයි. අනුන්ට දුක් පිණිස ද නොසිතයි. තමන්ට හා අනුන්ට දුක් පිණිස ද නොසිතයි. මානසික දුක් දොම්නස් ද නොවිඳියි.

එසේ ම ද්වේෂයෙන් දුෂ්ට වූ මඩනා ලද සිත් ඇත්තේ කයෙන් දුසිරිත් කෙරෙයි. වචනයෙන් දුසිරිත් කෙරෙයි. සිතෙන් දුසිරිත් කෙරෙයි.

ද්වේෂය දුරු වූ විට කයෙන්, වචනයෙන් හා සිතෙන් දුසිරිත් නොකෙරෙයි.

ද්වේෂයෙන් දුෂ්ට වූ මැඩුණු තැනැත්තා ආත්මාර්ථය ද මැනවින් නොදනියි. පරාර්ථය ද මැනවින් නොදනියි. උභයාර්ථය ද මැනවින් නොදනියි.

ද්වේෂය දුරු වූ විට ආත්මාර්ථය මැනවින් දනියි. පරාර්ථය මැනවින් දනියි. උභයාර්ථය ද මැනවින් දනියි.

මෙසේ ඔහු ධර්මය තමා විසින් මේ ජීවිතයේ දී ම දකින්නේ වෙයි.

මෙසේ ඔහු ධර්මය කල් නොයවා දෙන ඵල ඇති, කාලයකට අයිති නැති, සැම කාලයේ ම මේ අයුරින් ම වනසුලු බව දකින්නේ වෙයි.

මෙසේ ඔහු ධර්මය ඇවිත් බැලීමට සුදුසු බව දකින්නේ වෙයි.

මෙසේ ඔහු ධර්මය මේ ආකාරයෙන් තමා තුළට පමුණුවා ගත් බව දකින්නේ වෙයි.

මෙසේ ඔහු ධර්මය තම නුවණින් අවබෝධ කළ බව දකින්නේ වෙයි.

මේ අයුරින් අවබෝධ වීමෙන් ද්වේෂය දුරු කිරීමට ධර්මය මනා ව දේශනා කොට ඇති බව දකින්නේ වෙයි.

මෝහයෙන් මුළා වූ මඩනා ලද සිත් ඇත්තේ තමන්ට දුක් පිණිස ද සිතයි. අනුන්ට දුක් පිණිස ද සිතයි. තමන්ට හා අනුන්ට දුක් පිණිස ද සිතයි. මානසික දුක් දොම්නස් ද විඳියි.

මෝහය දුරු කළ විට තමන්ට දුක් පිණිස ද නොසිතයි. අනුන්ට දුක් පිණිස ද නොසිතයි. තමන්ට හා අනුන්ට දුක් පිණිස ද නොසිතයි. මානසික දුක් දොම්නස් ද නොවිඳියි.

එසේ ම මෝහයෙන් මුළා වූ මඩනා ලද සිත් ඇත්තේ කයෙන් දුසිරිත් කෙරෙයි. වචනයෙන් දුසිරිත් කෙරෙයි. සිතෙන් දුසිරිත් කෙරෙයි.

මෝහය දුරු වූ විට කයෙන්, වචනයෙන් හා සිතෙන් දුසිරිත් නොකෙරෙයි.

මෝහයෙන් මුළා වූ මැඩුණු තැනැත්තා ආත්මාර්ථය ද මැනවින් නොදනියි. පරාර්ථය ද මැනවින් නොදනියි. උභයාර්ථය ද මැනවින් නොදනියි.

මෝහය දුරු වූ විට ආත්මාර්ථය ද මැනවින් දනියි. පරාර්ථය ද මැනවින් දනියි. උභයාර්ථය ද මැනවින් දනියි.

මෙසේ ඔහු ධර්මය තමා විසින් මේ ජීවිතයේ දී ම දකින්නේ වෙයි.

මෙසේ ඔහු ධර්මය කල් නොයවා දෙන ඵල ඇති, කාලයකට අයිති නැති, සැම කාලයේ ම මේ අයුරින් ම වනසුලු බව දකින්නේ වෙයි.

මෙසේ ඔහු ධර්මය ඇවිත් බැලීමට සුදුසු බව දකින්නේ වෙයි.

මෙසේ ඔහු ධර්මය මේ ආකාරයෙන් තමා තුළට පමුණුවා ගත් බව දකින්නේ වෙයි.

මෙසේ ඔහු ධර්මය තම නුවණින් අවබෝධ කළ බව දකින්නේ වෙයි.

මේ අයුරින් අවබෝධ වීමෙන් මෝහය දුරු කිරීමට ධර්මය මනා ව දේශනා කොට ඇති බව දකින්නේ වෙයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 284 - 285)

මේ ආකාරයෙන් ධර්මය රාග, ද්වේෂ සහ මෝහ ප්‍රහාණයට මනා ව දේශනා කරන ලද (ස්වක්ඛාත) බව තමා තුළින් ම දකින්නේ වෙයි.

මෙසේ ධර්මයේ ගුණ අනුව විමසා බලා නිවැරදි සද්ධර්මය සොයා ගත යුතු වෙයි. එසේ නොමැති ව තමන්ට ඇසුණු පමණින්, පොතක තිබුණු පමණින් සද්ධර්මය යැයි කියන සෑම ධර්මයක් ම විමසා නොබලා සද්ධර්මය ම ලෙස තීරණය නොකළ යුතු වෙයි.

යම් ධර්මයක් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළේ යැයි යමෙක් කියූව ද මේ සද්ධර්මයේ ගුණ සමඟ සැසඳේ නම් පමණක් පිළිගන්න.

තවකෙකුගේ කපටිකමක් හෝ වංචාවක් හෝ මෝඩකමක් නිසා ඔබ ධර්මයෙහි යෙදෙන්නේ යැයි අධර්මයෙහි යෙදී සතර අපායට යා යුතු දැයි නුවණින් විමසා බලන්න.

4.  මෙතෙක් තුනුරුවන් සරණ නොගිය කෙනෙකුට නිවැරදි සද්ධර්මය හඳුනා ගෙන තුනුරුවන් සරණ ගොස් දුකින් මිදීම සඳහා අගනා උපදෙස් මාලාවක්

බුදු රජාණන් වහන්සේ කාලාමයන්ට දෙසූ දෙසුම ඇසුරින්

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 336 - 345)

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ, මහත් වූ භික්ෂු සංඝයා සමඟ කොසොල් දනව්වේ චාරිකා කරමින් කාලාමයන්ගේ කේසපුත්ත නියම් ගමට වැඩි සේක. බුදු රජාණන් වහන්සේ ගැන මහත් වූ කීර්ති රාවයක් කේසපුත්තයෙහි පැතිරිණ.

එකල්හි කේසපුත්ත කාලාමයෝ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, කෙනෙක් වැඳ එකත් පස් ව සිටියහ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සිහි කටයුතු සහ සතුටු විය යුතු කතා කොට එකත් පස් ව සිටියහ. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේට වැඳගෙන එකත් පස් ව සිටියහ. ඇතැම්හු නිශ්ශබ්ද ව එකත් පස් ව සිටියහ.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඇතැම් මහණ බමුණෝ මෙහි පැමිණ ඔවුන්ගේ මතය ම මතු කරති, පෙන්වති, අන් මතයන්ට ගරහති, හෙළා දකිති, පරිභව කරති. එසේ ම අන්‍ය මහණ බමුණෝ ද මෙහි පැමිණෙති. ඔවුහු ද තම මතය ම දක්වති, පෙන්වති, අනෙකුත් මතවලට ගරහති, හෙළා දකිති, පරිභව කරති. ස්වාමීනි, අපට මේ පින්වත් මහණ බමුණන්ගෙන් කවුරු සත්‍ය කියනවා ද, කවුරු බොරු කියනවා ද කියා සැක ඇති වෙනවා. විචිකිච්ඡා ඇති වෙනවා”.

“කාලාමයෙනි, ඔබ සැක කරන්නට සුදුසුමය, විචිකිච්ඡා කරන්නට සුදුසුමය. සැක කළ යුතු කරුණෙහි ම විචිකිච්ඡාව ඉපදී ඇත.

කාලාමයෙනි, තෙපි කිසියම් දහමක්

  • කට කතාවෙන් ආ පමණින් ගන්න එපා.
  • පරම්පරා කතාවෙන් ද ගන්න එපා.
  • මෙසේ වූ යැයි කීව ද ගන්න එපා.
  • පිටකයට සමාන යැයි ද ගන්න එපා.
  • තර්ක කර දැක්වූ පමණින් ද ගන්න එපා.
  • ක්‍රමවත් බව නිසා ද ගන්න එපා.
  • සැලකිලිමත් ලෙස සලකා බැලූ පමණින් ද ගන්න එපා.
  • තම දෘෂ්ඨියට ගැළපෙන පමණින් ද ගන්න එපා.
  • සුදුසුකම් සැලකීම වශයෙන් (පිළිගත යුතු කෙනෙක් කියන බැවින්) ද ගන්න එපා.
  • ඒ ශ්‍රමණ තෙම තමන්ගේ ගුරුවරයා යැයි ද ගන්න එපා.

