මහණෙනි පෙර වූවක් කියමි. කාමයේ වීතරාගී තීර්ථක වූ සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් විය. බොහෝ සිය ගණන් ශ්‍රාවකයන් සහිත සුනෙත්ත ශාස්තෘවරයා තම ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයේ ඉපදීමට පවතින ප්‍රතිපදාව පිණිස ධර්මය දේශනා කළේය.
බ්‍රහ්ම ලෝකය පිණිස දහම් දෙසන ඒ ශාස්තෘන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් නොපැහැදුණේ නම් ඔවුහු කය බිඳී මරණින් පසු සැප රහිත, දුක් සහිත අපාය නම් වූ දුර්ගති වූ නපුරු වැටීමක් වූ නිරයෙහි ඉපදුණහ.
මෙසේ ම මුගපක්ඛ, අරණෙමි, උද්දාල, හත්ථිපාල, ජෝතිපාල සහ අරක නම් කාමයේ වීතරාගී තීර්ථක වූ ශාස්තෘන් වහන්සේලා වූහ. පෙර මෙන් ම ඔවුන්ට ද නොපැහැදුණෝ නිරයට ගියහ. පැහැදුණෝ සුගතියට ගියහ.
මහණෙනි, කුමක් සිතන්නේ ද? කාමයේ වීතරාගී වූ සිය ගණන් ශ්‍රාවකයන් සහිත මේ සත් ශාස්තෘන් කෙරෙහි දුෂ්ට වූ සිතින් නින්දා අපහාස කරන්නේ නම් ඔවුහු බොහෝ පව් රැස් කරන්නේ ද?
එසේය ස්වාමීනි.
මහණෙනි, යමෙක් කාමයේ වීතරාගී වූ සිය ගණන් පිරිස සහිත තීර්ථක වූ මේ සත් ශාස්තෘන් කෙරෙහි දුෂ්ට වූ සිතින් නින්දා අපහාස කරයි නම් බොහෝ අකුසල් රැස් කරයි.
එසේ ම යමෙක් දිට්ඨි සම්පන්න පුද්ගලයෙකුට දුෂ්ට සිතින් නින්දා අපහාස කරයි ද, මේ තෙමේ එයට වඩා බොහෝ අකුසල් රැස් කරයි.
ඒ කවර හෙයින් ද යත්;
අපගේ සබ්‍රහ්මචාරීන් තුළ මෙන් ක්ෂාන්තියක් මේ බුදු සසුනෙන් බැහැර නැති බැවිනි.
මහණෙනි, එබැවින් මෙහි මෙසේ ම හික්මිය යුතුය. ‘අපගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි අපේ සිත් දුෂ්ට නොවේවා’ යි තොප විසින් මෙසේ ම හික්මිය යුතුය.