තව්තිසාවේ චිත්‍රලතා වනයේ සැරිසරන විශාල ඇස් ඇති, දිව්‍ය අප්සරාවන් පිරිවරා සිටින දෙව් දුවක් සිටියාය. ඇයගේ ශරීරයේ රන් මල් ආදී විසිතුරු දේ පිහිටා නැතිමුත් ඇය ඉතා සුන්දරය. මේ දෙව් දුව දුටු සක් දෙවිඳු මේ ආනුභාවයට හේතුව ඇයගෙන් විමසුවේය.
දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය. “මම ඉස්සර රජගහ නුවර සිටි සුනන්දා නම් උපාසිකාවක්. මා ශ්‍රද්ධා සම්පන්නයි. එමෙන් ම සිල්වත්. දන් දීමටත් ආශා කළා. සෘජු සිත් ඇති ආර්යයන් වහන්සේලාට පැහැදුණු සිතින් දන් පැන්, වස්ත්‍ර, සේනාසන, තෙල් පහන් පූජා කළා. එමෙන් ම සතර පෝයට සිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මම පංච සීලය ආරක්ෂා කළේ කැමැත්තෙන්මයි. ඉඳුරන් සංවර කර ගත්තා. එමෙන් ම චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගැනීමේ හැකියාවක් මට තිබුණා. ඒ නිසා ම උතුම් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණා.
මට දිනපතා ම නෑදෑයෙකුගේ දාසියක් මල් මාලා අරගෙන ආවා. මම ඒ මල් මාලා භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ ස්ථූපයට පූජා කළා. උපෝසථ දවසටත් පහන් සිතින්, මගේ දෑතින් ම මල්, සුවඳ විලවුන් ස්ථූපයට පූජා කළා.
මගේ මේ සොඳුරු රූ සපුවත්, මේ ඉර්ධියත්, ආනුභාව සම්පන්න දිව්‍ය උපතත් මට ලැබුණේ මේ මල් මාලා පූජාව නිසයි. මම සිල්වත් තැනැත්තියක් ව සිටියා. තව ම ඒ පින මට විපාක දීලා නැහැ. ඉතිං මගේ හිතේ දැන් තිබෙන ආශාව තමයි සකදාගාමි වීම”.