යම් විටෙක තෙපි මේ දහම් අකුසල් (අයහපත් දේ, පව්) වේ, මේ දහම් වරද සහිතය, මේ දහම් පණ්ඩිතයන් විසින් ගරහන ලදි, මේ දහම් පුරණ ලද්දාහු (සම්පූර්ණ කරන ලද්දාහු) සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස, දුක් පිණිස පවතී යැයි තමා විසින් ම වටහා ගනී නම් එය දුරු කරව.

කාලාමයෙනි, කෙසේ සිතවු ද? ලෝභය පුරුෂයා තුළ ඉපදීම හිත පිණිස වේ ද? අහිත පිණිස වේ ද?”

“ස්වාමීනි, අහිත පිණිස වෙයි”.

“කාලාමයෙනි, දැඩි ලෝභය සහිත පුරුෂයා, ලෝභයෙන් මඩනා ලද සිත් ඇත්තේ, හාත්පසින් යටත් කොට ගන්නා ලද සිත් ඇත්තේ ප්‍රාණඝාතය ද කරයි. හොරකම් ද කරයි. කාමය වරදවා ද හැසිරෙයි. බොරු ද කියයි. අන් අය ද ඒ අකුසල් පිණිස සමාදන් කරවයි. එය ඔහුට දිගු කලක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ද?”

“එසේය ස්වාමීනි”.

“කාලාමයෙනි, කෙසේ සිතවු ද? ද්වේෂය (තරහ) පුරුෂයා තුළ ඉපදීම හිත පිණිස වේ ද? අහිත පිණිස වේ ද?”

“ස්වාමීනි, අහිත පිණිස වෙයි”.

“කාලාමයෙනි, දුෂ්ට වූ පුරුෂයා ද්වේෂයෙන් මඩනා ලද සිත් ඇත්තේ, හාත්පසින් යටත් කොට ගන්නා ලද සිත් ඇත්තේ ප්‍රාණඝාතය ද කරයි. හොරකම් ද කරයි. කාමය වරදවා ද හැසිරෙයි. බොරු ද කියයි. අන් අය ද ඒ අකුසල් පිණිස සමාදන් කරවයි. එය ඔහුට දිගු කලක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ද?”

“එසේය ස්වාමීනි”.

“කාලාමයෙනි, කෙසේ සිතවු ද? මෝහය (මෝඩකම) පුරුෂයා තුළ ඉපදීම හිත පිණිස වේ ද? අහිත පිණිස වේ ද?”

“ස්වාමීනි, අහිත පිණිස වෙයි”.

“කාලාමයෙනි, මුළා වූ පුරුෂයා මෝහයෙන් මඩනා ලද සිත් ඇත්තේ, හාත්පසින් යටත් කොට ගන්නා ලද සිත් ඇත්තේ ප්‍රාණඝාතය ද කරයි. හොරකම් ද කරයි. කාමය වරදවා ද හැසිරෙයි. බොරු ද කියයි. අන් අය ද ඒ අකුසල් පිණිස සමාදන් කරවයි. එය ඔහුට දිගු කලක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ද?”.

“එසේය ස්වාමීනි”.

“කාලාමයෙනි, කෙසේ සිතවු ද? මේ දහම් කුසල් (යහපත් දේ) ද? අකුසල් ද?”

“ස්වාමීනි අකුසල්ය”.

“පණ්ඩිතයන් විසින් ගරහන ලද්දාහු වෙත් ද? ප්‍රශංසා කරන ලද්දාහු වෙත් ද?”.

“පණ්ඩිතයන් විසින් ගරහන ලද්දාහු වෙති”.

“මේ දහම් පුරණ ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස පවතී ද? එසේ නොවන්නේ ද? ඔබලාට කෙසේ සිතේ ද?”

“ස්වාමීනි, අහිත පිණිස, දුක් පිණිස වේ යැයි අපට සිත් වෙයි”.

“කාලාමයෙනි, කට කතාවෙන් ආව ද, පරම්පරා කතාවෙන් ආව ද, මෙසේ වූ යැයි කීව ද, පිටකයට සමාන යැයි ද, තර්ක කර දැක්වූ පමණින් ද, ක්‍රමවත් බව නිසා ද, සැලකිලිමත් ලෙස සලකා බැලූ පමණින් ද, තම දෘෂ්ටියට ගැළපුන ද, සුදුසුකම් සැලකීම වශයෙන් ද, ඒ ශ්‍රමණ තෙම තමන්ගේ ගුරුවරයා නිසා ද ගන්නත් එපා, යම් විටෙක මේ දහම් අකුසල් වේ, මේ දහම් වරද සහිතය, මේ දහම් පණ්ඩිතයන් විසින් ගරහන ලදි, මේ දහම් සම්පූර්ණ කරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස, දුක් පිණිස පවතී යැයි තමා විසින් ම වටහා ගනී නම් මෙය දුරු කරව යැයි තෙපිට යමක් පවසන ලද්දේ ද එය මේ සඳහා කියන ලද්දෙමි”.

“එසේ ම කාලාමයෙනි, කිසියම් දහමක් කට කතාවෙන් ආව ද, පරම්පරා කතාවෙන් ආව ද, මෙසේ වූ යැයි කීව ද, පිටකයට සමාන යැයි ද, තර්ක කර දැක්වූ පමණින් ද, ක්‍රමවත් බව නිසා ද, සැලකිලිමත් ලෙස සලකා බැලූ පමණින් ද, තම දෘෂ්ටියට ගැළපුන ද, සුදුසුකම් සැලකීම වශයෙන් ද, මේ ශ්‍රමණ තෙම තමාගේ ගුරුවරයා නිසා ද ගන්න එපා.

යම් කලෙක මේ දහම් කුසල් වේ, නිවැරදි වේ, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාහුය, මේ දහම් සම්පූර්ණ කරන විට, පුරුදු කරන විට, සමාදන් කරන විට, හිත පිණිසල සැප පිණිස පවතී යැයි තමන් විසින් ම වටහා ගනී නම් ඒ දහම් උපයා ගෙන වාසය කරව”.

“කාලාමයෙනි, අලෝභය (ලෝබ නැතිකම) තමා තුළ ඉපදීම හිත පිණිස වේ දැයි අහිත පිණිස වේ දැයි ඔබට කෙසේ වැටහෙන්නේ ද?”

“ස්වාමීනි, හිත පිණිසය”.

“කාලාමයෙනි, ගිජු නොවූ, ලෝභයෙන් නොමඩනා ලද, ලෝභයට වහල් නොවූ සිත් ඇත්තේ ප්‍රාණඝාතය නොකරයි. හොරකම් නොකරයි. වැරදි කාම සේවනයේ නොයෙදෙයි. බොරු නොකියයි. අන් අය ද ඒ කුසල් පිණිස සමාදන් කරවයි. එය ඔහුට දිගු කලක් හිත සුව පිණිස පවතින්නේ ද?”

“එසේය ස්වාමීනි”.

“එසේ ම කාලාමයෙනි, මෛත්‍රී සහගත පුරුෂ තෙම ද්වේෂයෙන් යටත් නොවූ මෝහ සහගත සිත් නැති ව වසන බැවින් ඔහු ප්‍රාණඝාතය නොකරයි. හොරකම් නොකරයි. වැරදි කාම සේවනයේ නොයෙදෙයි. බොරු නොකියයි. අන් අය ද ඒ කුසල් පිණිස සමාදන් කරවයි. එය ඔහුට දිගු කලක් හිත සුව පිණිස පවතින්නේ ද?”

“එසේය ස්වාමීනි”.

“එසේ ම කාලාමයෙනි, මුළා නොවූ පුරුෂයා මෝහයෙන් යටත් නොවූ මෝහ සහගත සිත් නැති ව වසන බැවින් ඔහු ප්‍රාණඝාතය නොකරයි. හොරකම් නොකරයි. වැරදි කාම සේවනයේ නොයෙදෙයි. බොරු නොකියයි. අන් අය ද ඒ කුසල් පිණිස සමාදන් කරවයි. එය ඔහුට දිගු කලක් හිත සුව පිණිස පවතින්නේ ද?”

“එසේය ස්වාමීනි”.

“කාලාමයෙනි, කෙසේ සිතවු ද? මේ දහම් කුසල් ද? අකුසල් ද?”

“ස්වාමීනි, කුසල්ය”.

“නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනු ලබත් ද? ගරහනු ලබත් ද?”

“ස්වාමීනි, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනු ලබති”.

“මේ දහම් සම්පූර්ණ කිරීම, සමාදන් වීම, හිත සුව පිණිස වේ ද? එසේ නොවේ ද? මේ පිළිබඳව ඔබලාට කෙසේ හැඟේ ද?”

“ස්වාමීනි, හිත සුව පිණිස වේ යැයි අපට හැඟේ”.

