භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ කොසොල් රට සැරිසරන විට ගිනි ඇවිළ ගත්, මනා ව ගිනි ගත්, ගින්නෙන් බබළන, ගිනි කඳක් දැක භික්ෂූන් වහන්සේලා ගෙන් එය දැක්කේ දැ යි ඇසූ සේක.
“එසේය ස්වාමීනි” යැයි භික්ෂූහු පැවසූ සේක.
“ඒ ගිනි ඇවිළ ගත්, මනා ව ගිනි ගත්, ගින්නෙන් බබළන, ගිනි කඳ වැළඳ ගෙන හිඳින්නේ හෝ නිදන්නේ නම් හෝ එසේ නැතහොත් මොළොක් යොවුන් රජ කුලයක කන්‍යාවක් හෝ බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් වැළඳ ගෙන හිඳින්නේ හෝ නිදන්නේ නම් මෙයින් වඩා උතුම් කුමක් ද”?
“ස්වාමීනි, මොළොක් යොවුන් රජ කුලයක කන්‍යාවක් හෝ බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් වැළඳ ගෙන හිඳින්නේ හෝ නිදන්නේ නම් එය ම උතුම්ය. ඒ ගිනි ඇවිල ගත්, මනා ව ගිනි ගත්, ගින්නෙන් බබළන ගිනි කඳ වැළඳ ගෙන හිඳින්නේ හෝ නිදන්නේ නම් එය මහත් දුකක් ම ය”.
“මහණෙනි, මම තොපට ප්‍රකාශ කරමි. කරුණු දක්වා කියමි.
දුස්සීල වූ, පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ දුස්සීලයා හට අර ගිනි ඇවිළ ගත්, මනා ව ගිනි ගත්, ගින්නෙන් බබළන ගිනි කඳ වැළඳ ගෙන හිඳින්නේ හෝ නිදන්නේ නම් එය ම උතුම් වෙයි.
ඒ කවර හෙයින් ද යත්;
එය හේතු කොට ගෙන ඔහුට මරණය හෝ ඒ හා සමාන දුකක් වන්නේ ය. එහෙත් ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුර්ගතිය නම් වූ නපුරු වැටීමක් වූ නිරයට නම් නොපැමිණෙන්නේ ය.
දුස්සීල වූ, පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ, දුස්සීල මහණ මොළොක් යොවුන් රජ කුලයක කන්‍යාවක් හෝ බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් වැළඳ ගෙන හිඳින්නේ හෝ නිදන්නේ නම් ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ ය.
මරණින් මතු අපාය නම් වූ දුර්ගතිය නම් වූ නපුරු වැටීමක් වූ නිරයට පැමිණෙන්නේ ය”.