මුගලන් තෙරණුවෝ ගිජුකුළු පර්වතයේ වැඩ වසන කල්හි පිණ්ඩපාතයෙන් පසු ලක්ඛණ තෙරණුවන් සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැඳ එකත් පස් ව හිඳ ගත් සේක.
මුගලන් තෙරණුවෝ විසින් මෙය වදාළ සේක. “මම ගිජුකුළු පර්වතයෙන් බසින විට අහසෙහි ගමන් කරන මෙහෙණක දිටිමි. ඇයගේ සිවුරු ද හාත් පසින් දැල් වෙයි, ගිනිගෙන දිළිසෙන්නේය, ගිනි දැල් ද සහිතය. පාත්‍රය ද හාත් පසින් දැල්වෙයි, ගිනි ගෙන දිළිසෙන්නේය, ගිනි දැල් ද සහිතය. බඳ පටිය ද හාත් පසින් දැල් වෙයි, ගිනිගෙන දිළිසෙන්නේය, ගිනි දැල් ද සහිතය. කය ද හාත් පසින් දැල් වෙයි, ගිනිගෙන දිළිසෙන්නේය, ගිනි දැල් ද සහිතය. ඇය බැගෑපත් හඬින් කෑ ගසයි.
ආශ්චර්යයි! අද්භූතයි! මෙවැනි සත්වයෝත් වෙත් ද මෙවැනි යක්ෂයෝත් වෙත් ද මෙවැනි ආත්ම භාව ලැබීමකුත් වෙත් ද යැයි මේ අදහස මට විය”.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, මාගේ සමහර ශ්‍රාවකයෝ මෙබඳු දේ දන්නා, දක්නා, නුවණින් යුතු ව මෙහි වෙසෙති.
මේ සත්වයා මා විසින් පෙර දක්නා ලදි. එහෙත් මා නොපැවසුවේ මාගේ වදන් අන් අය නොඅදහන්නාහු විය හැක. එසේ යමෙක් මාගේ වදන් නොඅදහන්නාහු නම් එය ඔවුනට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේය.
මහණෙනි, මේ මෙහෙණ කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ පවිටු දුසිල්වත් භික්ෂුණියක් වූවාය.
ඕ තොමෝ කළ අකුසල කර්ම විපාකයෙන් බොහෝ වර්ෂ ගණන්, බොහෝ වර්ෂ සිය ගණන්, බොහෝ වර්ෂ දහස් ගණන්, බොහෝ වර්ෂ ලක්ෂ ගණන් නිරයෙහි පැසී දුක් විඳ, ඒ කළ අකුසල කර්මයේ ම ඉතිරි විපාකයෙන් මෙබඳු ආත්ම භාවයක් ලැබී බොහෝ දුක් විඳින්නීය”.