“එබැවින් කාලාමයෙනි, කිසියම් දහමක් කට කතාවෙන් ආව ද, පරම්පරා කතාවෙන් ආව ද, මෙසේ වූ යැයි කීව ද, පිටකයට සමාන යැයි කීව ද, තර්ක කර දැක්වූ පමණින් ද, ක්‍රමවත් බව නිසා ද, සැලකිලිමත් ලෙස සලකා බැලූ පමණින් ද, තම දෘෂ්ටියට ගැළපුන ද, සුදුසුකම් සැලකීම වශයෙන් ද, ඒ ශ්‍රමණ තෙම තමාගේ ගුරුවරයා නිසා ද ගන්න එපා.

යම් කලෙක මේ දහම් කුසල් වෙති, නිවැරදි වෙති, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාහුය, මේ දහම් සම්පූර්ණ කරන විට, පුරුදු කරන විට, සමාදන් කරන විට හිත පිණිස, සැප පිණිස පවතී යැයි තමන් විසින් ම වටහා ගනී නම් ඒ දහම් උපයා ගෙන වාසය කරව යැයි තෙපිට යමක් කියන ලද්දේ ද එය මේ සඳහා කියන ලදි.

මෙසේ ආර්ය ශ්‍රාවක තෙම පහ වූ අභිධ්‍යා ඇති ව, පහ වූ ව්‍යාපාද ඇති ව, මුළා නොවූයේ, මනා නුවණ ඇති ව, එළඹි සිහිය ඇති ව, මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවන, තෙවන, හතරවන දිශාවන් ද, උඩ ද, යට ද, සරස ද, සියලු ලෝකය ද පැතිරුණු, මහග්ගත, අප්‍රමාණ වූ අවෛරී වූ ව්‍යාපාද රහිත වූ සිතින් පතුරුවා වාසය කරයි.

කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවන, තෙවන, හතරවන දිශාවන් ද, උඩ ද, යට ද, සරස ද, සියලු ලෝකය ද පැතිරුණු, මහග්ගත, අප්‍රමාණ වූ අවෛරී වූ ව්‍යාපාද රහිත වූ සිතින් පතුරුවා වාසය කරයි.

මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවන, තෙවන, හතරවන දිශාවන් ද, උඩ ද, යට ද, සරස ද සියලු ලෝකය ද පැතිරුණු, මහග්ගත, අප්‍රමාණ වූ අවෛරී වූ ව්‍යාපාද රහිත වූ සිතින් පතුරුවා වාසය කරයි.

උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවන, තෙවන, හතරවන දිශාවන් ද, උඩ ද, යට ද, සරස ද, සියලු ලෝකය ද පැතිරුණු, මහග්ගත, අප්‍රමාණ වූ අවෛරී වූ ව්‍යාපාද රහිත වූ සිතින් පතුරුවා වාසය කරයි.

කාලාමයෙනි, ඒ ආර්ය ශ්‍රාවකයා මෙසේ වෛර නැති සිතැති ව, ද්වේෂ නැති සිතැති ව, නොකිලිටි සිතැති ව, පිරිසිදු සිතැති ව මේ ජීවිතයේ ම දුක් නැති සැනසීම් සතරක් ලබා ගනියි.

  1. ඉදින් පරලොවක් වේ නම් ‘කුසල අකුසල කර්මවල විපාක වේ නම්, මරණින් මතු සුන්දර ගති ඇති දෙව් ලොවෙහි උපදින්නෙමි’ යැයි පළමුවන සැනසීමෙන් යුතු අවබෝධය වෙයි.
  2. ඉදින් පරලොවක් නැත්නම්, කුසල අකුසල කර්මවල විපාක නොවේ නම් ‘මේ ජීවිතයේ මම වෛර රහිත, ක්‍රෝධ රහිත, දුක් නැති සැපවත් ජීවිතයක් ගෙවමි’ යැයි දෙවන සැනසීමෙන් යුතු අවබෝධය වෙයි.
  3. ඉදින් (පව්) කරන විට පව් සිදු වන්නේ ද ‘මම වනාහි කිසිවෙකුට පාපයක් කිරීමට නොසිතමි. පව් නොකරන මට කෙසේ දුකක් ලැබේ ද?’ එසේ දුක් නොලැබීම නිසා තුන්වන සැනසීමෙන් යුතු අවබෝධය වෙයි.
  4. ඉදින් (පව්) කරන විට පව් සිදු නොවේ ද ‘මම මේ දෙපක්‍ෂයෙන් ම (පව් සිදු වුව ද නොවුව ද) පිරිසිදු ජීවිතයක් ගෙවමි’ යැයි හතරවන සැනසීමෙන් යුතු අවබෝධය වෙයි.

කාලාමයෙනි, මෙසේ වෛර නැති, ද්වේෂ නැති, කිලිටි නැති, පිරිසිදු සිතැති ව වසන ආර්ය ශ්‍රාවකයා මේ දුක් නැති සැනසීමෙන් යුතු අවබෝධ සතර මේ ජීවිතයේ ම ලබා ගන්නේ වේ ද?”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එසේ ම වෙයි. සුගතයන් වහන්ස එසේ ම වෙයි. වෛර නැති, ද්වේෂ නැති, කිලිටි නැති, පිරිසිදු සිතැති ව වසන ආර්ය ශ්‍රාවකයා මේ දුක් නැති සැනසීමෙන් යුතු අවබෝධ සතර මේ ජීවිතයේ ම ලබා ගනියි”.

“ස්වාමීනි, ඉතා යහපති. ඉතා යහපති.

  • මුණින් නැමූ දෙයක් උඩුකුරු කර පෙන්වන්නා සේ,
  • වැසූ දෙයක් විවෘත කර පෙන්වන්නා සේ,
  • මං මුළා වූ කෙනෙකුට මග කියන්නා සේ,
  • අඳුරේ සිටිනා කෙනෙකුට ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දල්වන්නා සේ,

ඔබ වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදි. අපි බුදු රජාණන් වහන්සේ, ධර්මය හා සංඝයා සරණ යන්නෙමු. භාග්‍යවතුන් වහන්ස, අපි අද පටන් දිවිහිම් කොට තුනුරුවන් සරණ ගිය උපාසකයන් වශයෙන් දරන සේක්වා” යැයි කාලාමයෝ පැවසූහ.

මහා නන්දක තෙරණුවෝ සාල්හ සිටුතුමාට ඉහත පරිදි ම දේශනා කොට, ඉන් අනතුරු ව නිවන දක්වා ම විස්තර කළ සේක.

(එම කොටස පමණක් පහත සඳහන් වෙයි.)

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 345 - 351)

මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් යුතු ව වසන ආර්ය ශ්‍රාවකයා මෙසේ දැනගනියි. හීන (ලාමක) දේ ඇත. ප්‍රනීත (උසස්) දේ ඇත. මේ සියලු සංඥාවන්ගේ මතු නිස්සරණයක් (නිදහස් වීමක්, සසරෙන් නිදහස් වීමක්) ද ඇත.

මෙසේ දන්නා වූ දක්නා වූ ඔහුගේ සිත කාම ආශ්‍රවයෙන් ද මිදෙයි. භව ආශ්‍රවයෙන් ද මිදෙයි. අවිද්‍යා ආශ්‍රවයෙන් ද මිදෙයි. මිදුණේ යැයි නුවණ ද වෙයි. ඉපදීම ක්ෂය විය. බඹසර වැසීම සමිපූර්ණ විය. කළ යුත්ත කරන ලදි. මත්තේ කළ යුත්තක් නැති බව දැනගනියි.

පෙර ලෝභයක් වී ද එය අකුසල් විය. එම ලෝභය දැන් නැත. මෙසේ මෙය කුසල්ය.

පෙර ද්වේෂයක් වී ද එය අකුසල් විය. එම ද්වේෂය දැන් නැත. මෙසේ මෙය කුසල්ය.

පෙර මෝහයක් වී ද එය අකුසල් විය. එම මෝහය දැන් නැත. මෙසේ මෙය කුසල්ය.

මෙසේ මෙලොවෙහි ම තණ්හාව රහිත ව, නිවුණු, සංසිඳුණු, සැප විඳිනසුලු වූ ඉතා ශ්‍රේෂ්ඨ බ්‍රහ්ම විහරණයෙන් වාසය කෙරෙයි.

දුක නැති කිරීම හෙවත් නිවන් දැකීම යනු ලෝභය, ද්වේෂය සහ මෝහය ප්‍රහාණය කිරීම වෙයි. බුදු රජාණන් වහන්සේ විසින් දුක නැති කිරීම පිණිස ධර්මය දේශනා කළ සේක. යම් ධර්මයක යෙදෙන විට ලෝභ, ද්වේෂ සහ මෝහ නොවැඩෙයි නම්, ලෝභ, ද්වේෂ සහ මෝහ දුරු වෙයි නම් ඒ ධර්මය සද්ධර්මය ම වෙයි.

කැමැත්ත හෙවත් ලෝභය නිරෝධ වීමට නම් ලෝභ කිරීමට කිසිවක් නොතිබිය යුතු වෙයි.

