මහා ආනුභාව සම්පන්න දෙව්දුවක් දැක මුගලන් තෙරුන් වහන්සේ මෙසේ විමසුවා.
“අලංකාර දිව්‍ය සළු ඇඳ, දිව්‍ය මලින් සැරසුනු ඔබගේ රත්තරන් දිව්‍ය ආසනය සිතන වේගයෙන්, ඔබ කැමති දිශාවට ගමන් කරනවා. සිරුර වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වගේ බබළනවා. ඔබට මෙවැනි සම්පත් ලැබුණේ කවර පිනකින් ද? මිනිස් ලෝකයේ ඉද්දී ඔබ මොන වගේ පිනක් කළා ද?”
මේ පැනයෙන් සතුටු වූ දෙව්දුව මෙසේ ප්‍රකාශ කළා.
“පෙර භවයේ මා මිනිස් දුවක් වී සිටින විට කළ පුංචි පිනකිනුයි මට මේ දේවල් ලැබුණේ. දිනක් මා නොකිළිටි සිත් ඇති ඉතා ප්‍රසන්න භික්ෂුවක් දුටුවා. මගේ සිත ගොඩක් පැහැදුණා. මගේ දෑතින් ම භික්ෂූන් වහන්සේට වැඩ සිටින්නට පුටුවක් දුන්නා. ඒ පිනෙන් තමයි මට මේ සියලු සැප සම්පත් ලැබුණේ".