එකල මහ මුගලන් තෙරණුවෝ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. යම් සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ යම් සේ ද එසෙයින් ම ජේතවනාරාමයෙන් අතුරුදහන් වී තව්තිසා දෙවියන් අතර පහළ වූ සේක.
එකල්හි දෙදෙව් ලොවට අධිපති සක්‍ර දෙව් රජ පන්සියයක් දෙවියන් සමඟ පැමිණ මුගලන් තෙරණුවන්ට වැඳ එකත් පස් ව සිටියේය. මහ මුගලන් තෙරණුවෝ මෙසේ වදාළ සේක.
දෙව් රජ, බුදුන් සරණ යෑම යහපත් වෙයි. මෙසේ බුදුන් සරණ යෑම හේතුකොට ගෙන මෙහි ඇතැම් සත්වයෝ මරණින් මතු සැපයෙන්, සතුටින් යුත් දෙව්ලොව උපදිති.
දෙව් රජ, දහම් සරණ යෑම යහපත් වෙයි. මෙසේ දහම් සරණ යෑම හේතුකොට ගෙන මෙහි ඇතැම් සත්වයෝ මරණින් මතු සැපයෙන්, සතුටින් යුත් දෙව්ලොව උපදිති.
දෙව් රජ, සඟුන් සරණ යෑම යහපත් වෙයි. මෙසේ සඟුන් සරණ යෑම හේතුකොට ගෙන මෙහි ඇතැම් සත්වයෝ මරණින් මතු සැපයෙන්, සතුටින් යුත් දෙව්ලොව උපදිති.
පින්වත් මුගලන් තෙරණුවනි, සත්තකින් ම බුදුන් සරණ යෑම යහපත් වෙයි. මෙසේ බුදුන් සරණ යෑම හේතුකොට ගෙන මෙහි ඇතැම් සත්වයෝ මරණින් මතු සැපයෙන්, සතුටින් යුත් දෙව්ලොව උපදිති.
පින්වත් මුගලන් තෙරණුවනි, සත්තකින් ම දහම් සරණ යෑම යහපත් වෙයි. මෙසේ දහම් සරණ යෑම හේතුකොට ගෙන මෙහි ඇතැම් සත්වයෝ මරණින් මතු සැපයෙන්, සතුටින් යුත් දෙව්ලොව උපදිති.
පින්වත් මුගලන් තෙරණුවනි, සත්තකින් ම සඟුන් සරණ යෑම යහපත් වෙයි. මෙසේ සඟුන් සරණ යෑම හේතුකොට ගෙන මෙහි ඇතැම් සත්වයෝ මරණින් මතු සැපයෙන්, සතුටින් යුත් දෙව්ලොව උපදිති.