තරහ හෙවත් ද්වේෂය නිරෝධ වීමට නම් ද්වේෂ කිරීමට කිසිවක් නොතිබිය යුතු වෙයි.

මෝඩකම හෙවත් මෝහය නිරෝධ වීමට නම් රැවටීමට කිසිවක් නොතිබිය යුතු වෙයි.

එනම් ලෝකය හෝ ලෝකයෙහි කිසිවක් තිබුණහොත් දුකෙන් මිදීමට ද නොහැකි වෙයි.

ඒ මක් නිසා ද යත් ඇති යමක් හමු වුවහොත් එයට ලෝභ, ද්වේෂ සහ මෝහ ඇති වීම වැළැක්විය නොහැකි බැවිනි.

5.  තුනුරුවන් සරණ ගිය ඔබට නිවැරදි සද්ධර්මය සොයා ගැනීම සඳහා අගනා ම උපදේශය

සතර මහා අපදේශ

මහාපරිනිබ්බාන සූත්‍රය හා යුක්තිහාරවිභඩ්ග යන දෙසුම් ඇසුරින්

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, දීඝ නිකාය 2, මහාපරිනිබ්බාන සූත්‍රය - පිටු අංක 194 - 197 / ඛුද්දක නිකාය, නෙත්තිප්පකරණ, යුක්තිහාරවිභඞ්ග - පිටු අංක 38 - 39)

  1. මෙය ධර්මය, මෙය විනය හා මෙය ශාස්තෘ ශාසනයයි භාග්‍යවතුන් වහන්සේ හමුවේ අසන ලදි, පිළිගන්නා ලදි යැයි යම් භික්ෂුවක් පැවසුව ද එය නොපිළිගත යුතුය. බැහැර නොකළ යුතුය.
    ඒ පද ව්‍යඤ්ජන හොඳින් ඉගෙන ගෙන,
    • සූත්‍රයෙහි බහා (වැරදි නිවැරදි භාවය) බැලිය යුතුය.
    • විනයෙහි සසඳා බැලිය යුතුය.
    • ධර්මතාවයට එකඟ දැයි බැලිය යුතුය.
    • සූත්‍රය නම් චතුරාර්ය සත්‍ය වෙයි.
      කෙසේ චතුරාර්ය සත්‍යයට බහා බලන්නේ ද යත්;
      ඒ උගත් ධර්ම දුකට අයිති නම් ඒ ධර්ම පිරිසිඳ දත යුතු ධර්ම ලෙස දක්වා තිබිය යුතුය.
      ඒ උගත් ධර්ම දුක්ඛ සමුදයට අයිති නම් ඒ ධර්ම ප්‍රහාණය කළ යුතු ධර්ම ලෙස දක්වා තිබිය යුතුය.
      ඒ උගත් ධර්ම දුක්ඛ නිරෝධයට අයිති නම් ඒ ධර්ම සාක්ෂාත් කළ යුතු ධර්ම ලෙස දක්වා තිබිය යුතුය.
      ඒ උගත් ධර්ම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට අයිති නම් ඒ ධර්ම වැඩිය යුතු ධර්ම ලෙස දක්වා තිබිය යුතුය.
    • විනය නම් රාග විනය, ද්වේෂ විනය හා මෝහ විනයයි. එනම් රාග, ද්වේෂ සහ මෝහ ප්‍රහාණයයි.
      එසේ උගත් ධර්ම ශාස්තෘ ශාසනය නම් එයින් රාගය, ද්වේෂය සහ මෝහය ප්‍රහාණය වන බව පැහැදිලි ව දක්වා තිබිය යුතුය.
      ඒ මක් නිසා ද යත් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය රාග, ද්වේෂ සහ මෝහ ප්‍රහාණය පිණිස, එනම් නිවන පිණිස මනා ව කියන ලද (ස්වක්ඛාත) බැවිනි.
    • ධර්මතාවය නම් පටිච්චසමුප්පාදයයි.
      ඒ උගත් ධර්මය නිවැරදි නම් ඒ ධර්ම ධර්මතාවයට, එනම් පටිච්චසමුප්පාදයට මනා ව එකඟ ව පැවතිය යුතුය.
      මෙසේ ගළපා බලා මනා ව නොගැළපේ නම් එය භාග්‍යවතුන් වහන්සේගේ වචන නොවෙයි. මේ භික්ෂුව වරදවා ගත් දෙයක් ලෙසින් නිශ්චයට යා යුතුය. එම ධර්ම බැහැර කළ යුතුය.
      මෙසේ ගළපා බලා මනා ව ගැළපේ නම් එය භාග්‍යවතුන් වහන්සේගේ ම වචන වශයෙන් ගත යුතුය. නිශ්චයට යා යුතුය. ඒ මහණ මැනවින් ඉගෙන ගෙන ඇත.
  2. යම් භික්ෂුවක් මෙය ධර්මයයි, මෙය විනයයි, මෙය ශාස්තෘ ශාසනයයි අසවල් ආවාසයේ වෙසෙන ස්ථවිරයන් සහිත, සංඝ නායකයන් සහිත සංඝයා පැවසූ බව කියූව ද එය නොපිළිගත යුතුය. බැහැර නොකළ යුතුය.
    ඒ පද ව්‍යඤ්ජන හොඳින් ඉගෙන ගෙන, සූත්‍රයෙහි බහා බැලිය යුතුය. විනයෙහි සසඳා බැලිය යුතුය. ධර්මතාවයට එකඟ දැයි බැලිය යුතුය.
    මෙසේ ගළපන කල මනා ව නොගැළපේ නම් මේ භාග්‍යවතුන් වහන්සේගේ වචන නොවෙයි. ඒ භික්ෂූන් වහන්සේලා විසින් වරදවා ගත්තකි යැයි නිශ්චය කර නොපිළිගත යුතුය. බැහැර කළ යුතුය.
    මෙසේ ගළපා බලන කල මනා ව ගැළපේ නම් එය භාග්‍යවතුන් වහන්සේගේ ම වචනයකි. ඒ භික්ෂූන් වහන්සේලා නිවැරදි ව ඉගෙන ගත්තක් වශයෙන් නිශ්චයට යා යුතුය.
  3. යම් භික්ෂුවක් මෙය ධර්මය, මෙය විනය හා මෙය ශාස්තෘ ශාසනයයි යනුවෙන් අසවල් ආවාසයේ වෙසෙන බහුශ්‍රැත, අධිගත (අවබෝධ කළ), ධර්මධර, විනයධර, මාතෘකාධර බොහෝ ස්ථවිර භික්ෂූන්ගෙන් අසන ලදැයි පැවසුව ද එය නොපිළිගත යුතුය. බැහැර නොකළ යුතුය.
    ඒ පද ව්‍යඤ්ජන හොඳින් ඉගෙන ගෙන, සූත්‍රයෙහි බහා බැලිය යුතුය. විනයෙහි සසඳා බැලිය යුතුය. ධර්මතාවයට එකඟ දැයි බැලිය යුතුය.
    මෙසේ ගළපන කල මනා ව නොගැළපේ නම් මේ භාග්‍යවතුන් වහන්සේගේ වචන නොවෙයි. ඒ ස්ථවිරයන් වහන්සේලා වරදවා ගත්තක් යැයි නිශ්චය කර නොපිළිගත යුතුය. බැහැර කළ යුතුය.
    මෙසේ ගළපා බලන කල මනා ව ගැළපේ නම් එය භාග්‍යවතුන් වහන්සේගේ ම වචනයකි. ඒ ස්ථවිරයන් වහන්සේලා නිවැරදි ව ඉගෙන ගත්තක් වශයෙන් නිශ්චයට යා යුතුය.
  4. මෙය ධර්මය, මෙය විනය හා මෙය ශාස්තෘ ශාසනයයි යනුවෙන් අසවල් ආවාසයේ වෙසෙන බහුශ්‍රැත, අධිගත, ධර්මධර, විනයධර හා මාතෘකාධර එක් ස්ථවිරයන් වහන්සේ නමක් පැවසූ බව යම් භික්ෂුවක් කියූව ද එය නොපිළිගත යුතුය. බැහැර නොකළ යුතුය.
    ඒ පද ව්‍යඤ්ජන හොඳින් ඉගෙන ගෙන, සූත්‍රයෙහි බහා බැලිය යුතුය. විනයෙහි සසඳා බැලිය යුතුය. ධර්මතාවයට එකඟ දැයි බැලිය යුතුය.
    මෙසේ ගළපන කල මනා ව නොගැළපේ නම් එය භාග්‍යවතුන් වහන්සේගේ වචන නොවෙයි. ඒ ස්ථවිරයන් වහන්සේ වරදවා ගත්තකි යැයි නිශ්චය කර එය බැහැර කළ යුතුය.
    මෙසේ ගළපන විට මනා ව ගැළපේ නම් එය භාග්‍යවතුන් වහන්සේගේ ම වචනයකි. ඒ ස්ථවිරයන් වහන්සේ මැනවින් ඉගෙන ගෙන ඇතැයි නිශ්චයට යා යුතුය. පිළිගත යුතුය.

