Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / සීල කථා / දුස්සීල ව හිඳ ගිහියන් දෙන දානය වළඳනවාට වඩා ගිනි ගත් යකඩ ගුලි ගිලීම සුවදායක ම වන්නේ ය

දුස්සීල ව හිඳ ගිහියන් දෙන දානය වළඳනවාට වඩා
ගිනි ගත් යකඩ ගුලි ගිලීම සුවදායක ම වන්නේ ය

අග්ගික්ඛන්ධොපම සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 464 - 475)

බලවත් පුරුෂයෙක් රත් වූ, ගිනි ගත්, මනා ව ගිනි ඇවිළුණු, ගිනියම් වූ යකඩ අඬුවකින් මුඛය විවෘත කර ගිනි ඇවිළ ගත්, දිලිසෙන, ගිනි සිළු ඇති, ගිනියම් වූ යකඩ ගුලි මුවෙහි බහා ලන්නේය. එය ඔහුගේ තොල් ද දවයි. කට ද දවයි. දිව ද දවයි. උගුර ද දවයි. පපුව ද දවයි. බඩවැල් සහ අතුණුබහන් ද දවා ගෙන පසු පසින් නික්මෙන්නේය. එය හෝ යම් ඒ රාජකීය මහාසාරයන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවෙන් දුන් පිණ්ඩපාතය වළඳන්නේ ද මෙයින් වඩා උතුම් වනුයේ කවරක් ද?

“ස්වාමීනි, ඒ රාජකීය මහාසාරයන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවෙන් දුන් පිණ්ඩපාතය වළඳන්නේ ද මෙය ම වඩා උතුම් වෙයි”.

“මහණෙනි, මම තොපට ප්‍රකාශ කරමි. කරුණු දක්වා කියමි.

දුස්සීල වූ, පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ දුස්සීලයා හට බලවත් පුරුෂයෙක් රත් වූ, ගිනි ගත්, මනා ව ගිනි දැල්වුණු, ගිනියම් වූ යකඩ අඬුවකින් මුඛය විවෘත කර ගිනි ඇවිල ගත්, දිලිසෙන, ගිනිසිළු ඇති, ගිනියම් වූ, යකඩ ගුලි මුවෙහි බහා ලන්නේ ය. එය ඔහුගේ තොල් ද දවයි. කට ද දවයි. දිව ද දවයි. උගුර ද දවයි. පපුව ද දවයි. බඩවැල් සහ අතුණුබහන් ද දවා ගෙන පසු පසින් නික්මෙන්නේ ය යන යමක් වේ ද එය ම උතුම් වෙයි.

ඒ කවර හෙයින් ද යත්;

එය හේතු කොට ගෙන ඔහුට මරණය හෝ ඒ හා සමාන දුකක් වන්නේ ය. නමුත් ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ නපුරු වැටීමක් වූ නිරයට නම් නොපැමිණෙන්නේ ය.

දුස්සීල වූ, පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ දුස්සීල මහණ යම් ඒ රාජකීය මහාසාරයන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවෙන් දුන් පිණ්ඩපාතය වළඳන්නේ ද, මෙය ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ය.

මරණින් මතු අපාය නම් වූ දුර්ගතිය නම් වූ නපුරු වැටීමක් වූ නිරයට පැමිණෙන්නේ ය”.


බාගත ​කිරීමට