සියල්ල දන්නා වූ දක්නා වූ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
මුල් කෙළවරක් ද නොපෙනෙන මේ දිගු සසරේ, ඇත්ත නොදන්නාකම (අවිද්‍යාව) නිසා ආශාවෙන් (තණ්හාවෙන්) බැඳුණු මේ සත්වයන්ගේ සංසාර ගමනේ අග කෙළවරක් ද නොපෙනෙයි.
බොහෝ කල්ප ගත විය. මෙතෙක් කල්ප ගණනක් හෝ මෙතෙක් කල්ප සිය ගණනක් හෝ මෙතෙක් කල්ප දහස් ගණනක් හෝ මෙතෙක් කල්ප ලක්ෂ ගණනක් වශයෙන් ගණන් කළ නොහැකිය.
මේ ‘ගංගා’නම් නදිය යම් තැනකින් ඇරඹී යම් තැනකින් මුහුදට වැටේ ද, එහි යම් වැල්ලක් වේ ද, එහි මෙතෙක් වැලි ඇට ඇතැයි ගණන් කිරීමට අපහසුය. එයටත් වඩා ඉතා බොහෝ කල්ප ගණනක් ඉක්ම ගියේය.
නුඹලා විසින් මේ අනන්ත සසරේ බොහෝ කලක් දුක් විඳින ලදි. තියුණු දුක් කම්කටොලු විඳින ලදි. ව්‍යසන (ආපදා) විඳින ලදි. පොළොව වඩන ලදි (මිය ගොස් පොළොවට පස් වී පොළොව පුරවන ලදි). එම නිසා සියලු සංස්කාර කෙරෙහි කලකිරීමට ම සුදුසුය. නොඇලීමට ම සුදුසුය. මිදීමට ම සුදුසුය.
එක් කල්පයක පමණක් එක් පුද්ගලයෙකු ගේ ඇට කටු එක් රැස් කළහොත්, විනාශ නොවේ නම් මේ වේපුල්ල පර්වතය (දඹදිව ඇති විශාල පර්වතයක්) තරම් විශාල ගොඩක් වෙයි.
අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයාගේ මුල් කෙළවර ද නොපෙනෙන මේ දිගු සසරේ අග කෙළවර ද නොපෙනෙයි. නුඹලා විසින් මේ අනන්ත සසරේ බොහෝ කලක් දුක් විඳින ලදි. තියුණු දුක් කම්කටොලු විඳින ලදි. ව්‍යසන විඳින ලදි. පොළොව වඩන ලදි. එම නිසා සියලු සංස්කාර කෙරෙහි කලකිරීමට ම සුදුසුය. නොඇලීමට ම සුදුසුය. මිදීමට ම සුදුසුය.
එක් පුද්ගලයෙක් මේ දිගු සසරේ ගවයන් වී ඉපිද ගෙල සිඳ මරණ විට ගලා ගිය ලේ ප්‍රමාණය එකතු කළහොත් එය සතර මහා සාගරයේ දියට වඩා බොහෝ වැඩි වෙයි.
අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයාගේ මුල් කෙළවර ද නොපෙනෙන මේ දිගු සසරේ අග කෙළවර ද නොපෙනෙයි. නුඹලා විසින් මේ අනන්ත සසරේ බොහෝ කලක් දුක් විඳින ලදි. තියුණු දුක් කම්කටොලු විඳින ලදි. ව්‍යසන විඳින ලදි. පොළොව වඩන ලදි. එම නිසා සියලු සංස්කාර කෙරෙහි කලකිරීමට ම සුදුසුය. නොඇලීමට ම සුදුසුය. මිදීමට ම සුදුසුය.
එක් ගවයෙක් මරණ විට ලේ බාල්දියක් ගලා ගියා යැයි සිතුවහොත්, සතර මහා සාගරයේ වතුර කෙතරම් බාල්දි ගණනක් ඇත්දැයි විමසන්න. ගණන් කිරීමට නොහැකි තරම් ඇත. එසේ මේ සසරේ අප ගවයින් ම වී ඉපිද, කොපමණ බෙලි කැපුම් කන්නට ඇත් ද? නැවත සසරේ යාමට සිදු වුවහොත්, තවත් කොපමණ ගවයින් වී ඉපිද බෙලි කැපුම් කෑමට සිදු වේ ද? යැයි නුවණින් විමසා බලන්න. මෙසේ ම එළුවන් වී... බැටළුවන් වී... මුවන් වී... ඌරන් වී... කුකුළන් වී ඉපිද බෙලි කැපුම් කෑමෙන් ගලා ගිය ලේ ප්‍රමාණය එකතු කළහොත් එය සතර මහා සාගරයේ ජලයට වඩා බොහෝ වැඩි බව සිහි කරන්න.