6.  මෙකල ඇති නානා ප්‍රකාර ධර්මයන්ගෙන් මං මුළා නොවී නිවැරදි ව චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස විමසිය යුත්තේ කෙසේ ද?

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මජ්ඣිම නිකාය 2, චඞ්කී සූත්‍රය - පිටු අංක 646 - 667)

  1. ශ්‍රද්ධාවෙන්, කැමැත්තෙන්, සම්ප්‍රදායෙන්, තර්කානුකූල ව සිතා බැලීමෙන්, තමාගේ වැටහීමට අනුව ධර්මය ඉවසා දරා ගැනීමෙන් ඇති වන දෝෂ කවරේ ද?
  2. සත්‍යය ආරක්ෂා කරන නුවණැති ප්‍රඥාවන්තයෙකුගේ හැසිරීම කෙසේ වේ ද?
  3. නිවැරදි ව සත්‍යය හඳුනා ගැනීම පිණිස ශ්‍රද්ධාව ඇති කර ගැනීමට නුවණින් විමසන්නේ කෙසේ ද?
  4. සත්‍ය අවබෝධය කෙසේ වේ ද?
  5. සත්‍ය අනුප්‍රාප්තිය කෙසේ වේ ද?
  1. ශ්‍රද්ධාවෙන්, කැමැත්තෙන්, සම්ප්‍රදායෙන්, තර්කානුකූල ව සිතා බැලීමෙන්, තමාගේ වැටහීමට අනුව ධර්මය දරා ගැනීමෙන් ඇති වන දෝෂ කවරේ ද යත්;
    යම් පුද්ගලයෙක් යම් ධර්මයක් ශ්‍රද්ධාව (භක්තිය, ඇදහීම) හේතුවෙන් හෝ කැමැත්ත (රුචිය, මනාපය) හේතුවෙන් හෝ පරම්පරාවෙන් එන මතයක් (සම්ප්‍රදායක් හෝ චාරිත්‍රයක්) බැවින් හෝ තර්කානුකූල ව සිතා බැලීම හේතුවෙන් හෝ තමාගේ වැටහීමට අනුව ඉවසා දරා ගැනීම හේතුවෙන් පිළිගනියි.
    මේ පස් වැදෑරුම් ධර්මයෝ මෙලොව දී ම දෙආකාරයකින් විපාක දෙයි.
    • මනා ව ශ්‍රද්ධාවෙන් අදහන නමුත් සමහර විට එය හිස් දෙයක් ද වෙයි, නීච එනම් පිළිකුල් සහගත වෙයි, බොරුවක් ද වෙයි.
      නොඅදහන නමුත් සමහර විට එය සත්‍ය වෙයි, සැබෑ වෙයි, ඒ අයුරින් ම වෙයි.
    • එසේ ම මනා ව කැමැත්තෙන් ගත් නමුත් සමහර විට එය හිස් දෙයක් ද වෙයි, නීච ද වෙයි, බොරුවක් ද වෙයි.
      අකමැති නිසා නොගත් නමුත් සමහර විට එය සත්‍ය වෙයි, සැබෑ වෙයි, ඒ අයුරින් ම වෙයි.
    • එසේ ම මනා ව පරම්පරාවෙන් ම ආ මතයක් වූ නමුත් සමහර විට එය හිස් දෙයක් ද වෙයි, නීච ද වෙයි, බොරුවක් ද වෙයි.
      පරම්පරාවෙන් ම වැරදි යැයි සම්මත මතයක් වූ නමුත් සමහර විට එය සත්‍ය වෙයි, සැබෑ වෙයි, ඒ අයුරින් ම වන නිවැරදි මතයක් ම වෙයි.
    • එසේ ම මනා ව තර්කානුකූල ව සිතා බැලීමෙන් ගත් නමුත් සමහර විට එය හිස් දෙයක් ද වෙයි, නීච ද වෙයි, බොරුවක් ද වෙයි.
      මනා ව තර්කානුකූල ව සිතා බැලීමෙන් නොගත් නමුත් සමහර විට එය සත්‍ය වෙයි, සැබෑ වෙයි, ඒ අයුරින් ම වෙයි.
    • එසේ ම තමාගේ වැටහීමට අනුව ඉවසා දරා ගැනීමෙන් ගත් නමුත් සමහර විට එය හිස් දෙයක් ද වෙයි, නීච ද වෙයි, බොරුවක් ද වෙයි.
      තමාගේ වැටහීමට අනුව ඉවසා දරා ගැනීමෙන් නොගත් නමුත් සමහර විට එය සත්‍ය වෙයි, සැබෑ වෙයි, ඒ අයුරින් ම වෙයි.
      මේ යම් පුද්ගලයෙකු යම් ධර්මයක් ශ්‍රද්ධාවෙන් හෝ කැමැත්තෙන් හෝ පරම්පරාවෙන් එන මතයක් බැවින් හෝ තර්කානුකූල ව සිතා බැලීමෙන් හෝ තමාගේ වැටහීමට අනුව ඉවසා දරා ගැනීමෙන් පිළිගැනීම නිසා වන දෝෂයෝ වෙති.
  2. සත්‍යය ආරක්ෂා කරන නුවණැති ප්‍රඥාවන්තයෙකුගේ හැසිරීම කෙසේ වේ ද යත්;
    ආරක්ෂා කරන නුවණැති ප්‍රඥාවන්තයෙකු විසින් යම් ධර්මයක් ශ්‍රද්ධාවෙන් හෝ කැමැත්තෙන් හෝ පරම්පරාවෙන් එන මතයක් බැවින් හෝ තර්කානුකූල ව සිතා බැලීමෙන් හෝ තමාගේ වැටහීමට අනුව ඉවසා දරා ගැනීමෙන් පිළිගත්ත ද ‘මෙය ම සත්‍ය වෙයි, අන් සියල්ල ම හිස්ය’ ලෙස ඒකාන්තයෙන් තීරණය නොකළ යුතුය.
    එසේ ම සත්‍යය ආරක්ෂා කරන නුවණැති ප්‍රඥාවන්තයෙකු විසින්,
    යම් ධර්මයක් ශ්‍රද්ධාවෙන් අදහන නමුත් ‘මෙය ම සත්‍ය වෙයි, අන් සියල්ල ම හිස්ය’ ලෙස ඒකාන්තයෙන් තීරණය නොකරයි.
    යම් ධර්මයක් කැමැත්තෙන් ගත් නමුත් ‘මෙය ම සත්‍ය වෙයි, අන් සියල්ල ම හිස්ය’ ලෙස ඒකාන්තයෙන් තීරණය නොකරයි.
    යම් ධර්මයක් පරම්පරාවෙන් ම ආ මතයක් වූ නමුත් ‘මෙය ම සත්‍ය වෙයි, අන් සියල්ල ම හිස්ය’ ලෙස ඒකාන්තයෙන් තීරණය නොකරයි.
    යම් ධර්මයක් මනා ව තර්කානුකූල ව සිතා බැලීමෙන් ගත් නමුත් ‘මෙය ම සත්‍ය වෙයි, අන් සියල්ල ම හිස්ය’ ලෙස ඒකාන්තයෙන් තීරණය නොකරයි.
    යම් ධර්මයක් තමාගේ වැටහීමට අනුව ඉවසා දරා ගැනීමෙන් ගත් නමුත් ‘මෙය ම සත්‍ය වෙයි, අන් සියල්ල ම හිස්ය’ ලෙස ඒකාන්තයෙන් තීරණය නොකරයි.
    මෙසේ සත්‍යය ආරක්ෂා කිරීම වෙයි. එහෙත් එය සත්‍යය හඳුනා ගැනීම නොවෙයි.
  3. නිවැරදි ව සත්‍ය අවබෝධය පිණිස ශ්‍රද්ධාව ඇති කර ගැනීමට නුවණින් විමසන්නේ කෙසේ ද?
    මෙසස්නෙහි භික්ෂුවක් එක්තරා කුඩා ගමක් හෝ ප්‍රධාන ගමක් ඇසුරු කොට වෙසෙයි. එක්තරා ගෘහපතියෙක් හෝ ගෘහපති පුතෙක් මෙම භික්ෂුව කරා පැමිණ කරුණු තුනකින් ඔහු ව පරීක්ෂා කරයි. එනම් ලෝභයෙන් යුතු ධර්මයන්හිය, ද්වේෂයෙන් යුතු ධර්මයන්හිය, මෝහයෙන් (මෝඩකමෙන්) යුතු ධර්මයන්හිය.
    ඒ කෙසේ ද යත්;
    යම් කිසි ලෝභ සිතකින් යුතු ව මේ භික්ෂුව ‘නොදන්නේ ම දනිමි’ යි කියා ද, ‘නොදකිමින් ම දකිමි’ යි කියා ද, එසේ ම අනුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතින ධර්මයන්හි අනුන් යොමු කරවන්නේදැයි, සමාදන් කරවන්නේදැයි, මේ භික්ෂුවට එවැනි ලෝභ ධර්මයෝ ඇත්තේදැයි මෙසේ පරීක්ෂා කරනුයේ මෙසේ දකින්නේය.
    යම් කිසි ලෝභ සිතකින් යුතු ව මේ භික්ෂුව ‘නොදන්නේ ම දනිමි’ යි කියා ද, ‘නොදකිමින් ම දකිමි’ යි කියා ද, එසේ ම අනුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතින ධර්මයන්හි අනුන් යොමු කරවයි ද, සමාදන් කරවයි ද යන මේ ලෝභ ධර්ම මේ භික්ෂුවට නොමැත. එවැනි ලෝභ ධර්මයෝ නැති, ලොල් නැති, ගිජු නැති කෙනෙකුගේ කායික ක්‍රියා සහ වචනයෙන් කථා කිරීම් යම් සේ ද මේ භික්ෂුවගේ හැසිරීමත් එසේය.
    මේ භික්ෂුව යම් දහමක් දේශනා කරන්නේ නම් ඒ දහම ගැඹුරුය, දැකීමට අපහසුය, අවබෝධයට අපහසුය, ශාන්තය, උසස්ය, තර්කයට ගෝචර නොවෙයි, පරිපූර්ණය, ප්‍රඥාවන්තයන්ට ම අවබෝධ කර ගත හැකිය. ලෝභ වූ, ලොල් වූ, ගිජු වූ කෙනෙකුට නම් මේ දහම මනා සේ දේශනා කළ නොහැකි වෙයි.
    මෙසේ විමසා බලන විට ලෝභ ධර්මයන්ගෙන් මේ භික්ෂුව පිරිසිදු යැයි දක්නේ වේ ද, ඔහු තුළ ද්වේෂයෙන් යුතු ධර්මයෝ ඇත්තේදැයි තව දුරටත් විමසා බලයි.
    ඒ කෙසේ ද යත්;
    යම් කිසි ද්වේෂ සිතකින් යුතු ව මේ භික්ෂුව ‘නොදන්නේ ම දනිමි’ යි කියා ද, ‘නොදකිමින් ම දකිමි’ යි කියා ද, එසේ ම අනුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතින ධර්මයන්හි අනුන් යොමු කරවන්නේදැයි, සමාදන් කරවන්නේදැයි පරීක්ෂා කර බලයි.
