භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන කල්හි, සුමනා කුමරිය පිරිසක් සමඟ පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස් ව හිඳ මෙසේ ඇසුවාය.
භාග්‍යවතුන් වහන්සේගේ මේ සස්නෙහි ශ්‍රාවකයෝ දෙදෙනෙක් ශ්‍රද්ධාවෙන් සම වෙති. සීලයෙන් සම වෙති. ප්‍රඥාවෙන් සම වෙති. එනමුදු එක් අයෙක් දන් දෙයි. අනෙකා දන් නොදෙයි. දෙදෙනා ම මරණින් පසු දෙව්ලොව ඉපදුනහොත් ඔවුන්ගේ විශේෂයක් නා නා භාවයක් වන්නේ ද?
සුමනාවනි, දන් දුන් තැනැත්තා දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය කීර්තියෙන්, දිව්‍ය අධිපති භාවයෙන් යන කරුණු පසෙන් ම දන් නොදුන් දෙවියා ඉක්මවා යටපත් කර සිටියි.
එසේම භාග්‍යවතුන් වහන්ස, දෙදෙනා ම එයින් චුත ව මිනිසත් බවට පැමිනේ නම් එහි විශේෂයක් නා නා භාවයක් වන්නේ ද?
සුමනාවනි, ඔවුන් දෙදෙනා එයින් චුත ව යළි මෙලොවට පැමිනේ නම් මෙලොව දී ද දන් දුන් තැනැත්තා මිනිස් ආයුෂයෙන්, මිනිස් වර්ණයෙන්, මිනිස් සැපයෙන්, මිනිස් කීර්තියෙන්, මිනිස් අධිපති භාවයෙන් දන් නොදුන් තැනැත්තා ඉක්මවා සිටියි.
එසේම භාග්‍යවතුන් වහන්ස, දෙදෙනා ම ගිහි ගෙයින් නික්ම පැවිදි වුවහොත් එහි ද විශේෂයක් නා නා භාවයක් වන්නේ ද?
සුමනාවනි, දෙදෙනා ම ගිහි ගෙයින් නික්ම පැවිදි වුවහොත් දන් දුන් තැනැත්තා විසින්,
සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඔහුට මනාප වූ ම කාය කර්මයෙන්, වචී කර්මයෙන් සහ මනෝ කර්මයෙන් ම බහුල ව හැසිරෙති. අමනාප වූ කාය කර්මයෙන් වචී කර්මයෙන් සහ මනෝ කර්මයෙන් අල්ප ව හැසිරෙති.
ඔහු මනාප වූ උපහාරයෙන් පිදුම් ලබයි. අමනාප වූයේ අල්ප වෙයි.
එනම් යම් දන් දෙන්නෙක් වේ නම් ඔහු පැවිදි වූයේ ද මේ කරුණු වලින් දන් නොදුන් මහණ මැඩ පවත්වා ගෙන සිටියි.
එසේම භාග්‍යවතුන් වහන්ස, දෙදෙනා ම අරහත්වයට පැමිණියහොත් එහි විශේෂයක් නා නා භාවයක් වන්නේ ද?
සුමනාවනි, දෙදෙනා ම අරහත්වයට පැමිණේ නම් එහි කිසිත් විශේෂයක් නොමැත. අරහත්වයේ වෙනසක් නොමැත.
මෙසේ දෙවියන්ට ද පින් උපකාරී වෙයි. මිනිසුන්ට ද පින් උපකාරී වෙයි. පැවිදි වූවහුට ද පින් උපකාරී වෙයි. එබැවින් දන් දීම කළ යුතු ම ය. පින් කළ යුතු ම ය.