එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යයන්ගේ කපිලවස්තුවෙහි නීග්‍රෝධාරාමයේ වැඩ වසන සේක. උපෝසථ පොහෝ දින බුදු රජාණන් වහන්සේ හමුවීමට බොහෝ ශාක්‍යයන් පැමිණ වැඳ එකත් පසෙක සිටි කල, භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඇසූ සේක.
“ශාක්‍යයෙනි, නුඹලා අෂ්ටාංගික උපෝසථයෙහි වෙසෙන්නෙහු ද?”
“අපි සමහර දිනෙක උපෝසථ වසන්නෙමු, සමහර දිනෙක උපෝසථ නොවසන්නෙමු” යි ශාක්‍යයෝ පැවසූහ.
“ශාක්‍යයෙනි, නුඹලා ශෝකය ඇති වේ යැයි බියෙන් යුතු ව, මරණ බියෙන් යුතු ව ජීවත් වෙමින් සමහර දිනෙක උපෝසථ වසන්නේ නම්, සමහර දිනෙක උපෝසථ නොවසන්නේ නම් එය නුඹලාට මහත් අලාභයක් ම ය, නපුරු ලැබීමක්මය.
ශාක්‍යයෙනි, යම් වීරියවන්ත දක්ෂ පුද්ගලයෙක් දිනකට කහවණු දහස බැගින් රැකියාවකින් උපයා ගෙන වියදම් නොකර වසර සියයක් ම ඒ කහවණු එකතු කර ගතහොත් මහා ධනවතෙක් වේ ද?”
“එසේය ස්වාමීනි”.
“ශාක්‍යයෙනි, ඒ ධනවතා ඒ භෝග හේතුවෙන්, ඒ ධනය හේතුවෙන් එක රැයක් හෝ එක දවාලක් හෝ එක රැයක භාගයක් හෝ එක දවාලක භාගයක් කිසි ම දුකක් නැති ව සම්පූර්ණයෙන් ම සැප පමණක් විඳින්නේ ද?”
“ස්වාමීනි, එසේ නොවේමය”.
“එයට හේතුව කුමක් ද?”
“ස්වාමීනි, කාමයන් අනිත්‍යය, තුච්ඡය, බොරුවක්ය, වංචාකාරීය, මුළා කරනසුලුය”.
“ශාක්‍යයෙනි, මෙසස්නෙහි මාගේ ශ්‍රාවකයන් දස අවුරුද්දක් මා විසින් අවවාද කළ පරිදි ම කෙලෙස් තවන වීර්යයෙන් නිවනට මෙහෙය වූ සිත් ඇති ව වාසය කරනුයේ සියවසක් ද, සියවස් සියයක් ද, සියවස් දහසක් ද, සියවස් ලක්ෂයක් ද ඒකාන්තයෙන් ම සැප පමණක් විඳිමින් වාසය කරන්නේය. හෙතෙම සකදාගාමි හෝ අනාගාමි හෝ ස්ථිර වශයෙන් සෝවාන් වන්නේය.
ශාක්‍යයෙනි, දස අවුරුද්දක් තිබේවා, මෙසස්නෙහි මාගේ ශ්‍රාවකයන් එක් අවුරුද්දක් මා විසින් අවවාද කළ පරිදි ම කෙලෙස් තවන වීර්යයෙන් නිවනට මෙහෙය වූ සිත් ඇති ව වාසය කරනුයේ සියවසක් ද, සියවස් සියයක් ද, සියවස් දහසක් ද, සියවස් ලක්ෂයක් ද ඒකාන්තයෙන් ම සැප පමණක් විඳිමින් වාසය කරන්නේය. හෙතෙම සකදාගාමි හෝ අනාගාමි හෝ ස්ථිර වශයෙන් සෝවාන් වන්නේය.
ශාක්‍යයෙනි, එක් අවුරුද්දක් තිබේවා, මෙසස්නෙහි මාගේ ශ්‍රාවකයන් අඩ මසක් මා විසින් අවවාද කළ පරිදි ම කෙලෙස් තවන වීර්යයෙන් නිවනට මෙහෙය වූ සිත් ඇති ව වාසය කරනුයේ සියවසක් ද, සියවස් සියයක් ද, සියවස් දහසක් ද, සියවස් ලක්ෂයක් ද ඒකාන්තයෙන් ම සැප පමණක් විඳිමින් වාසය කරන්නේය. හෙතෙම සකදාගාමි හෝ අනාගාමි හෝ ස්ථිර වශයෙන් සෝවාන් වන්නේය.
ශාක්‍යයෙනි, එක් අඩ මසක් තිබේවා, මෙසස්නෙහි මාගේ ශ්‍රාවකයන් එක රෑ දවාලක් මා විසින් අවවාද කළ පරිදි ම කෙලෙස් තවන වීර්යයෙන් නිවනට මෙහෙය වූ සිත් ඇති ව වාසය කරනුයේ සියවසක් ද, සියවස් සියයක් ද, සියවස් දහසක් ද, සියවස් ලක්ෂයක් ද ඒකාන්තයෙන් ම සැප පමණක් විඳිමින් වාසය කරන්නේය. හෙතෙම සකදාගාමි හෝ අනාගාමි හෝ ස්ථිර වශයෙන් සෝවාන් වන්නේය.
ශාක්‍යයෙනි, නුඹලා ශෝකයට පත් වීමට බියෙන් යුතු ව, මරණ බියෙන් යුතු ව ජීවත් වෙමින් සමහර දිනෙක උපෝසථ වසන්නේ නම්, සමහර දිනෙක උපෝසථ නොවසන්නේ නම් එය නුඹලාට මහත් අලාභයක්මය, නපුරු ලැබීමක්මය”.
“ස්වාමීණි, අද පටන් අපි අෂ්ටාංග උපෝසථය වසන්නෙමු” යි ශාක්‍යයෝ පැවසූහ.
මේ ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් තම ඥාතීන්ට කළ යුතුකම වෙයි.
දුකට අකමැති, සැපට කැමති බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක උපාසක උපාසිකාවන් විසින් සෑම පොහොය දිනක ම (පසළොස්වක, අමාවක, පුර අටවක සහ අව අටවක) උපෝසථය කළ යුතු නොවේ ද?
සියවස් ගණන්, සියවස් සිය ගණන්, සියවස් දහස් ගණන්, සියවස් ලක්ෂ ගණන් කිසි ම දුකක් නොමැති ව සැප විඳීමට කැමති නම්, සතර අපායෙන් සදහට ම මිදීමට කැමති නම්, සකදාගාමි හෝ අනාගාමි හෝ ස්ථිර වශයෙන් සෝවාන් වීමට කැමති නම් සතර පොහොයට ම බුදු රජාණන් වහන්සේ විසින් අවවාද කළ පරිදි ම කෙලෙස් තවන වීර්යයෙන් නිවනට මෙහෙය වූ සිත් ඇති ව වාසය කරමින් උපෝසථය සමාදන් වීම සුදුසු වෙයි.