    යම් කිසි ද්වේෂ සිතකින් යුතු ව මේ භික්ෂුව ‘නොදන්නේ ම දනිමි’ යි කියා ද, ‘නොදකිමින් ම දකිමි’ යි කියා ද, එසේ ම අනුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතින ධර්මයන්හි අනුන් යොමු කරවයි ද, සමාදන් කරවයි ද මේ භික්ෂුවට එවැනි ද්වේෂ ධර්මයෝ නොමැත. ද්වේෂය නැති මෛත්‍රී සහගත කෙනෙකුගේ කායික ක්‍රියා සහ වචනයෙන් කථා කිරීම් යම් සේ ද මේ භික්ෂුවගේ හැසිරීමත් එසේය.
    මේ භික්ෂුව යම් දහමක් දේශනා කරන්නේ නම් ඒ දහම ගැඹුරුය, දැකීමට අපහසුය, අවබෝධයට අපහසුය, ශාන්තය, උසස්ය, තර්කයට ගෝචර නොවෙයි, පරිපූර්ණය, ප්‍රඥාවන්තයන්ට ම අවබෝධ කර ගත හැකිය. ද්වේෂයෙන් යුක්ත කෙනෙකුට නම් මේ දහම මනා සේ දේශනා කළ නොහැකි වෙයි.
    මෙසේ විමසා බලන විට ද්වේෂ ධර්මයන්ගෙන් ද මේ භික්ෂුව පිරිසිදු යැයි දක්නේ වේ ද, ඔහු තුළ මෝහයෙන් යුතු ධර්ම ඇත්තේදැයි තව දුරටත් විමසා බලයි.
    ඒ කෙසේ ද යත්;
    යම්කිසි මෝහයකින් යුතු ව මේ භික්ෂුව ‘නොදන්නේ ම දනිමි’ යි කියා ද, ‘නොදකිමින් ම දකිමි’ යි කියා ද, එසේ ම අනුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතින ධර්මයන්හි අනුන් යොමු කරවන්නේදැයි, සමාදන් කරවන්නේදැයි පරීක්ෂා කර බලයි.
    යම් කිසි මෝහයකින් යුතු ව මේ භික්ෂුව ‘නොදන්නේ ම දනිමි’ යි කියා ද, ‘නොදකිමින් ම දකිමි’ යි කියා ද, එසේ ම අනුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතින ධර්මයන්හි අනුන් යොමු කරවයි ද, සමාදන් කරවයි ද මේ භික්ෂුවට එවැනි මෝහ ධර්මයෝ නොමැත. මෝහය නැති කෙනෙකුගේ කායික ක්‍රියා සහ වචනයෙන් කථා කිරීම් යම් සේ ද මේ භික්ෂුවගේ හැසිරීමත් එසේය.
    මේ භික්ෂුව යම් දහමක් දේශනා කරන්නේ නම් ඒ දහම ගැඹුරුය, දැකීමට අපහසුය, අවබෝධයට අපහසුය, ශාන්තය, උසස්ය, තර්කයට ගෝචර නොවෙයි, පරිපූර්ණය, ප්‍රඥාවන්තයන්ට ම අවබෝධ කර ගත හැකිය. මෝහයෙන් යුතු කෙනෙකුට නම් මේ දහම මනා සේ දේශනා කළ නොහැකි වෙයි.
    මෙසේ විමසා බලන විට මෝහ ධර්මයන්ගෙන් ද මේ භික්ෂුව පිරිසිදු යැයි දකියි.
    මෙසේ මේ භික්ෂුව ලෝභ ධර්මයන්ගෙන් ද ද්වේෂ ධර්මයන්ගෙන් ද මෝහ ධර්මයන්ගෙන් ද මනා ව පිරිසිදු යැයි දක්නේ වේ ද, නුවණැති ප්‍රඥාවන්තයා ඔහු කෙරෙහි මනා ව ශ්‍රද්ධාව ඇති කර ගනියි.
  4. සත්‍ය අවබෝධය කෙසේ වේ ද යත්;
    ඔහු ශ්‍රද්ධාව ඇති කර ගත් බැවින් භික්ෂුව වෙතට පැමිණෙයි. ශ්‍රද්ධාව නැත්නම් භික්ෂුව වෙතට නොපැමිණෙන්නේය. ශ්‍රද්ධාව ඇති නිසා ම භික්ෂුව වෙතට පැමිණෙන්නේය. එම නිසා භික්ෂුව වෙතට පැමිණීම පිණිස ශ්‍රද්ධාව ම බොහෝ උපකාර වෙයි.
    පැමිණෙනුයේ ඒ භික්ෂුව ඇසුරු කෙරෙයි. නොපැමිණෙන්නේ භික්ෂුව ඇසුරු නොකරන්නේය. පැමිණෙන්නේ ම භික්ෂුව ඇසුරු කරන්නේය. එම නිසා භික්ෂුව ඇසුරු කිරීම පිණිස පැමිණීම ම බොහෝ උපකාර වෙයි.
    ඇසුරු කරනුයේ දහම් ඇසීමට කන් යොමු කරයි. ඇසුරු නොකරන්නේ දහම් ඇසීමට කන් යොමු නොකරන්නේය. ඇසුරු කරන නිසා ම දහම් ඇසීමට කන් යොමු කරන්නේය. එම නිසා දහම් ඇසීමට කන් යොමු කිරීම පිණිස ඇසුරු කිරීම ම බොහෝ උපකාර වෙයි.
    දහම් ඇසීමට කන් යොමු කරනුයේ දහම් අසයි. දහම් ඇසීමට කන් යොමු නොකරන්නේ දහම් නොඅසන්නේය. දහම් ඇසීමට කන් යොමු කරන්නේ ම දහම් අසන්නේය. එම නිසා දහම් ඇසීම පිණිස කන් යොමු කිරීම ම බොහෝ උපකාර වෙයි.
    දහම් අසනුයේ දහම් අමතක නොවන සේ සිතෙහි තබා ගනියි. දහම් නොඅසන්නේ දහම් අමතක නොවන සේ සිතෙහි තබා නොගන්නේය. දහම් අසන්නේ ම දහම් අමතක නොවන සේ සිතෙහි තබා ගන්නේය. එම නිසා දහම් අමතක නොවන සේ සිතෙහි තබා ගැනීම පිණිස දහම් ඇසීම ම බොහෝ උපකාර වෙයි.
    දහම් අමතක නොවන සේ සිතෙහි තබා ගත්තහු ඒ ධර්මයෙහි අර්ථය විමසා බලයි. දහම් අමතක නොවන සේ සිතෙහි තබා නොගත්තේ නම් ඒ ධර්මයෙහි අර්ථය විමසා නොබලන්නේය. දහම් අමතක නොවන සේ සිතෙහි තබා ගත් නිසා ම ධර්මයෙහි අර්ථය විමසා බලන්නේය. එම නිසා ධර්මයෙහි අර්ථය විමසා බැලීම පිණිස දහම් අමතක නොවන සේ සිතෙහි තබා ගැනීම ම බොහෝ උපකාර වෙයි.
    ධර්මයෙහි අර්ථය විමසා බලන්නහුට ධර්මය වැටහෙයි. ධර්මයෙහි අර්ථය නොවිමසන්නේ නම් ධර්මය නොවැටහෙන්නේය. ධර්මයෙහි අර්ථය විමසා බලන නිසා ම ධර්මය වැටහෙයි. එම නිසා ධර්ම වැටහීම පිණිස ධර්මයෙහි අර්ථය විමසා බැලීම ම බොහෝ උපකාර වෙයි.
    ධර්මය වැටහෙන්නහුට ඒ ධර්ම අවබෝධය පිණිස කැමැත්ත හටගනියි. ධර්මය නොවැටහෙන්නේ නම් ඒ ධර්ම අවබෝධය පිණිස කැමැත්තක් හටනොගන්නේය. ධර්මය වැටහීම හේතුවෙන් ම ඒ ධර්ම අවබෝධය පිණිස කැමැත්ත හටගන්නේය. එම නිසා ධර්ම අවබෝධය පිණිස කැමැත්ත හටගැනීමට ධර්මය වැටහීම ම බොහෝ උපකාර වෙයි.
    කැමැත්ත ඇති කල්හි උත්සාහ කරයි. කැමැත්තක් නැත්නම් උත්සාහ නොකරන්නේය. කැමැත්ත ඇති නිසා ම උත්සාහ කරන්නේය. එම නිසා උත්සාහ කිරීම පිණිස කැමැත්ත ම බොහෝ උපකාර වෙයි.
    උත්සාහ කරනුයේ මනා ව පරීක්ෂාකාරී ව කරුණු සලකා බලයි. ඉදින් උත්සාහ නොකරන්නේ මනා ව පරීක්ෂාකාරී ව කරුණු සලකා නොබලන්නේය. උත්සාහ කරන්නේ ම මනා ව පරීක්ෂාකාරී ව කරුණු සලකා බලන්නේය. එම නිසා මනා ව පරීක්ෂාකාරී ව කරුණු සලකා බැලීම පිණිස උත්සාහය ම බොහෝ උපකාර වෙයි.
    මනා ව පරීක්ෂාකාරී ව කරුණු සලකා බලනුයේ නොපසුබට දැඩි වීර්යයෙන් යුතු ව ස්ථිර ලෙස සිත පිහිටුවයි. පරීක්ෂාකාරී ව කරුණු සලකා බැලීම නොකරන්නේ නොපසුබට වූ දැඩි වීර්යය නොකරන්නේය. පරීක්ෂාකාරී ව කරුණු සලකා බැලීම කරන නිසා ම නොපසුබට වූ දැඩි වීර්යය කරන්නේය. එම නිසා නොපසුබට වූ දැඩි වීර්යය පිණිස පරීක්ෂාකාරී ව කරුණු සලකා බැලීම ම බොහෝ උපකාර වෙයි.
    නොපසුබට දැඩි වීර්යයෙන් යුතු ව ස්ථීර ලෙස සිත පිහිටුවන්නේ කයින් ද පරම සත්‍යය සාක්ෂාත් කෙරෙයි. මනා නුවණින් ද එය විනිවිද දකියි. මෙතෙකින් ම සත්‍ය අවබෝධය එනම් සත්‍යය තේරුම් ගැනීම හෙවත් සත්‍ය ඥානය වෙයි. එහෙත් එපමණකින් සත්‍ය අනුප්‍රාප්තිය (සත්‍යය සපුරා ගැනීම) නොවෙයි.
  5. සත්‍ය අනුප්‍රාප්තිය කෙසේ වේ ද යත්;
    ඒ හඳුනා ගත් සත්‍යය ධර්මය ම පුරුදු කිරීමෙන්, වැඩීමෙන්, නිතර නිතර යෙදීමෙන් සත්‍ය අනුප්‍රාප්තිය වෙයි, සත්‍යය සාක්ෂාත් කිරීම වෙයි. එනම් සියලු දුකෙන් මිදීම සිදු වෙයි.

