Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දිව්‍ය ලෝක කථා / දෙව් ලොව ගොස් මහා ආනුභාව ඇති ඇත් යානාවක් ලබන්න මෙ ලොව දී සිත පහදා සියතින් මහ සඟනට ආසන පනවන්න

දෙව් ලොව ගොස් මහා ආනුභාව ඇති ඇත් යානාවක් ලබන්න
මෙ ලොව දී සිත පහදා සියතින් මහ සඟනට ආසන පනවන්න

කුඤ්ජර විමානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විමානවත්ථුපාළි, පීඨ වර්ගය - පිටු අංක 8 - 11)

ඉතාම අලංකාර ඇත් යානාවක් මත නැගි රූපශ්‍රීයෙන් අග තැන්පත් දෙව් දුවක් දැක මුගලන් තෙරුණ් වහන්සේ මෙසේ ඇසුවා.

“නෙළුම් පෙති වැනි ඇස් ඇති දෙව්දුව, මැණික් වලින් සැරසූ, නෙළුම් මලේ පාට ඇති, ඉතා අලංකාර, වේගයෙන් ගමන් කරන, ශක්තිමත් ඇත් යානාවක් ඔබට තිබෙනවා. ඒ යානාව රත්තරන් නෙළුම් මල් දරා ගෙන අහසින් යනවා. එය අහසින් යන විට හැඬවෙන රත්රන් සීනු නාදය පංචතූර්ය නාදය මෙන් ඉතා මිහිරියි. එය මත දිව්‍ය සළුපිළිවලින් සැරසී සිටින ඔබ අනිත් දිව්‍ය අංගනාවන් පරදා රූපශ්‍රීයෙන් බබළනවා.

ඔබගේ මේ පුණ්‍ය විපාකය පූජා කළ දානයක් නිසා ලැබුවා ද?

යම් ශීලයක් ආරක්ෂා කිරීමෙන් ලැබුවා ද?

එසේත් නැතිනම් ඇඟිලි බැඳ දොහොත් මුදුන් දී වැඳීමෙන් ලැබුවා ද?

සතුටු සිතැති දෙව්දුව මෙසේ පිළිතුරු දුන්නා.

“දිනක් මට ගුණ සම්පන්න, සත්පුරුෂ, ධ්‍යාන වඩන, භාවනාවෙහි ඇලුණු භික්ෂූන් වහන්සේ නමක් දැක ගන්න ලැබුණා. මා ස්වාමින් වහන්සේට වැඩ හිඳින්නට මලින් සැරසූ, අලුතින් පිරුවට ඇතිරූ ආසනයක් පිළියෙළ කළා. ආසනය වටේට බිම නෙළුම් මල් තබා සරසා, මගේ අතින් ම නෙළුම් මල් පෙති විසුරුවා අලංකාර කළා. ඒ පිනෙනුයි මට මේ විපාක පහළ වුණේ. මට දෙවියන්ගෙනුත් සත්කාර සම්මාන ලැබෙනවා.

යම් කෙනෙක් මනා සේ කෙලෙසුන්ගෙන් මිදුණු, කයින් වචනයෙන් සිතින් හික්මුණු භික්ෂූන් වහන්සේ නමකට සැදැහැ සිතින් ආසනයක් පූජා කළොත් මේ වගේ දිව්‍ය සම්පත් ලබා සතුටු වෙන්න පුළුවන්”.


බාගත ​කිරීමට