Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා / දානයේ විපාක නිවන දක්වා ම

දානයේ විපාක නිවන දක්වා ම

දානමහප්ඵල සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 368 - 373)

එකල භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරයේ ගග්ගරා පොකුණ අසල වැඩ වසන සේක. පොහෝ දින සැරියුත් තෙරණුවෝ සමඟ චම්පා නගර උපාසකයන් පිරිසක් පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත් පස් ව ඉඳගත්හ.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,

ඇතැමෙකු විසින් දෙන දානය මහත්ඵල නැත්තේ නම්, මහානිසංස නැත්තේ නම්, එයට හේතුව, කාරණය කුමක් ද?

එසේ ම යම් දානයක් මහත්ඵල මහානිසංස වන්නේ නම් එයට හේතුව, කාරණය කුමක් ද?” යැයි සැරියුත් තෙරණුවෝ ඇසූ සේක.

“මෙලොව යම් පුද්ගලයෙක්, ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට ආහාර පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, සයනාසන, ආවාස හා ප්‍රදීප උපකරණ යන එබඳු දේ දන් දෙයි.

  1. යම් පුද්ගලයෙක් අපේක්‍ෂා සහිත ව, විපාක කැමැත්තෙන්, නැවත ලැබෙනු කැමැත්තෙන්, එකතු කරනු කැමැත්තෙන්, පරලොව දී විඳිනු කැමත්තෙන් දන් දී, මරණින් පසු චාතුර්මහාරාජික දෙවියන් අතර උපදියි. එහි සැප සම්පත් විඳ, හීන වූ මෙලොවට නැවත එනසුලු වෙයි.
  2. යම් පුද්ගලයෙක් ඉහත පරිදි දන් නොදෙයි. දන් දීම හොඳ දෙයක් කියා දන් දෙයි. ඔහු ද මරණින් පසු දෙව්ලොව ඉපිද, එහි සැප සම්පත් විඳ, හීන වූ මෙලොවට නැවත පැමිණෙයි.
  3. යම් පුද්ගලයෙක් දානය හොඳ දෙයක් කියා දන් නොදෙයි. නමුත් ‘අපේ පරම්පරාවේ අය දන් දුන්හ’ යි ඒ සිරිත රැකීමට දන් දෙයි. ඔහු ද මරණින් පසු දෙව්ලොව ඉපිද, එහි සැප සම්පත් විඳ, හීන වූ මෙලොවට නැවත පැමිණෙයි.
  4. යම් පුද්ගලයෙක් එසේ පරම්පරාවේ සිරිත ගැන සලකා දන් නොදෙයි. එනමුත් ‘මම ආහාර පිසිමි. ඔවුහු නොපිසති. ආහාර පිසින්නන් නොපිසින්නන්ට නොදීම නොගැළපේ’ යැයි සිතා දන් දෙයි. ඔහු ද මරණින් පසු දෙව්ලොව ඉපිද, එහි සැප සම්පත් විඳ, හීන වූ මෙලොවට නැවත පැමිණෙයි.
  5. යම් පුද්ගලයෙක් එසේ ද දන් නොදෙයි. එහෙත් ‘පෙර සිටි ඍෂිවරු මහා දාන දුන්හ. මාගේ දානය ද එසේ වේවා’ යැයි සිතා දන් දෙයි. ඔහුත් මරණින් පසු දෙව්ලොව ඉපිද, සැප සම්පත් විඳ, හීන වූ මෙලොවට නැවත පැමිණෙයි.
  6. යම් පුද්ගලයෙක් එසේ දන් නොදී මෙසේ දන් දෙයි. ‘මේ දානය දෙන මගේ සිත පහදියි. සතුට උපදියි’. එසේ දන් දී ඔහු ද මරණින් පසු දෙව්ලොව ඉපිද, සැප සම්පත් විඳ, හීන වූ මෙලොවට නැවත පැමිණෙයි.
  7. යම් පුද්ගලයෙක් ඉහත කාරණා උදෙසා දන් නොදෙයි. සිතෙහි අකුසල් හා කෙලෙස් දුරු කර කුසලයට පැමිණීමෙන් තම සිත පිරිසිදු කිරීම හා දියුණු කිරීම (චිත්ත අලංකාරය හා චිත්ත පරිෂ්කාරය) සඳහා දන් දෙයි. එසේ දන් දී මරණින් මතු බ්‍රහ්මකායික දෙව්ලොව උපදියි. ඔහු එහි මහා සැප සම්පත් විඳ, එහි දී අනාගාමී වී, හීන වූ මෙලොවට නැවත නොඑනසුලු වෙයි. (නිවන් දකියි).

බාගත ​කිරීමට