7.  නිර්මල සද්ධර්මය වැනසෙන්නේ කෙසේ ද?

නිර්මල සද්ධර්මය වනසන්නේ කවුරු ද?

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන සේක. මහා කාශ්‍යප තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මෙසේ විචාළ සේක.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, පෙර කල ශික්ෂා පද ඉතා මඳ වුවත් බොහෝ භික්ෂූහු රහත් වූහ. දැන් ශික්ෂා පද බොහෝ වුවත් රහතන් වහන්සේලා මඳ වෙති. එයට හේතු කාරණා කිමෙක්ද?”

“කස්සපය, එය එසේ ම වෙයි. සත්වයන් පිරිහෙන විට හා සද්ධර්මය අතුරුදහන් වන විට, ශික්ෂා පද බොහෝ වුවත් රහතන් වහන්සේලා මඳ වෙති.

සද්ධර්මය මෙන් පෙනෙනාමුත් සද්ධර්මය නොවන, අධර්මය ලොව පහළ වන තුරු සද්ධර්මයේ අතුරුදහන් වීම සිදු නොවෙයි.

නමුත් යම් කලෙක අධර්මය උපදී ද, එකල්හි සද්ධර්මය අතුරුදහන් වෙයි. යම් සේ පෙනුමෙන් රන් වැනි වූ රන් නොවූවක් ලොව පහළ වේ ද, අනතුරු ව රන් අතුරුදහන් වෙයි. එසේ ම සද්ධර්මය සේ වන්නා වූ සද්ධර්මය නොවූ අධර්මය ලොව පහළ වේ ද, සද්ධර්මයේ අතුරුදහන් වීම සිදු වෙයි.

කස්සපය, පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් නොකෙරෙයි.

හිස්, අනුවණ පුද්ගලයෝ මේ බුද්ධ ශාසනයේ ම ඉපදී සද්ධර්මය අතුරුදහන් කරති.

නැවක් පැටවූ බඩු බර වැඩි වීමෙන් ගිලී යන නමුත් සද්ධර්මය එසේ බහුල වීමෙන් විනාශයට පත් නොවෙයි.

කස්සපය, මේ බුදු සසුන පිරිහීමට, සද්ධර්මය නැසීමට හා අතුරුදහන් වීමට කරුණු පහක් යෙදෙයි. එනම් මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂු, භික්ෂුණී හා උපාසක, උපාසිකාවෝ,

  1. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ගෞරව නොමැති ව, අකීකරු ව, නොහික්මී වාසය කරති.
  2. සද්ධර්මය කෙරෙහි ගෞරව නොමැති ව, අකීකරු ව, නොහික්මී වාසය කරති.
  3. සංඝරත්නය කෙරෙහි ගෞරව නොමැති ව, අකීකරු ව, නොහික්මී වාසය කරති.
  4. ශික්ෂාව (අධිශීල, අධිචිත්ත හා අධිප්‍රඥා ශික්ෂාව) කෙරෙහි ගෞරව නොමැති ව, අකීකරු ව, නොහික්මී වාසය කරති.
  5. සමාධිය (සිතේ එකඟ බව) කෙරෙහි ගෞරව නොමැති ව, අකීකරු ව, නොහික්මී වාසය කරති.

මේ කරුණු පහ බුදු සසුන පිරිහීමට, සද්ධර්මය නැසීමට හා අතුරුදහන් වීමට හේතු වෙයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 2, සද්ධම්මපතිරූපක සූත්‍රය - පිටු අංක 338 - 343)

සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් වීමට එනම් අවුල් වීමට, අතුරුදහන් වීමට තවත් කරුණු සතරක් හේතු වෙයි.