එසේම මේ දිගු සසරේ පර අඹුවන් කරා ගොස් නුඹලාගේ හිස ගසා මරණ විට ගලා ගිය ලේ ප්‍රමාණය එකතු කළහොත් එය සතර මහා සාගරයේ දියට වඩා බොහෝ වැඩි වෙයි.
අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයාගේ මුල් කෙළවර ද නොපෙනෙන මේ දිගු සසරේ අග කෙළවර ද නොපෙනෙයි. නුඹලා විසින් මේ අනන්ත සසරේ බොහෝ කලක් දුක් විඳින ලදි. තියුණු දුක් කම්කටොලු විඳින ලදි. ව්‍යසන විඳින ලදි. පොළොව වඩන ලදි. එම නිසා සියලු සංස්කාර කෙරෙහි කලකිරීමට ම සුදුසුය. නොඇලීමට ම සුදුසුය. මිදීමට ම සුදුසුය.
මේ ඉමක් කොනක් නොපෙනෙන දිගු සසරේ මව නොවූ එක් සතෙක් වත් හමුවීම සුලබ නොවෙයි. මේ අනන්ත සසරේ බිවු මව් කිරි ප්‍රමාණය එකතු කළහොත් එය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි වෙයි.
අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයාගේ මුල් කෙළවර ද නොපෙනෙන මේ දිගු සසරේ අග කෙළවර ද නොපෙනෙයි. නුඹලා විසින් මේ අනන්ත සසරේ බොහෝ කලක් දුක් විඳින ලදි. තියුණු දුක් කම්කටොලු විඳින ලදි. ව්‍යසන විඳින ලදි. පොළොව වඩන ලදි. එම නිසා සියලු සංස්කාර කෙරෙහි කලකිරීමට ම සුදුසුය. නොඇලීමට ම සුදුසුය. මිදීමට ම සුදුසුය.
තොප විසින් බොහෝ කලක් මව් මළ දුක විඳින ලදි. මව් මළ දුක විඳින, හඬන, වැලපෙන නුඹලාගෙන් ගැලුණු යම් කඳුළක් වී ද, එය එකතු කළහොත් සිව් මහා සාගරයේ දියට වඩා බොහෝ වැඩි වෙයි.
අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයාගේ මුල් කෙළවර ද නොපෙනෙන මේ දිගු සසරේ අග කෙළවර ද නොපෙනෙයි. නුඹලා විසින් මේ අනන්ත සසරේ බොහෝ කලක් දුක් විඳින ලදි. තියුණු දුක් කම්කටොලු විඳින ලදි. ව්‍යසන විඳින ලදි. පොළොව වඩන ලදි. එම නිසා සියලු සංස්කාර කෙරෙහි කලකිරීමට ම සුදුසුය. නොඇලීමට ම සුදුසුය. මිදීමට ම සුදුසුය.
යම් කිසි විටෙක දුප්පත් වූ අවලස්සන වූ පීඩිත වූ යමෙක් දකී ද, අප විසින් ද මේ දිගු සසරේ මෙසේ දුප්පත් ව, අවලස්සන ව, පීඩිත ව දුක් විඳින ලදි.
අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයාගේ මුල් කෙළවර ද නොපෙනෙන මේ දිගු සසරේ අග කෙළවර ද නොපෙනෙයි. නුඹලා විසින් මේ අනන්ත සසරේ බොහෝ කලක් දුක් විඳින ලදි. තියුණු දුක් කම්කටොලු විඳින ලදි. ව්‍යසන විඳින ලදි. පොළොව වඩන ලදි. එම නිසා සියලු සංස්කාර කෙරෙහි කලකිරීමට ම සුදුසුය. නොඇලීමට ම සුදුසුය. මිදීමට ම සුදුසුය.
යම් පුද්ගලයෙක් දඹදිව ඇති සියලු තණ දඬු, කොළ අතු එකතු කර, ඇඟිලි සතරක ප්‍රමාණයේ කැබලි කඩා මැය මාගේ මවය, මැය මාගේ මවගේ මවය, මැය ඒ මවගේ මවය ආදී වශයෙන් තබයි. දඹදිව ඇති සියලු තණ දඬු, කොළ අතු අවසන් වුවත් ඒ පුරුෂයාගේ මවගේ මව්හු අවසන් නොවෙති. මේ දිගු සසරේ තොප විසින් දිගු කලක් බොහෝ දුක් විඳින ලදි. තියුණු දුක් විඳින ලදි. බොහෝ ව්‍යසන විඳින ලදි.