Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා / මහත්ඵල මහානිසංස දානයක් දෙන්නේ කෙසේ ද?

මහත්ඵල මහානිසංස දානයක් දෙන්නේ කෙසේ ද?

ඡළඞ්ගදාන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 92 - 95)

වේළුකණ්ඨක නුවර නන්ද මාතා උපාසිකාව සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා කෙරෙහි ඡළඞ්ග (අංග හයකින් යුත්) දාන පිහිටුවයි. බුදු රජාණන් වහන්සේ දිබ්බ චක්ඛු ඥානයෙන් මෙය දැක භික්ෂූන් වහන්සේලාට මෙසේ වදාළ සේක.

“ඡළඞ්ග දානය යනු, දායකයා ද (දන් දෙන්නා ද) අංග තුනකින් යුතු වන අතර, ප්‍රතිග්‍රාහකයා ද (දන් ලබා ගන්නා ද) අංග තුනකින් යුතු ව දෙනු ලබන දානය වෙයි.

දායකයාගේ අංග;

  1. දායක තෙම දානයට පෙර ම සොම්නස් (සතුටු) සිතැති වෙයි.
  2. දෙන විට සිතෙහි ප්‍රසාදයෙන් (පැහැදීමෙන් හා සතුටින්) දන් දෙයි.
  3. දන් දී සතුටු සිතැති වෙයි.

ප්‍රතිග්‍රාහකයාගේ අංග;

  1. රාගය දුරු කළ හෝ රාගය දුරු කිරීමට උත්සාහ කරනුයේ වෙයි.
  2. ද්වේෂය දුරු කළ හෝ ද්වේෂය දුරු කිරීමට උත්සාහ කරනුයේ වෙයි.
  3. මෝහය දුරු කළ හෝ මෝහය දුරු කිරීමට උත්සාහ කරනුයේ වෙයි.

මහණෙනි, මෙසේ අංග හයකින් යුතු දානයාගේ මෙපමණ පින් දහරාවක්, මෙපමණ කුසල් දහරාවක්, මෙපමණ සැප ලබා දීමක්, මෙපමණ දෙව්ලොවට හිත ව වැටීමක් හා මෙපමණ තමන්ට ප්‍රියමනාප සිත් ඇලවීමට හිතකර වූ සැපය පිණිස පවතින්නක් යැයි ගිනීමට හැකි නොවෙයි. එය සංඛ්‍යාවකින් කිව නොහැකි තරම් වූ අප්‍රමාණ පින් ස්කන්ධයක් (ගොඩක්) යන ගණයට යයි.

ඒ කෙසේ ද යත්, මහ මුහුදේ ජලය මෙපමණ ප්‍රමාණයක් තිබේ යැයි නැළිවලින් මැන කීමට නොහැකි වේ ද, එසේ ම මේ ඡළඞ්ග දානයේ ආනිසංස ගණනකින් කිව නොහැකිය.


බාගත ​කිරීමට