කවර කරුණු සතරක් ද යත්;

  1. මෙසස්නෙහි මහණහු වරදවා අල්වා ගත්, වරදවා තේරුම් ගත් සූත්‍ර, වරදවා ලූ පද ව්‍යඤ්ජනයන්ගෙන් මනා ව ඉගෙන ගනිති. මෙසේ වරදවා ලූ පදව්‍යඤ්ජනයන්ගේ අර්ථය ද දුකෙන් මිදීම පිණිස පවතින න්‍යායට පටහැනි වෙයි. මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් වීම, අතුරුදහන් වීම පිණිස පවතින පළමු හේතුව වෙයි.
  2. මෙසස්නෙහි මහණහු අකීකරු වෙති. පහසුවෙන් හික්මවීමට නොහැකි වෙති. නොඉවසනසුලු වෙති. අනුශාසනා මනා ව තේරුම් නොගන්නේ ද ඒ අනුව නොහැසිරෙන්නේ ද වෙති. මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් වීම, අතුරුදහන් වීම පිණිස පවතින දෙවන හේතුව වෙයි.
  3. තව ද මෙසස්නෙහි යම් මහණහු බහුශ්‍රැත වේ ද, ධර්මයට පැමිණියේ වේ ද, ධර්මධර වේ ද, විනයධර වේ ද, මාතෘකාධර වේ ද ඔවුහු මනා ව සකසා අනුන්ට පුරුදු නොකරති. ඔවුන්ගෙන් පසු ඒ සූත්‍රයන්හි අර්ථ අතුරුදහන් වෙයි. පිළිසරණ නැති වෙයි. මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත්වීම, අතුරුදහන් වීම පිණිස පවතින තෙවන හේතුව වෙයි.
  4. තව ද මෙසස්නෙහි අන් භික්ෂූන්ට පෙරටුව යන ස්ථවිර භික්ෂූහු අඩු, ලිහිල් වීර්යයෙන් යුතු වෙති. එකලා ව විවේකයෙන් සිට ධ්‍යාන, සමාපත්ති වැඩීම සහ මාර්ග ඵල ලබා ගැනීමට උත්සාහ නොකරති. බොහෝ බඩු මුට්ටු බහුල කොට වෙසෙති. ඒ ස්ථවිර භික්ෂූහු අවබෝධ නොකළ දහම් අවබෝධයට, නොපමුණුවා ගත් දහම් පමුණුවා ගැනීමට, සාක්ෂාත් නොකළ දහම් සාක්ෂාත් කිරීමට වීර්ය නොකරති.
    ඔවුන් පසුපස යන නවක භික්ෂූහු ද ඒ අනුව ම යති. අඩු වීර්යයෙන් යුතු වෙති. එකලා ව විවේකයෙන් සිට ධ්‍යාන, සමාපත්ති වැඩීම සහ මාර්ග ඵල ලබා ගැනීමට උත්සාහ නොකරති. බොහෝ බඩු මුට්ටු බහුල කොට වෙසෙති. එසේ ම ඒ නවක භික්ෂූහු ද අවබෝධ නොකළ දහම් අවබෝධයට, නොපමුණුවා ගත් දහම් පමුණුවා ගැනීමට, සාක්ෂාත් නොකළ දහම් සාක්ෂාත් කිරීමට වීර්ය නොකරති. මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත්වීම, අතුරුදහන් වීම පිණිස පවතින සිව්වන හේතුව වෙයි.

මේ කරුණු සතර සද්ධර්මය ව්‍යාකූලත්වයට පත්වීමට, අතුරුදහන් වීමට හේතු වෙයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3, සුගත විනය සූත්‍රය - පිටු අංක 284 - 287)

8.  නිර්මල සද්ධර්මය සුරකින්නේ කවුරු ද? කෙසේ ද?

සද්ධර්මයේ පැවැත්ම, නොනැසීම හා අතුරුදහන් නොවීම පිණිස කරුණු පහක් පවතියි.

එනම් මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂු, භික්ෂුණී හා උපාසක, උපාසිකාවෝ,

  1. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව, කීකරු ව, හික්මී වාසය කරති.
  2. සද්ධර්මය කෙරෙහි ගෞරව ඇති ව, කීකරු ව, හික්මී වාසය කරති.
  3. සංඝ රත්නය කෙරෙහි ගෞරව ඇති ව, කීකරු ව, හික්මී වාසය කරති.
  4. ශික්ෂාව කෙරෙහි ගෞරව ඇති ව, කීකරු ව, හික්මී වාසය කරති.
  5. සමාධිය කෙරෙහි ගෞරව ඇති ව, කීකරු ව, හික්මී වාසය කරති.

මේ කරුණු පහ සද්ධර්මයේ පැවැත්ම, නොනැසීම හා අතුරුදහන් නොවීම පිණිස පවතියි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 2, සද්ධම්මපතිරූපක සූත්‍රය - පිටු අංක 338 - 343)

සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් නොවීමට, බොහෝ කල් පැවතීමට කරුණු සතරක් හේතු වෙයි.

කවර කරුණු සතරක් ද යත්;

  1. මෙසස්නෙහි මහණහු මනා ව ඉගෙන ගත්, මනා ව තේරුම් ගත් සූත්‍ර, මනා ව ගත් පද ව්‍යඤ්ජනයන්ගෙන් ඉගෙන ගනිති. මෙසේ මනා ව ගත් පද ව්‍යඤ්ජනයන්ගේ අර්ථය ද දුකෙන් මිදීම පිණිස පවතින න්‍යාය අනුව ම වෙයි.
    මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් නොවීම, බොහෝ කල් පැවතීම පිණිස පවතින පළමු හේතුව වෙයි.
  2. මෙසස්නෙහි මහණහු කීකරු වෙති. පහසුවෙන් හික්මවීමට හැකි වෙති. ඉවසනසුලු වෙති. අනුශාසනා මනා ව තේරුම් ගන්නේ ද ඒ අනුව හැසිරෙන්නේ ද වෙති.
    මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් නොවීම, බොහෝකල් පැවතීම පිණිස පවතින දෙවන හේතුව වෙයි.
  3. තව ද මෙසස්නෙහි යම් මහණහු බහුශ්‍රැත වේ ද, ධර්මයට පැමිණියේ වේ ද, ධර්මධර වේ ද, විනයධර වේ ද, මාතෘකාධර වේ ද ඔවුහු මනා ව සකසා අනුන්ට පුරුදු කරති. ඔවුන්ගෙන් පසු ඒ සූත්‍රයන්හි අර්ථ අතුරුදහන් නොවෙයි. පිළිසරණ ඇත්තේ වෙයි.
    මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් නොවීම, බොහෝකල් පැවතීම පිණිස පවතින තෙවන හේතුව වෙයි.
  4. තව ද මෙසස්නෙහි අන් භික්ෂූන්ට පෙරටුව යන ස්ථවිර භික්ෂූහු දැඩි වීර්යයෙන් යුතු වෙති, එකලා ව විවේකයෙන් සිට ධ්‍යාන, සමාපත්ති වැඩීම සහ මාර්ග ඵල ලබා ගැනීමට උත්සාහ කරති, බොහෝ බඩු මුට්ටු බහුල කොට නොගනිති. ඒ ස්ථවිර භික්ෂූහු අවබෝධ නොකළ දහම් අවබෝධයට, නොපමුණුවා ගත් දහම් පමුණුවා ගැනීමට, සාක්ෂාත් නොකළ දහම් සාක්ෂාත් කිරීමට වීර්ය කරති.
    ඔවුන් පසුපස යන නවක භික්ෂූහු ද ඒ අනුව ම යති. දැඩි වීර්යයෙන් යුතු වෙති, එකලා ව විවේකයෙන් සිට ධ්‍යාන, සමාපත්ති වැඩීම සහ මාර්ග ඵල ලබා ගැනීමට උත්සාහ කරති, බොහෝ බඩු මුට්ටු බහුල කොට නොගනිති. ඒ නවක භික්ෂූහු ද අවබෝධ නොකළ දහම් අවබෝධයට, නොපමුණුවා ගත් දහම් පමුණුවා ගැනීමට, සාක්ෂාත් නොකළ දහම් සාක්ෂාත් කිරීමට වීර්ය කරති.
    මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් නොවීම, බොහෝ කල් පැවතීම පිණිස පවතින සිව්වන හේතුව වෙයි.

මේ කරුණු සතර මේ සද්ධර්මය ව්‍යාකූලත්වයට පත් නොවීම, බොහෝ කල් පැවතීම පිණිස පවතින හේතු වෙයි.

එසේ නම් මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂු, භික්ෂුණී හා උපාසක, උපාසිකාවෝ ම නිර්මල සද්ධර්මය සුරකිති.

බුද්ධ ශාසනය නොරැකෙන්නේ නම් එහි ද භික්ෂු, භික්ෂුණී හා උපාසක, උපාසිකාවන් ම ගැරහිය යුතු වෙති.

එසේ ම බුද්ධ ශාසනය රැකෙන්නේ නම් එහි ද භික්ෂු, භික්ෂුණී හා උපාසක, උපාසිකාවන් ම පැසසුම් ලැබිය යුතු වෙති.

9.  සතර සතිපට්ඨානය වැඩීමෙන් සද්ධර්මය රැකෙන්නේය

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 5 - 1, බ්‍රාහ්මණ සූත්‍රය - පිටු අංක 310 - 311)

“භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු සද්ධර්මය චිරස්ථායී (බොහෝ කල් පවත්නාසුලු) නොවේ නම් එයට හේතු ප්‍රත්‍ය කුමක් ද? එසේ ම තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු සද්ධර්මය චිරස්ථායී වේ නම් එයට හේතු ප්‍රත්‍ය කුමක් ද?”

“බ්‍රාහ්මණය, සතර සතිපට්ඨානය නොවැඩූ විට, බහුල ව නොවැඩූ විට තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු සද්ධර්මය චිරස්ථායී නොවෙයි.

එසේ ම සතර සතිපට්ඨානය වැඩූ විට, බහුල ව වැඩූ විට තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු සද්ධර්මය චිරස්ථායී වෙයි”.


බාගත ​කිරීමට