Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / සීල කථා /

සාමණේර දස සීලය

ත්‍රිපිටකය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, මහාවග්ග පාළි 1 - පිටු අංක 208 - 209 / දීඝ නිකාය 1, සාමඤ්ඤඵල සූත්‍රය - පිටු අංක 82 - 149)
  1. ප්‍රාණඝාතය හැර දමා ප්‍රාණඝාතයෙන් වෙන් වූයේ වෙයි. දඬු මුගුරු පසෙකින් තබා, ආයුධ පසෙකින් තබා, පවට ලජ්ජා ඇති ව, කරුණාවෙන් යුක්ත ව සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වාසය කරයි.
  2. නො දුන් දෑ ගැනීම හැර දමා, නො දුන් දෑ ගැනීමෙන් වෙන් වූයේ වෙයි. දුන් දෙයක් ම පිළිගන්නා සුලු වූයේ, දුන් දෙයක් ම බලාපොරොත්තු වෙයි. නො සොර වූ පිරිසිදු සිතින් යුතු ව වාසය කරයි.
  3. අබ්‍රහ්මචරියාව හැර දමා, බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නේ වෙයි. ගැමි ධර්මයක් වූ මෙවුන්දමින් (කාමයේ හැසිරීමෙන්) දුරු ව හැසිරෙන්නේ, එයින් වැළකී වාසය කරයි.
  4. බොරු කීම දුර ලා, බොරු කීමෙන් වෙන් වූයේ වෙයි. ඇත්ත කියන සුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ, තහවුරු ව පිහිටි කථා ඇත්තේ, ඇදහිය යුතු කථා ඇත්තේ, ලොව නොරවටමින් වාසය කරයි.
  5. රහ මෙර බීම දුර ලා, රහ මෙර බීමෙන් වෙන් වූයේ වෙයි. මදයට හා ප්‍රමාදයට හේතු වූ සුරා පානයෙන් වැළකී වාසය කරයි.
  6. රාත්‍රී භෝජනය හැර දමා එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල් බොජුනෙහි වැළකී වාසය කරයි.
  7. නැටුම්, ගැයුම්, වැයුම්, නාට්‍ය බැලීම, මහා භාරතාදිය කියවීම, අත්තල ගැසීම, මන්ත්‍ර බලයෙන් මෘත ශරීර නැගිටවීම, එක් මුහුණකින් යුත් බෙර වැයීම, ඇත් පොර, අස් පොර, මී හරක් පොර, ගොන් පොර, එළු පොර, බැටළු පොර, කුකුළු පොර, වටු පොර, පොලු හරඹ, මල්ලව පොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බල සෙන් ගණිනා තැන් දක්නට යෑම ආදී මෙබඳු විසුළු දසුන් දැකීමෙන් සහ ඒවායේ යෙදී විසීමෙන් වැළකී වාසය කරයි.
  8. සුවඳ වර්ග ඇඟ ගැල්වීම, අත් පා ආදිය මනා සටහන් ගැන්වීමට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් ශරීරය නෑවීම, සම්බාහනය කිරීම, කන්ණාඩියෙන් මුහුණු බැලීම, ඇස්වල අඳුන් ගෑම, මල් පැළඳීම හා විලවුන් දැරීම, මුව ආලේපන මුව විලවුන් දැරීම, අත්වල ආභරණ පැලදීම, හිස කෙස් හැඩ කිරීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත් නල දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නළල් පටි බැඳීම, මැණික් පැළඳීම, සෙමර වල් විදුනා දැරීම, දික් වූ වාටිය ඇති සුදු රෙදි දැරීම ආදී ඇඟ සැරසීමට කරුණු වන දෑ පරිභෝග කිරීමෙන් වැළකී වාසය කරයි.
  9. දික් පුටුව (සනීප පුටුව), කවිච්චිය, මහ කොදු පලස, වියමනෙන් විසිතුරු කළ එළු ලොම්මුවා ඇතිරිය, එළු ලොම්මුවා සුදු ඇතිරිය, ඝන මල් යෙදූ එළු ලොම් ඇතිරිය, පුළුන් මෙට්ටය, සිංහාදී රූපවලින් විසිතුරු කළ එළු ලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළු ලොම්මුවා ඇතිරිය‍, එක් පැත්තක පමණක් ලොම් ඇති එළු ලොම්මුවා ඇතිරිය, රනින් ගෙත්තම් කළ පට පණුවන්ගේ නූල් වලින් කළ ඇතිරිය, ස්ත්‍රීන් දහසය දෙනෙකුට එකට සිට නැටීමට හැකි එළු ලොමින් කළ ඇතිරිය, ඇතු පිට එළන ඇතිරිය, අසු පිට එළන ඇතිරිය, රථයේ එළන ඇතිරිය, අඳුන් දිවි සමින් මසා ඇඳක ප්‍රමාණයට සෑදු ඇතිරිය, කෙහෙල් මුව සමින් කළ මහඟු ඇතිරිය, පාමුල රතු කොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන මෙබඳු වූ උස් ආසන මහ ආසන පරිහරණයෙන් වැළකී වාසය කරයි.
  10. රන් රිදී මිල මුදල් පිළිගැනීම හැර දමා, රන් රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී වාසය කරයි.

බාගත ​කිරීමට