අලංකාර මලින් පිරී ගිය, කොවුල් ගී හඬ පැතිරෙන, රූපයෙන් අගතැන්පත් දෙවියන් දිව්‍යාංගනාවන් ගැවසෙන දිව්‍ය විමානයක් තිබෙනවා. ඉර්ධි ප්‍රාතිහාර්ය දැක්විය හැකි, බබළන සිරුරක් ඇති දිව්‍යාංගනාවක් තමයි මෙයට අධිපති ව ඉන්නෙ. ඈ වට කර ගෙන දිව්‍ය අප්සරාවන් ගී ගයනවා, නටනවා.
මුගලන් මහ රහතන් වහන්සේ මේ දෙව් දුවගෙන් අහනවා මේ සැප ලබන්න හේතුව මොකක් ද කියලා.
දෙව් දුව හරි සතුටින් උත්තර දෙනවා.
“මම අතීත ජීවිතයේ මිනිස් දුවක් වෙලා සිටිද්දි හොඳින් පතිව්‍රතාව රැක්කා. මගේ ස්වාමියා දරුවෙක් වගේ රැක බලා ගත්තා. ඒ වගේ ම මං කේන්තියකටවත් නපුරු වචන කිව්වේ නැහැ. බොරු කීමෙන් වැළකුණා. කරන හැම වෙලාවෙ ම සිත පහදවා ගෙන දන් පැන් පූජා කළා.
ඒ පින්වල විපාකය තමයි මට මේ ලැබුණේ”.